SLT-MOBITEL විදේශ කටයුතු අමාත්‍යාංශය සමඟ එක් වී විදේශගත ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් ‘Lankakonect’ යෙදුම හඳුන්වා දෙයි

Capture

SLT‑MOBITEL සමාගම විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය සමඟ එක් වී Lankakonect ජංගම යෙදුම නිල වශයෙන් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේය. ශ්‍රී ලංකාවේ ඩිජිටල් පරිවර්තන ගමන් මඟේ සුවිශේෂී සන්ධිස්ථානයක් ලෙස සැලකිය හැකි මෙම යෙදුම දියත් කිරීමේ උත්සවය Cinnamon Lakeside Colombo හිදී පැවැත්විණි. විදේශ රැකියාවල නියුතු ශ්‍රී ලාංකිකයන්ගේ පැමිණිලි කළමනාකරණය කිරීමේ පදනමක් වන Lankakonect මඟින් ඔවුන්ට තම පැමිණිලි සහ දුක්ගැනවිලි වඩාත් පහසුවෙන් බලධාරීන් වෙත ඉදිරිපත් කිරීමට හැකියාව ලැබේ.

SLT-MOBITEL විසින් විදේශ අමාත්‍යාංශයේ කොන්සියුලර් කටයුතු අංශය සහ ශ්‍රී ලංකා විදේශ රැකියා කාර්යාංශය සඳහා මෙම යෙදුම නිර්මාණය කරන ලදී. රැකියා ගිවිසුම් උල්ලංඝනය කිරීම්, අපයෝජන, වැටුප් නොගෙවීම් සහ ආදරණීයයන් අස්ථානගත වීම් ඇතුළු විවිධ ගැටලු සම්බන්ධ සම්බන්ධ පැමිණිලි ලියාපදිංචි කිරීමට, ඉදිරිපත් කිරීමට සහ නිරීක්ෂණය කිරීමට මෙමඟින් සුරක්ෂිත ක්‍රමවේදයක් හිමි වේ.



මෙමඟින් මාර්ගගත (Online) ක්‍රමයට පැමිණිලි ඉදිරිපත් කළ හැකි නිසා, දීර්ඝ කාලයක් තිස්සේ බලා සිටීම සහ ගමන් බිමන් සඳහා අනවශ්‍ය පරිදි කාලය වැය කිරීම අවශ්‍ය නොවන අතර, ඕනෑම වෙලාවක ඕනෑම ස්ථානයක සිට පැමිණිලි ඉදිරිපත් කළ හැක. විශේෂයෙන්ම රැකියාව තුළ දැඩි අවදානමකට මුහුණ දෙන ගෘහ සේවිකාවන් වැනි කාණ්ඩවලට මෙමඟින් තම පැමිණිලි වහාම ඉදිරිපත් කළ හැකි වේ. මෙයට පැමිණිල්ලක් ඉදිරිපත් කළ සැණින් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සහ කොන්සියුලර් කටයුතු අංශයේ නිලධාරීන්ට මෙම පද්ධතියට පිවිසී පැමිණිලිකරු වෙනුවෙන් අවශ්‍ය පියවර ගැනීම ආරම්භ කළ හැක. පැමිණිල්ල සක්‍රීයව පවතින කාලය පුරාම එහි ප්‍රගතිය නිරීක්ෂණය කළ හැකි අතර, සජීවී යාවත්කාලීන කිරීම්ද සිදුකෙරේ. එමෙන්ම එමඟින් අමාත්‍යාංශයටද පැමිණිලි ක්‍රියාවලිය පැහැදිලිව නිරීක්ෂණය කිරීමට හැකියාව ලැබේ.

මෙම යෙදුම දියත් කිරීමේ අවස්ථාවට විදේශ කටයුතු අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ ශ්‍රී ලංකා විදේශ රැකියා කාර්යාංශයේ නියෝජිතයන් ඇතුළු පිරිසක් සහභාගී විය. එමෙන්ම තාක්ෂණික හවුල්කරුවෙකු ලෙස මෙම වැඩසටහනට සහය දුන් එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ නියෝජිතයන් ඇතුළු ජාත්‍යන්තර හවුල්කරුවන් පිරිසක්ද ඊට එක්ව සිටියහ.

මෙම ව්‍යාපෘතිය කුවේට් තානාපති කාර්යාලය විසින් මීට පෙර දරන ලද ඩිජිටල් ප්‍රයත්නයන් ඉදිරියට ගෙන යාමක් ලෙස හැඳින්විය හැක. එම තානාපති කාර්යාලය සතුව පවතින සේවාදායක කළමනාකරණ පද්ධතිය මඟින් මීට ඉහතදී තානාපති කාර්යාලය වෙත පැමිණෙන විදේශිකයන්ට ලැබෙන සේවාවන් සහ ඒවායෙහි කාර්යක්ෂමතාව වැඩිදියුණු කරන ලදී. SLT-MOBITEL විසින් බලගන්වන ලද Lankakonect මීට සමාන්තර ඩිජිටල් පරිවර්තනයක් මෙන්ම මෙම නවෝත්පාදනය ලොව පුරා පුරවැසියන්ට සමීප කරවන ජාතික වේදිකාවක් ලෙසද හැඳින්විය හැකි වේ.

2025 වසරේදී විදේශ රැකියාවල නියුතු ශ්‍රී ලානිකයන් ජාතික ආර්ථිකයට ඇමරිකානු ඩොලර් බිලියන 8.07 ක වාර්තාගත ප්‍රේෂණ දායකත්වයක් ලබා දුන් අතර, සිය පවුල්වල යහපත උදාකර දීම, ප්‍රජාවන් ශක්තිමත් කිරීම සහ රටේ සංවර්ධනය බලගැන්වීම සඳහා ඔවුන් ඉටු කරන කාර්යභාරය කෙතරම්ද යන්න එමඟින් මැනැවින් පිළිබිඹු වේ. එම සුවිශේෂී මෙහෙවරට උපහාරයක් වශයෙන් මෙන්ම, ඔවුන් කොතැනක සිටියත් මාතෘ භූමිය සමඟ සම්බන්ධතා පවත්වා ගැනීම සඳහා විශ්වාසනීය ක්‍රමවේදයක් ලබාදීමේ අරමුණින් මෙය නිර්මාණය කර ඇත.

ජනතා සේවයේ ප්‍රගතිය තාක්ෂණය මඟින් සංකේතවත් වන, සම්පූර්ණයෙන්ම ඩිජිටල්කරණය වූ ශ්‍රී ලංකාවක් පිළිබඳ රජයේ දැක්ම යථාර්ථයක් බවට පත් කිරීම සඳහා තම කැපවීම SLT-MOBITEL සමාගම Lankakonect යෙදුම ඔස්සේ නැවත වරක් තහවුරු කර තිබේ.

මෙම යෙදුම හඳුන්වා දීම, විදේශ සේවාවන් වැඩි වැඩියෙන් මාර්ගගත කිරීම සඳහා ශ්‍රී ලංකාව දරමින් සිටින අඛණ්ඩව උත්සාහයක තවත් සාර්ථක පියවරකි. ඒ ඔස්සේ විදේශගත ශ්‍රී ලාංකිකයන් සහ තානාපති කාර්යාල අතර සම්බන්ධතාව ශක්තිමත් කරමින්, එම ශ්‍රී ලාංකිකයන්ගේ ජාතික අනන්‍යතාව තහවුරු කරමින්, ඔවුන්ට වඩාත් සුරක්ෂිත හා තෘප්තිමත් අත්දැකීමක් පිරිනැමීමට හැකි වනු නිසැකය.


ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව