සොෆ්ට්ලොජික් ලයිෆ් AI තාක්ෂණයෙන් සවිබල ගැන්වූ ශ‍්‍රී ලංකාවේ ප‍්‍රථම රූපවාහිනී වෙළඳ දැන්වීම එළි දක්වයි

Image 01 (LBN)

 



 

 

ශ‍්‍රී ලංකාවේ දෙවැනි  විශාලතම ජීවිත රක්ෂණ සමාගම වන සොෆ්ට්ලොජික් ලයිෆ්, artificial intelligence (AI) තාක්ෂණය යොදාගනිමින් නිර්මාණය කල ශ‍්‍රී ලංකාවේ ප‍්‍රථම රූපවාහිනී වෙළඳ දැන්වීම මෑතකදී මෑතකදී එළි දක්වන ලදී. මෙහිදී deepfake යන නවමු තාක්ෂණ ක‍්‍රමවේදය යොදාගනිමින්, 70-80 දශකයේ බිහිවූ කෘතහස්ත ගායකයින් සිව් දෙනෙක් වන එච්.ආර්.ජෝතිපාල, මිල්ටන් මල්ලවාරච්චි, ක්ලැරන්ස් විජේවර්ධන සහ සුනිල් පෙරේරා නැවත ප‍්‍රතිනිර්මාණය කරන්නට සමත් වී ඇත. සොෆ්ට්ලොජික් ලයිෆ් හි ප‍්‍රචලිත ‘ලෙඩ ලෙඩ‘ තාලයට මෙම කලාකරුවන් සිව්දෙනා ඉදිරිපත් කරන නිර්මාණාත්මක ප‍්‍රචාරණය මේ වන විට ශ‍්‍රී ලංකාවේ සෑම දෙනෙකු අතරම දැඩි ජනප‍්‍රියත්වයට පත්ව ඇත.

මේ වනවිටලොව පුරා ඇති සන්නාම,  තමන්ගේ පාරිභෝගිකයන් වෙත වින්දනීය සහ සිත් ඇදගන්නාසුළු අත්දැකීම් ගෙන එම සඳහා AI තාක්ෂණය යොදාගැනීමට ඇති හැකියාව පිළිබඳව අවධානය යොමුකර ඇත. එවැනි පසුබිමක් තුළ, ශ‍්‍රී ලාංකීය රක්ෂණ ක්ෂේත‍්‍රයට නවෝත්පාදනයන් රැසක් හඳුන්වා දුන් (එක්දින හිමිකම් ගෙවීම්, ජීවිත රක්ෂණ ක්ෂේත‍්‍රයට සෞඛ්‍ය රක්ෂණයන් හඳුන්වා දීම, ජීවිත රක්ෂණ අලෙවිය පිළිබඳව ධනාත්මක පැතිකඩක් ගෙනා ‘ලෙඩ ලෙඩ’ ප‍්‍රවර්ධන වැඩසටහන) සොෆ්ට්ලොජික් ලයිෆ් සමාගම, මෙම වෙළඳ දැන්වීම එළිදක්වන්නට නවතම තාක්ෂනය භාවිතා කරමින්, තවත් එක වැදගත් සහ නිර්භීත පියවරක් තබා ඇත.

25%ක් වූ වසර 5ක වර්ධන වේගයක් (14%ක වෙළඳපල වර්ධන වේගයට එරෙහිව) අත්පත් කරගත් සොෆ්ට්ලොජික් ලයිෆ් සමාගම, වසර 5ක් තුල පස්වන වෙළඳපොල ස්ථානයෙන්, දෙවන ස්ථානයට පත්වූ අතර, 2022 වසර අවසානයේ රු. බිලියන 23ක දළ වාරික ආදායමක් අත්පත් කරගන්නා ලදී. මෙම වසර කිහිපය තුලදී, තම සමාගමේ නවෝත්පාදන ප‍්‍රවේශය සැබවින්ම සාර්ථක  එකක් බව සොෆ්ට්ලොජික් ලයිෆ් ඔප්පු කර ඇත. Deepfake තාක්ෂණය යොදාගනිමින් මෙරට ප‍්‍රථම රූපවාහිනී වෙළඳ දැන්වීම නිර්මාණය කළ සමාගම වශයෙන්, ශ‍්‍රී ලංකාවේ අනෙකුත් සමාගම්වල අලෙවිකරණ උපාය මාර්ගයන්   සඳහා, අදාළ සදාචාරාත්මක සහ නෛතික රාමුන් තුළ, මෙම තාක්ෂණය යොදාගැනීමේ හැකියාවන් පිළිබඳව දැනුවත් කරන්නට බලාපොරොත්තු වේ.

මෙම සුවිශේෂී සංකල්පය පිළිබඳව අදහස් දක්වමින් සොෆ්ට්ලොජික් ලයිෆ් කළමනාකාර අධ්‍යක්ෂ ඉෆ්තිකාර් අහමඞ් මහතා පැවසුවේ, ”පුද්ගලයන්ගේ සහ ඔවුන්ගේ ආදරණීයයන්ගේ මූල්‍ය අනාගතය සුරක්ෂිත කිරීම සඳහා ජීවිත රක්ෂණයේ ඇති වැදගත්කම අපි වටහාගෙන ඇති අතර, ඉහල යන ජීවන වියදමත් සමග වෙන කවරදාටත් වඩා දැන් එම කරුණ අදාළ වී තිබෙනවා. ජීවිත රක්ෂණයේ වටිනාකම සහ අදාළත්වය මහජනතාවට රැගෙන යාමේදී ඵලදායී සන්නිවේදනය වැදගත් කාර්යභාරයක් ඉටු කරනවා. මෙම වෙළඳ දැන්වීමේ පෙනී සිටින අග‍්‍රගණ්‍ය කලාකරුවන් සෑම ශ‍්‍රී ලාංකිකයෙකුගේම ආදරය සහ ගෞරවය දිනා ඇති අතර, ඔවුන්ගේ සංගීතය තවත් චිරාත් කාලයක් අප අතරේම පවතින බව නොරහසක්. අපේ හදවත්වල ජීවමානව සිටිනා මෙම ගායකයින් සිව් දෙනා තුළින්,  ජීවිත රක්ෂණයේ වැදගත්කම සහ එයින් ලබාදෙන ආරක්ෂාව පිළිබඳ වූ පණිවිඩය ශ‍්‍රී ලාංකිකයන් හට ගෙන යන්නට හැකි බව අපට වැටහුණා. මෙම දැන්වීමේ ඇති වැදගත් හරය සහ කාලෝචිත පණිවිඩය නරඹන්නන් මැනවින් තේරුම් ගනු ඇතැයි අප බලාපොරොත්තු වෙනවා.”

මෙම වෙළඳ දැන්වීමේදී,  Deepfake මගින් ප‍්‍රතිනිර්මාණය කර ඇති මෙම කලාකරුවන් සිව්දෙනා, වර්තමානයේ මිනිසුන් මුහුණ දෙන දුෂ්කරතා පිළිබඳව සංවේදී වන ආකාරය විදහා පාන අතර, මෙවැනි අවිනිශ්විත කාලවලදී ජීවිත රක්ෂණයක ඇති වැදගත්කම සහ එයින් මනසට ලබාදෙන නිදහස පිළිබඳව අවධාරණය කර සිටියි. මෙම අභියෝගාත්මක කාලයේදී, සෑම පාරිභෝගිකයෙකු පිටුපසින්ම සිටිමින්, ඔවුන්ට අවශ්‍ය සහයෝගය ලබාදෙන්නට ඇපකැප වී ඇති බව කියාපාන පණිවිඩය මෙම වෙළඳ දැන්වීම මගින් සොෆ්ට්ලොජික් ලයිෆ් රැගෙන එයි.

සොෆ්ට්ලොජික් ලයිෆ් හි ප‍්‍රධාන අලෙවි නිලධාරීනී කවී රාජපක්ෂ මහත්මිය පැවසුවේ, ”අපි මේ වෙළඳ දැන්වීම නිර්මාණය සඳහා ප‍්‍රවේශ වුණේ ඉතාමත් සැලකිල්ලෙන්. AI තාක්ෂණය පිළිබඳව තවමත් ශ‍්‍රී ලංකාවේ නීති සම්පාදනය වී නැති නිසා මෙම කලාකරුවන්ට ගෞරවය පිරිනැමිය යුතු ආකාරය පිළිබඳව ක‍්‍රමවේද ඉතාමත් ප‍්‍රවේශමෙන් සකස් කළා. ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් සමඟ සම්බන්ධ වී එම සාමාජිකයන්ගේ අදහස් විමසා සිටියා. ඔවුන් දැක්වූ සහයෝගයට, එම කලාකරුවන්ගේ පවුල්වල සියලූම සාමාජිකයින්ට අපි අතිශයින්ම  ස්තුතිවන්ත වෙනවා.”

”මෙම සංකල්පයට ජීවය ලබාදුන් MullenLowe Sri Lanka සහ Lowe Tech වෙත මගේ කෘතඥතාව පළ කරනවා. ඒ වගේම මෙම ව්‍යාපෘතියට දායක වී ඇති Thirdshift, Digibrush, New Media Solutions සහ Adfactors PR Lanka ආයතනවලටත් මගේ ස්තූතිය මේ අවස්ථාවේ පිරිනමනවා. Deepfake තාක්ෂණය යොදාගනිමින් නිර්මාණය කල ශ‍්‍රී ලංකාවේ ප‍්‍රථම රූපවාහිනී වෙළඳ දැන්වීම එළිදැක්වීම පිළිබඳව අප ආඩම්බරයට පත් වන අතර, ශ‍්‍රී ලංකාවේ සියලූම ක්ෂේත‍්‍ර සඳහා මෙම නවමු තාක්ෂණය යොදාගැනීමේ ප‍්‍රථම පියවර මෙය වේයැයි අප බලාපොරොත්තු වෙනවා.”

MullenLowe Sri Lanka ජ්‍යෙෂ්ඨ උප සභාපති/විධායක නිර්මාණ අධ්‍යක්ෂ දිල්ෂාර ජයමාන්න මහතා පැවසුවේ, ”මෙම වෙළඳ දැන්වීම සොෆ්ට්ලොජික් ලයිෆ් සඳහා පමණක් නොව සමස්ත වෙළඳ ප‍්‍රචාරණ ක්ෂේත‍්‍රය සඳහාම පරිවර්තනීය අවස්ථාවක්. MullenLowe-Softlogic Life සුසංයෝගය හැමවිටම සම්ප‍්‍රදායට අභියෝග කරමින්, ශ‍්‍රී ලාංකිකයන් හට අලූත්ම අත්දැකීමක් ලබාදෙන්නට වෙර දරන සුසංයෝගයක්. හැබැයි මේ ගමන ආරම්භ වන්නේ ජීවිත රක්ෂණ ක්ෂේත‍්‍රය තුළ වෙනස්ම දෙයක් කරන්නට සොෆ්ට්ලොජික් ලයිෆ් තුළ තිබුණු ඒ එඩිතර බවයි. මෙවර අප ඒ වෙනස ගෙන එන්නේ තාක්ෂණය සහ නිර්මාණශීලිත්වය ඉතාමත් අපූරු ලෙස එකතු කරමින්. වෙළඳ ප‍්‍රචාරණ ක්ෂේත‍්‍රයේ නව මානයන් සොයා යන අතරේ, මෙම ක්ෂේත‍්‍රයේ දියුණුව සඳහා එක්ව කරන කැපවීම පිළිබඳව අප නිහතමානීව ආඩම්බර වෙනවා.”

”අපගේ මේ උත්සාහය, ශ‍්‍රී ලාංකීය අලෙවිකරණ සන්නිවේදන ක්ෂේත‍්‍රයේ සම්ප‍්‍රදායික බැමි බිඳ දමන්නට ගත් වෑයමක්. මෙම සංකල්පයේ මූලික නිර්මාණ අවධියේ සිට අවසාන Deepfake Algorithms පුහුණුව තෙක්, ඉතාමත් පුළුල් පරීක්ෂණ සිදු කළා. ඔබ අවසානයේ දකින තත්පර 30 දැන්වීම නිර්මාණය කරන්නට පරිගණක පැය 200කට අධික කාලයක් වැයවුණා. මෙම නිර්මාණයත් සමඟ, අපි සාම්ප‍්‍රදායික වෙළඳ ප‍්‍රචාරණ සම්මතයන්ට අභියෝග කරමින්, නිර්මාණාත්මක ප‍්‍රකාශනය සඳහා නව මංපෙත් විවර කර තිබෙනවා,” LoweTech Sri Lanka හි MarTech අංශයේ අධ්‍යක්ෂ ආචාර්ය සොහාන් ධර්මරාජා කියා සිටියා.

 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

18 − sixteen =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව