Hemas Holdings සහ Clean Ocean Force Lanka එක්වී මීගමුවේ තර්ජනයට ලක්වී ඇති පරිසර පද්ධති ආරක්ෂා කිරීමට විශේෂ වැඩසටහන් මාලාවක් දියත් කරයි

Hemas Partners with Clean Ocean Force - Image (LBN Fill)

 



 

 

2022 අගෝස්තු 30, කොළඹ: ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සමූහ ව්‍යාපාරයක් වන Hemas Holdings PLC සහ එහි අනුබද්ධ සමාගමක් වන Hemas Manufacturing (පුද්.) සමාගම පසුගියදා Clean Ocean Force Lanka (COF) සමග විශේෂ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබී ය. මේ යටතේ ප්ලාස්ටික් අපද්‍රව්‍ය වලින් සිදුවන පරිසර දූෂණය අවම කිරීම සඳහා පියවර රැසක් ගැනීමට නියමිත වේ. මේ යටතේ ප්‍රධාන වශයෙන් මීගමුව පෝරුතොට ප්‍රදේශයේ වෙරළ තීරය රැකගැනීමේ වැඩසටහනක් සහ මීගමුව කලපුව පිරිසිදු කිරීමේ වැඩසටහනක් ක්‍රියාවට නැංවීමට සැලසුම් කර ඇත.

මහ ඔය කලපුව ඔස්සේ ඉන්දියන් සාගරයට ප්ලාස්ටික් අපද්‍රව්‍ය එකතු වීම වැළැක්වීම සහ, ප්‍රදේශයේ ධීවර ප්‍රජාව විසින් අපරීක්ෂාකාරී ලෙස අපද්‍රව්‍ය බැහැර කිරීම අවම කිරීම මෙම ව්‍යාපෘති වල ප්‍රධානතම ඉලක්කයකි.

“මෙවැනි ප්‍රයත්නයන් හේමාස් හි පාරිසරික න්‍යාය පත්‍රයේ කොටසක්. ඒ ඔස්සේ අප විවිධ ව්‍යාපෘතින් සහ හවුල්කාරිත්වයන් ඔස්සේ අපගේ පරිසරය ආරක්ෂා කිරීම, ස්වාභාවික සම්පත් ආරක්ෂා කිරීම සහ ප්ලාස්ටික් වගකීමෙන් පරිභෝජනය කිරීම යනාදිය ඉලක්ක කරගත් වැඩසටහන් සැලසුම් කරනවා. Clean Ocean Force සමග ඇතිකරගත් මෙම හවුල්කාරීත්වය, වගකීම්සහගත ලෙස ප්ලාස්ටික් බැහැර කිරීම දිරිගැන්වීම සඳහා අප සමූහය විසින් සැලසුම් කරන ලද තවත් එක් මහා පරිමාණ පරිසර ව්‍යාපෘතියක්.” Hemas Manufacturing සමාගමේ වැඩ බලන කළමනාකාර අධ්‍යක්ෂිකා සබ්‍රිනා එසුෆලි මහත්මිය පැවසුවා ය.

මෙම ව්‍යාපෘතිය හරහා PET බෝතල් කිලෝග්‍රෑම් 350 සිට 500 දක්වා ප්‍රමාණයක් සහ තවත් ප්ලාස්ටික් සහ වෙනත් අපද්‍රව්‍ය කිලෝග්‍රෑම් 100 ක් පමණ ඉවත් කෙරෙනු ඇතැයි අපේක්ෂා කෙරේ. Clean Ocean Force Lanka විසින් බඳවා ගන්නා ලද, ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී පවුල් වලට අයත් කාන්තාවන් මෙම අපද්‍රව්‍ය ඉවත් කිරීමේ වැඩසටහන් සඳහා දායක වනු ඇත. මෙම ව්‍යාපෘතිය අදාළ කාන්තාවන්ගේ සහ ඔවුන්ගේ පවුල් වල ජීවන තත්ත්වය නගාසිටුවීමට හේතු වනු ඇති අතර, මෙවැනි පරිසර හිතකාමී ක්‍රියාකාරකම් වල නිරන්තරයෙන් යෙදීමට ඔවුන් දිරිගැන්වීමද සිදුවනු ඇත. මෙහිදී එකතු කරනු ලබන අපද්‍රව්‍ය වලට ප්‍රතිචක්‍රීකරණ සමාගම් මගින් මුදල් ගෙවීමක් සිදුකෙරෙනු ඇති අතර, එම මුදල් මෙම ජනතාව අතර බෙදාදීමටද නියමිත ය. එමගින් මෙම ප්‍රජාවන්ට මෙරට පවතින ආර්ථික අර්බුදය හමුවේ යම් සහනයක් ලැබෙන ආකාරයේ ස්ථාවර මාසික ආදායමක්ද හිමි වේ.

“ඉන්දියන් සාගරයේ පිහිටි දූපතක් ලෙස, ශ්‍රී ලංකාවේ සමුද්‍ර පරිසර පද්ධති සහ වෙරළ තීරයන් සමාජ-ආර්ථික වශයෙන් පමණක් නොව රටේ යහපත් ජීවන පැවැත්ම සඳහාද අතිශයින් වැදගත් වනවා.  මේවා ආරක්ෂා කරගැනීම මේ මොහොතේ දැඩි අවශ්‍යතාවක්ව පවතින බව අපට පෙනී ගියා. මෙම වැඩසටහන් ඔස්සේ, ප්ලාස්ටික් අපද්‍රව්‍ය ඉක්මනින් ප්‍රතිචක්‍රීකරණය කර අපගේ පරිසරය පෙර පැවති තත්ත්වයට පත්කිරීමේ වැදගත්කම පිළිබඳව කාගේත් අවධානය යොමුවේවි.” Hemas Holdings PLC හි සමූහ ප්‍රධාන විධායක නිලධාරිනී කස්තුරි චෙල්ලරාජා මහත්මිය පැවසුවා ය.

මීගමුව යනු අලංකාර වෙරළ තීරයකින් මෙන්ම ජල මාර්ග තුනකින්ද සමන්විත නගරයකි. ඒ නිසාම එය බස්නාහිර පළාතේ ධීවර කර්මාන්තයේ කේන්ද්‍රස්ථානයක් බවට පත්වී තිබේ.

Hemas Holdings සහ Clean Ocean Force Lanka අතර අත්සන් තබන ලද ප්‍රථම අවබෝධතා ගිවිසුම යටතේ, පෝරුතොට වෙරළ තීරය රැකගැනීමේ වැඩසටහනක් ක්‍රියාවට නැංවෙනු ඇත. Hemas Consumer Brands සමග අත්සන් තැබූ අනෙක් අවබෝධතා ගිවිසුම යටතේ මීගමුව කලපුව පිරිසිදු කිරීමේ වැඩසටහන ක්‍රියාත්මක කෙරේ. ප්ලාස්ටික් අපද්‍රව්‍ය රැගෙන එන ජලමාර්ග රැසක් කලපුවට සම්බන්ධ වී ඇති නිසා එහි විශාල පරිසර දූෂණයක් සිදුවෙමින් පවතී. කලපුව ඉන්දියන් සාගරයට සම්බන්ධ බැවින්, එහි ප්ලාස්ටික්, පොලිතින් සහ වෙනත් අපද්‍රව්‍ය මෙන්ම රොන්මඩ එක්වීම මගින් සමස්ත පරිසර පද්ධතියම අවදානමකට ලක් වේ. රජයේ සහ පෞද්ගලික අංශයේ පාර්ශවකරුවන් සහ අඩු ආදායම්ලාභී පවුල්වල ප්‍රජා ස්වේච්ඡා බලකාය සමග එක්වී Clean Ocean Force විසින් ආරම්භ කරන ලද මෙම ප්ලාස්ටික් ඉවත් කිරීමේ සහ පිරිසිදු කිරීමේ වැඩසටහන් මගින් බස්නාහිර පළාතේ මීගමුව ප්‍රදේශයේ කම්මල්තොට සිට බේරුවල  වඩාත් දූෂිත වෙරළ, ඇළ මාර්ග සහ ජල මාර්ග දිනපතා හෝ සතියක දෙවරක් පිරිසිදු කිරීම සිදුකරනු ලබයි. මේ ඔස්සේ දිනකට ප්ලාස්ටික්, පොලිතීන් සහ අනෙකුත් අපද්‍රව්‍ය කිලෝග්‍රෑම් සියයකට අධික ප්‍රමාණයක් ඉවත් කර වර්ගීකරණ මධ්‍යස්ථාන වෙත යැවීමෙන් අනතුරුව ප්‍රතිචක්‍රීකරණය සඳහා යොමුකෙරේ.

“Hemas සහ Clean Ocean Force අතර මෙවැනි හවුල්කාරීත්වයක් ඇතිකර ගැනුණේ පළමු වතාවටයි. මෙහිදී සාම්ප්‍රදායික පාලම් පාරු යොදාගනිමින්, කලපුවේ පාවෙන සහ කඩොලාන වල සිරවී ඇති ප්ලාස්ටික් සහ අනෙකුත් අපද්‍රව්‍ය එකතු කිරීම දිනපතා සිදුකරනු ලබනවා. මෙම වැඩසටහනට COF සමග එක්ව වැඩ කරන ධීවර ප්‍රජාවන් සෘජුවම සම්බන්ධ වන අතර එමගින් ඔවුන්ට ආදායමක්ද ලැබෙනවා.” Clean Ocean Force Lanka හි සභාපති හා නිර්මාතෘ ජෙරම් ප්‍රනාන්දු මහතා පැවසී ය.

සුවිශේෂී රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරීත්වයක් ලෙස Clean Ocean Force ක්‍රියාත්මක වේ. පළාත් පාලන හා පරිසර අමාත්‍යාංශය (බස්නාහිර), අපද්‍රව්‍ය කළමනාකරණ අධිකාරිය (බස්නාහිර), සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය (MEPA), ශ්‍රී ලංකා පොලිසියේ පාරිසරික අංශය, සමෘද්ධි අධිකාරිය, ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාව, අධ්‍යාපන අමාත්‍යාංශය (බස්නාහිර), සහ නැගෙනහිර පළාතේ මහ නගර සභා සහ පළාත් පාලන ආයතන මෙම වැඩසටහන් සමග එක්වී සිටින අතර, බස්නාහිර පළාත් ආණ්ඩුකාර කාර්යාලය මගින් මෙම සමස්ත මෙහෙයුම් ක්‍රියාවලිය නිරීක්ෂණය කෙරේ.

 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

fifteen − 14 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව