ශ්‍රී ලංකාවේ අනාගත නායකත්ව කුසලතා ජාතික තලයට ඔසවා තබමින්, SLIIT ‘SoftSkills+ 2026’ තරගාවලිය සාර්ථකව නිමාව දකී

SLIIT Image (LBN)

SLIIT ව්‍යාපාරික පීඨය (SLIIT Business School) විසින් සංවිධානය කරනු ලැබූ ‘SoftSkills+ 2026’ තරගාවලිය සඳහා මෙවර දිවයින පුරා විසිරී සිටින කණ්ඩායම් 112ක් තරඟ වැදුණු අතර, ඉන් විශිෂ්ටතම කණ්ඩායම් 48ක් අවසන් වටය සඳහා සුදුසුකම් ලැබීය. පසුගියදා, SLIIT පරිශ්‍රය සැබවින්ම සජීවී මෙන්ම අතිශය උද්‍යෝගිමත් කේන්ද්‍රස්ථානයක් බවට පත්වූයේ ශ්‍රී ලංකාවේ සියලුම දිස්ත්‍රික්ක නියෝජනය කරමින් පැමිණි සිසුන් 192 දෙනෙකු තම නායකත්වය, සන්නිවේදනය, නිර්මාණශීලිත්වය සහ කණ්ඩායම් හැඟීම මනාව ප්‍රදර්ශනය කළ බැවිනි. අනාගත පරපුරේ නායකත්ව කුසලතා ඇගයීමට හා දිරිගැන්වීමට කදිම වේදිකාවක් වූ මෙම කීර්තිමත් තරගාවලියේදී, ප්‍රථම ස්ථානය දිනා ගැනීම වෙනුවෙන් සිසුන් අතර පැවතියේ ඉතා තියුණු තරඟකාරීත්වයකි.




තරුණ පරපුර අතර මෘදු කුසලතා (Soft Skills) වර්ධනය කිරීමේ කාලීන වැදගත්කම මෙමඟින් මනාව පිළිබිඹු වූ අතර, හෙට දවසට ගැළපෙන නායකයන් බිහි කිරීම වෙනුවෙන් SLIIT ව්‍යාපාරික පීඨය සතු කැපවීම ද මෙයින් තහවුරු විය. එහිදී ‘SoftSkills+ 2026’ තරගාවලියේ සමස්ත ශූරතාවය දිනා ගැනීමට කොළඹ මෙතෝදිස්ත විද්‍යාලය සමත් වූ අතර, අනුශූරතාවය රත්නපුර සීවලී මධ්‍ය මහා විද්‍යාලයටත්, තෙවන ස්ථානය බදුල්ල මධ්‍ය මහා විද්‍යාලයටත් හිමි විය.

මෙම සුවිශේෂී අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ACCA ශ්‍රී ලංකා ආයතනයේ සභාපති චමින්ද කුමාරසිරි මහතා සහභාගී විය. එහිදී ආරාධිත පිරිස් සහ තරගකරුවන් ඇමතූ ඒ මහතා, වේගයෙන් වෙනස් වන වර්තමාන වෘත්තීය ක්ෂේත්‍රය තුළ සන්නිවේදනය, නායකත්වය, අනුවර්තනය වීමේ හැකියාව සහ අන්තර් පුද්ගල සබඳතා කුසලතා සතු අත්‍යවශ්‍ය වැදගත්කම අවධාරණය කළේය.

තරගාවලියට සමගාමීව, ප්‍රවීණ කලාශිල්පිනී මාදනී මල්වත්තගේ මහත්මිය සහ කැලණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය තරිඳු වීරසිංහ මහතා විසින් සහභාගී වූවන් වෙනුවෙන් ප්‍රායෝගික මෘදු කුසලතා සංවර්ධන වැඩමුළුවක් පවත්වන ලදී. වත්මන් වෘත්තීය පරිසරයට අත්‍යවශ්‍ය වන්නා වූ කුසලතා වර්ධනය කර ගැනීම සඳහා සිසුන් දිරිමත් කිරීමට ඔවුන්ගේ හරවත් දේශන මාලාවන් සමත් විය.

‘SoftSkills+ 2026’ තරගාවලිය සාර්ථක කර ගැනීම සඳහා දිවයිනේ ප්‍රමුඛ පෙළේ ආයතන සහ සන්නාම රැසක් අනුග්‍රාහක දායකත්වය සපයන ලදී. මේ වෙනුවෙන් උපරිම සහයෝගය දැක්වූ බ්‍රිතාන්‍ය කවුන්සිලය (British Council), SLIIT International, CIMA ශ්‍රී ලංකා, Inspire Business School, මයිලෝ (Nestlé), සිංගර් (Singer), Fusion Gear, කොමර්ෂල් බැංකුව සහ හේමාස් කන්සියුමර් බ්‍රෑන්ඩ්ස් (Hemas Consumer Brands) යන ආයතන වෙත සංවිධායක මණ්ඩලය ස්වකීය කෘතඥතාව පිරිනමයි.

පාසල් සිසුන්ගේ විශිෂ්ට දක්ෂතා ඇගයීමට ලක් කරමින්, දැඩි තරගකාරීත්වයකින් මෙන්ම උත්කර්ෂවත් අයුරින් තරගාවලිය නිමාවට පත් විය. මේ පිළිබඳව අදහස් දක්වමින් ‘SoftSkills+ 2026’ හි සම්බන්ධීකාරක සහ SLIIT ව්‍යාපාරික පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය රනිත් වීරරත්න මහතා මෙසේ ප්‍රකාශ කළේය:

“මෙවර තරඟාවලියේ අත්කරගත් විශිෂ්ට සාර්ථකත්වය සහ එමඟින් ඇති වූ ධනාත්මක බලපෑම, ඉදිරි වසරවලදී පැවැත්වෙන තරගාවලි සඳහා ඉතා ශක්තිමත් පදනමක් ගොඩනඟා ඇති බව නිසැකයි.”



ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව