සෙලාන් බැංකුවේ සභාපති ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු බුවනෙක අලුවිහාරේ මහතා පත්කෙරේ

Mr. Buwaneka Aluwihare

සෙලාන් බෑන්ක් පීඑල්සී හි නව සභාපතිවරයා ලෙස 2024 මැයි 29 දින සිට ක්‍රියාත්මක වන පරිදි ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු, ජනාධිපති නීතීඥ බුවනෙක අලුවිහාරේ මහතා පත්කර තිබේ.

දැනට එහි සභාපති ලෙස කටයුතු කරන රවී ඩයස් මහතා, 2024 මැයි 28 දින වනවිට සෙලාන් බැංකුවේ අධ්‍යක්ෂවරයෙකු ලෙස වසර 9 ක සේවා කාලයක් සම්පූර්ණ කර, 2007 අංක 11 දරන බැංකු පනත (ආයතනික පාලන) අනුව විශ්‍රාම යනු ඇත.

 



 

මීට පෙර 2024 පෙබරවාරි මාසයේදී අලුවිහාරේ මහතා සෙලාන් බෑන්ක් පීඑල්සී හි ස්වාධීන, විධායක නොවන අධ්‍යක්ෂවරයෙකු ලෙස පත්කරන ලදී.

නීති ක්ෂේත්‍රයේ මෙන්ම මූල්‍ය ක්ෂේත්‍රයේ දීර්ඝකාලීන පළපුරුද්දක් හිමි අලුවිහාරේ මහතා තම වෘත්තීය ජීවිතයේදී එම ක්ෂේත්‍ර තුළ කැපීපෙනෙන තනතුරු රැසක් දරා ඇත.

1982 වර්ෂයේදී නීති වෘත්තියට එක්වුණු අලුවිහාරේ මහතා රජයේ නීතීඥවරයෙකු ලෙස නීතිපති දෙපාර්තමේන්තුව සමග එක් වී, ක්‍රමානුකූලව උසස්වීම් ලබමින් 2013 වසරේදී අතිරේක සොලිසිටර් ජෙනරාල් තනතුරට පත් වූ අතර, එම වසරේදීම ජනාධිපති නීතීඥවරයෙකු ලෙසද පත්වීම් ලැබී ය. ශ්‍රී ලංකාවේ සහ ෆීජි දූපත්වල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු ලෙස සේවය කර ඇති අලුවිහාරේ මහතා, අධිකරණ සේවා කොමිෂන් සභාවේ මෙන්ම විනිශ්චයකාරවරුන් පුහුණු කිරීමේ ආයතනයේ කළමනාකරණ මණ්ඩලයේ සාමාජිකයෙකුද වේ.

නැගෙනහිර ටිමෝරයේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අභිචෝදකවරයෙකු ලෙසද සේවය කර ඇති ඒ මහතා එහි බරපතළ යුද අපරාධ කමිටුව හමුවේ අධිකරණ කටයුතුවලට සම්බන්ධ වී තිබේ.

තම වෘත්තීය ජීවිතය තුළ නීති අධ්‍යාපන කටයුතු සඳහාද නොයෙක් ආකාරයෙන් දායක වී ඇති අලුවිහාරේ මහතා, ශ්‍රී ලංකාවේ නීති විද්‍යාලයේ සාක්ෂි නීතිය පිළිබඳ කථිකාචාර්යවරයෙකු සහ විභාග පරීක්ෂකවරයෙකු ලෙස සේවය කර ඇති අතර, කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ ජාත්‍යන්තර මානුෂීය නීතිය පිළිබඳ බාහිර කථිකාචාර්යවරයෙකු/විභාග පරීක්ෂකවරයෙකු ලෙසද කටයුතු කර ඇත.

මෑතකදී කැබිනට් මණ්ඩලය විසින් අලුවිහාරේ මහතා මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ සහ ත්‍රස්තවාදය මැඩලීමේ කාර්ය සාධක බලකායේ සභාපති ලෙස පත්කරන ලදි. මෙම පත්වීම, ආයතනික යහපාලනය සහ අනුකූලතාව සම්බන්ධයෙන් ඒ මහතා පෙන්නුම් කර ඇති කැපවීම තහවුරු කරන සාක්ෂියකි.

සෙලාන් බැංකුවේ සභාපති තනතුරට බුවනෙක අලුවිහාරේ මහතා පත්කිරීම, එම බැංකුවේ වර්ධනයේ සහ සාර්ථකත්වයේ වැදගත් සන්ධිස්ථානයක් වනු ඇත. නීති ක්ෂේත්‍රය මෙන්ම මූල්‍ය ක්ෂේත්‍රය සම්බන්ධයෙන් ඒ මහතා සතු පෘථුල දැනුම සහ දීර්ඝකාලීන පළපුරුද්ද, රටේ සුභසිද්ධියට දායක වෙමින් ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සේවා සම්පාදකයා බවට පත්වීම සඳහා සෙලාන් බැංකුවට ශක්තිමත් මගපෙන්වීමක් ලබාදෙනු නිසැක ය.

එමෙන්ම තම සේවා කාලය තුළ සෙලාන් බැංකුවේ දියුණුව වෙනුවෙන් ලබාදුන් නායකත්වය සහ දායකත්වය වෙනුවෙන් එම බැංකුව රවී ඩයස් මහතාට තම කෘතඥතාව පළකර සිටී. දියුණුව කරා යන අතරම සියලුම ගනුදෙනුකරුවන්ට විශිෂ්ටතම සේවාවක් පිරිනැමීම තුළින්, රවී ඩයස් මහතාගේ මෙහෙවර අඛණ්ඩව ඉදිරියට රැගෙන යාම සෙලාන් බැංකුවේ අපේක්ෂාව වී තිබේ.

 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව