සෙලාන් බැංකුව 2026 දීපව්‍යාප්ත ලෝක තෙත්බිම් දින වැඩසටහන් මාලාව වෙනුවෙන් WNPS  සමඟ අත්වැල් බැඳගනී

Image

සෙලාන් බැංකුව 2026 ලෝක තෙත්බිම් දිනය වෙනුවෙන් වනසත්ව හා ස්වභාව ආරක්ෂක සංගමය [Wildlife and Nature Protection Society (WNPS)] මඟින් සංවිධානය කරනු ලබන දීපව්‍යාප්ත වැඩසටහන් මාලාවේ තේමා අනුග්‍රාහක (Title Sponsor) ලෙස කටයුතු කළේය. මෙය පාරිසරික තිරසාරත්වය හා සංරක්ෂණය සම්බන්ධයෙන් සෙලාන් බැංකුව දක්වන උනන්දුව හා කැපවීම මැනැවින් පිළිබිඹු කළ මෙහෙවරක් ලෙස හැඳින්විය හැකි වේ.

තෙත්බිම්වල වැදගත්කම සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීම සහ පරිසර සංරක්ෂණයට දායක වීමට රට පුරා තරුණ තරුණියන් දිරිගැන්වීම මෙම වැඩසටහන් මාලාවේ මූලික අරමුණ විය.

තෙත්බිම් මඟින් ජෛව විවිධත්වය පවත්වා ගැනීම, දේශගුණික රටා නියාමනය කිරීම, ගංවතුර අවදානම් කළමනාකරණය කිරීම සහ ජල සම්පත් තිරසාර ලෙස පවත්වාගැනීම සඳහා සුවිශාල කාර්යභාරයක් ඉටු වේ. එහෙත් මේ වන විට මෙම පරිසර පද්ධති බොහොමයක් නාගරික සංවර්ධනය, පරිසර දූෂණය සහ ඉඩම් පරිහරණයේ වෙනස්කම් ආදිය හේතුවෙන් සුවිශාල තර්ජනයකට ලක් වී ඇත.




මෙම වැඩසටහනෙහි කොටසක් වශයෙන් මෑතකදී කොළඹ, ආනවිලුන්දාව, යාපනය, මින්නේරිය, මඩකලපුව සහ මාතර වැනි ප්‍රදේශවල තෝරාගත් පාසල් කිහිපයක තෙත්බිම් අධ්‍යාපන වැඩසටහන් මාලාවක් සංවිධානය කරන ලද අතර, එහිදී ආකර්ෂණීය ඉදිරිපත් කිරීම් හා සාකච්ඡා ආදිය ඔස්සේ තෙත්බිම් සංරක්ෂණය කිරීමේ වැදගත්කම සම්බන්ධයෙන් සිසුන් දැනුවත් කරන ලදී.

දිස්ත්‍රික් මට්ටමේ වැඩසටහන් පවත්වන ලද්දේ මූලික වශයෙන් 8 සහ 10 අතර ශ්‍රේණිවල දරුවන් ඉලක්ක කරගනිමිනි. පන්ති කාමරවලදී දැනුම ලබාදීමට අමතරව තෙත්බිම් වෙත ගොස් ඒවා දැකබලාගෙන ඒවායෙහි පාරිසරික වටිනාකම අවබෝධ කරගැනීමටද එහිදී ඔවුන්ට අවස්ථාව උදා කර දෙන ලදී.

අධ්‍යාපනික සැසිවලට අමතරව මෙම වැඩසටහන යටතේ දීපව්‍යාප්ත ඡායාරූප සහ කෙටි චිත්‍රපට තරගයක්ද පැවැත්විණි. එහිදී ශ්‍රී ලංකාවේ තෙත්බිම් පිළිබඳ නිර්මාණශීලී ඡායාරූප සහ කෙටි චිත්‍රපට ඉදිරිපත් කිරීමට දිවයින පුරා පාසල් හා විශ්ව විද්‍යාල ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට අවස්ථාව උදා විය. තෙත්බිම්වල පාරිසරික වැදගත්කම සහ ඒවා රැකගැනීමේ අවශ්‍යතාව ලොවට පෙන්වා දීමට සිසුන් දිරිගැන්වීම මෙහි අරමුණ විය.

මෙලෙස දිවයින පුරා සංවිධානය කරන ලද අධ්‍යාපනික සැසි හා තරග ඔස්සේ මෙන්ම පොදුවේ ඩිජිටල් මාධ්‍ය ඔස්සේ රට පුරා සිසු සිසුවියන් දහස් ගණනක් මෙම පාරිසරික මෙහෙවර සමඟ අත්වැල් බැඳගත්හ. එබැවින් මෙය පරිසර සංරක්ෂණය උදෙසා පෙරට පැමිණීමට යොවුන් පරපුර දිරිගැන්වූ අතිසාර්ථක වැඩසටහනක් ලෙස හැඳින්විය හැකි වේ.

“පරිසරය පිළිබඳව දැනුම වර්ධනය කරන සහ පාරිසරික සංරක්ෂණය දිරිගන්වන වැඩසටහන් සඳහා සහාය වීම සෙලාන් බැංකුවේ තිරසාර න්‍යාය පත්‍රයේ වැදගත් අංගයක්. ලෝක තෙත්බිම් දින වැඩසටහන් මාලාව සඳහා අප මෙලෙස වනසත්ව හා ස්වභාව ආරක්ෂක සංගමය සමඟ අත්වැල් බැඳගත්තේ අනාගත පරපුර දැනුමින් සන්නද්ධ කරමින්, පරිසර පද්ධති ආරක්ෂා කරගැනීමේ ජාතික ප්‍රයත්නයන්ට ඔවුන් දායක කරගැනීමේ අරමුණ ඇතිවයි.” සෙලාන් බැංකුවේ සහකාර සාමාන්‍යාධිකාරී (විකුණුම් හා අලෙවි) ආසිරි අභයරත්න මහතා පැවසීය.

1894 වසරේදී ආරම්භ වූ වනසත්ව හා ස්වභාව ආරක්ෂක සංගමය ශ්‍රී ලංකාවේ පැරණිතම පරිසර සංරක්ෂණ සංගමය වන අතර, නවීන විද්‍යාව පදනම් කරගත් පාරිසරික සංරක්ෂණ සහ අධ්‍යාපන වැඩසටහන් ප්‍රවර්ධනය කිරීම සඳහා එම සංගමය දීර්ඝ කාලයක පටන් කේන්ද්‍රීය කාර්යභාරයක් ඉටු කර තිබේ.

මෙබඳු හවුල්කාරීත්වයන් ඔස්සේ තෙත්බිම් සම්බන්ධයෙන් ජනතාව තුළ ඇති අවබෝධය පුළුල් කරමින්, ඒවා අනාගත පරපුර වෙනුවෙන් ආරක්ෂා කරගැනීම සඳහා සාමූහික ප්‍රයත්නයන් දියත් කිරීමට දිරිගැන්වීම සෙලාන් බැංකුවේ සහ වනසත්ව හා ස්වභාව ආරක්ෂක සංගමයේ අරමුණ වී ඇත.



ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව