සාර්ව ආර්ථික අභියෝගයන් මධ්‍යයේ වුවද සම්පත් බැංකුව තම අනාගත සුරක්ෂිතභාවය තහවුරු කර ගනී.

අයෝධ්_යා ඉද්දවෙල පෙරේරා මහත්මිය - කළමනාකාර අධ්_යක්ෂිකා - සම්පත් බැංකුව (LBN)

 



 

 

සම්පත් බැංකුව 2023 සැප්තැම්බර් 30 වන දිනෙන් අවන් කාලපරිච්ඡේදය සඳහා බදු පෙර ලාභය රුපියල් බිලියන 22.0ක් ද බදු පසු ලාභය රුපියල් බිලියන 12.3 ක් ද අත්පත් කරගත් අතර එය පෙර වසරේ අනුරූප කාලපරිච්ඡේදය හා සැසඳීමේදී පිළිවෙලින් 136.4% ක හා 71.5% ක වර්ධනයකි.

2023 සැප්තැම්බර් 30 වන දිනට බැංකුවේ මූල්‍ය ප්‍රතිඵල

බැංකුවේ බදු පසු ලාභය 71.5% කින් එනම් රුපියල් බිලියන 12.3 ක් දක්වා ඉහළ යාම

ශුද්ධ ගාස්තු  හා කොමිස් ආදායම පසුගිය වසරට සාපේක්ෂව 10%කින් ඉහළ යාම

ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල, රුපියල් 42.0කින් අධි ප්‍රමාණය වීම හේතුවෙන් විනිමය ආදායම පෙර වසරට සාපේක්ෂව රුපියල් බිලියන 15.8කින් පහත වැටීම

ණය හා ආයෝජන සඳහා අපහායන ප්‍රතිපාදන 70.4%කින් පහත වැටීම

පසුගිය කාලපරිච්ඡේදයට සාපේක්ෂව බදු වියදම 197.7%කින් ඉහළ යාම

දේශීය මුදල් තැන්පතු ප්‍රමාණය 2023 සැප්තැම්බර් 30 වන දිනට රුපියල් බිලියන 112කින් එනම්  රුපියල් බිලියන 996ක් දක්වා ඉහළ යාම

2022 දෙසැම්බර් 31 වන දිනට 11.92% හා 14.27% ක්ව පැවති පළමු පෙළ ප්‍රාග්ධන අනුපාතය හා මුළු ප්‍රාග්ධන අනුපාතය 2023 සැප්තැම්බර් 30 දින වන විට පිළිවෙලින් 14.37% හා 17.73% ක් දක්වා ඉහළ යාම

සම්පත් බැංකුව සමාලෝචනය කරනු ලබන කාලපරිච්ඡේදය සඳහා රුපියල් බිලියන 153.4 ක දළ පොලී ආදායමක් වාර්තා කරන ලද අතර එය පෙර වසරේ අනුරූප කාලඡේදය සඳහා වාර්තා වූ රුපියල් බිලියන 106.1 හා සැසඳීමේදී 44.6% ක වර්ධනයකි. සාමාන්‍ය බර තබන ලද ප්‍රමුඛ ණය අනුපාතය (AWPLR) 2022 සැප්තැම්බර් 30 වන දිනට වාර්තා වූ අගයට සාපේක්ෂව 2023 සැප්තැම්බර් 30 වන දින වන විට පදනම් ලකුණු 1.128කින් පහත වැටුණද එහි සාමාන්‍ය අගය පෙර වසරේ අනුරූප කාලපරිච්ඡේදයට සාපේක්ෂව මෙම වසරේ සලකනු ලබන කාලපරිච්ඡේදය පුරාවට සැලකිය යුතු ලෙස ඉහළ මට්ටමක පැවතිණ. තවද පොලී අනුපාතයන් ඉහළ යාම හේතුවෙන් පොලී ආදායමට සාපේක්ෂව පොලී වියදම වැඩි අගයකින් ඉහළ ගිය අතර මේ හේතුවෙන් ශුද්ධ පොලී ආදායම 0.3% කින් පහත වැටිණ.

2023 වසරේ පළමු කාර්තුව පටන් සාමාන්‍ය බර තබන ලද ප්‍රමුඛ ණය අනුපාතයේ පැවති පහත වැටීමේ ප්‍රවණතාව හේතුවෙන් 2022 වසරේ දෙසැම්බර් 31 දිනට 5.66%ක්ව පැවති ශුද්ධ පොලී ආන්තිකය වාර්තා කරනු ලබන කාලපරිච්ඡේදය අවසන් දින වන විට 5.19% ක් දක්වා එනම් පදනම් ලකුණු 49කින් පහත වැටිණ.

කාඩ්පත්, වෙළෙඳ මෙහෙයුම්, විද්‍යුත් මාර්ග හා විද්‍යුත් ප්‍රේෂණ ආශ්‍රිත ආදායම් ඉහළ යාම හේතුවෙන් බැංකුවේ ශුද්ධ ගාස්තු හා කොටස් කොමිස් ආදායම පෙර වසරේ අනුරූප කාලඡේදයට සාපේක්ෂව 10%කින් ඉහළ ගියේය. එසේම ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල 11.5%කින් අධි ප්‍රමාණය වීම නිසා වාර්තා වූ රුපියල් බිලියන 2.8 ක විනිමය අලාභය හේතුවෙන් 2022 වසරේ අනුරූප කාලපරිච්ඡේදයේදී වාර්තා කරන ලද රුපියල් බිලියන 18ක ශුද්ධ මෙහෙයුම් ආදායමට සාපේක්ෂව  2023 වසරේ පළමු මාස 9ක කාලපරිච්ඡේදය සඳහා රුපියල් බිලියන 2.3ක ශුද්ධ මෙහෙයුම්  අලාභයක් වාර්තා කරන ලදී. කෙසේ වෙතත් පෙර වසරේ අනුරූප කාලඡේදය සඳහා වාර්තා කළ රුපියල් බිලියන 3ක ශුද්ධ වෙළෙඳ අලාභය ඉදිරි විනිමය ගිවිසුම් ප්‍රතිඅගය කිරීම් හේතුවෙන් මෙම වසරේ සලකනු ලබන කාලඡේදය සඳහා රුපියල් බිලියන 1.7ක ශුද්ධ වෙළෙඳ ආදායමක් දක්වා ඉහළ නැංවීමට බැංකුව සමත් වූ අතර මේ හේතුවෙන් ඉහත විනිමය අලාභය යම් දුරකට ආවරණය කර ගැනීමට සම්පත් බැංකුවට හැකි විය.

තම විචක්ෂණශීලී ප්‍රතිපාදන ප්‍රතිපත්තිය ප්‍රදර්ශනය කරමින් සම්පත් බැංකුව අපහායන අයකිරීම් සඳහා රුපියල් බිලියන 14.4ක ප්‍රතිපාදනයක් වෙන් කරන ලද අතර එය ණය හා අත්තිකාරම් සඳහා රුපියල් බිලියන 12.5ක්ද (2022 තුන්වන කාර්තුව සඳහා රුපියල් බිලියන 37.7) වෙනත් මූල්‍ය උපකරණ සඳහා රුපියල් බිලියන 1.8ක්ද (2022 තුන්වන කාර්තුව සඳහා රුපියල් බිලියන 10.3) අනෙකුත් බැඳීම් හා අසම්භාව්‍යයන්ට එරෙහිව රුපියල් බිලියන 0.2 කින්ද (2022 තුන්වැනි කාර්තුව සඳහා රුපියල් බිලියන 0.8) සමන්විත විය.  පෙර වසරේ අනුරූප කාලඡේදය හා සැසඳීමේදී 2023 වසරේ මුල් මාස 9 සඳහා ණය හා අත්තිකාරම් සඳහා අපහායන අයකිරීම් 66.9%

කින් අඩු වුවද ප්‍රතිපාදන ආවරණ අනුපාතය 2022 සැප්තැම්බර් අවසානයේදී පැවති 9.8% සිට 2023 සැප්තැම්බර් 30 වන විට 13.5% ක් දක්වා එනම් පදනම් ලකුණු 370කින් වැඩිවී ඇත. තවද දේශීය ණය ප්‍රශස්තකරණ වැඩසටහන යටතේ ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර (SLDB) රුපියල් බැඳුම්කර සඳහා හුවමාරු කිරීමට  බැංකුව තීරණය කරන ලද අතර මේ හේතුවෙන් ඒ සඳහා වෙන් කරන ලද අපහායන ප්‍රතිපාදන නැවත හැරවීමට බැංකුවට හැකි විය’ කෙසේ වෙවත් මෙලෙස ලබාගත් රුපියල් බැඳුම්කර සඳහා බැංකුව විසින් පළමු දින ආලාභයක් (Day 1 Loss) හඳුනාගන්නා ලදී. තවද ශ්‍රී ලංකා ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර (SLISB) සඳහා වෙන් කරන ලද අපහායන ප්‍රතිපාදන ඉහළ නැංවීමටද බැංකුව ක්‍රියා කරන ලදී.

2022 වසරට සාපේක්ෂව 2023 වසරේ අනුරූප කාලච්ඡේදය තුලදී මෙහෙයුම් වියදම් 18.8% කින් ඉහළ යන ලද අතර මේ සඳහා 2022 වසරේ පැවති රුපියල් අවප්‍රමාණය වීමත් උද්ධමනය හේතුවෙන් භාණ්ඩ හා සේවා මිල ගණන් ඉහළ යාම හේතුවෙන් අනෙකුත් වියදම් 25.6% කින් ඉහළ යාමත් මූලික වශයෙන් හේතු විය. මීට අමතරව ඉහළ දමන ලද බදු අනුපාතයන් ද අලුතින් හඳුන්වා දුන් සමාජ ආරක්ෂණ හා දායකත්ව බද්ද ද හේතුවෙන් බැංකුවේ සඵල බදු අනුපාතය 2022 වසරේ සලකනු ලබන කාලපරිච්ඡේදයේ පැවති 43.4% සිට 2023 වසරේ තුන්වන කාර්තුව අවසානය වන විට 57.1% ක් දක්වා ඉහළ යන ලදී.

සම්පත් බැංකුව සතු මුළු වත්කම් 2022 වසරේ දෙසැම්බර් 31 දිනට පැවති රුපියල් ටි්‍රලියන 1.32 සිට රුපියල් බිලියන 161 ක වර්ධනයක් සහිතව 2023 සැප්තැම්බර් 30 වන දින විට රුපියල් ටි්‍රලියන 1.49ක් දක්වා වර්ධනය විය. තවද බැංකුව සතු මුළු තැන්පතු ප්‍රමාණය රුපියල් අධිප්‍රමාණය වීම මධ්‍යයේ වුවද 2022 දෙසැම්බර් 30 දිනට පැවති රුපියල් ටි්‍රලියන 1.10 සිට 2023 සැප්තැම්බර් 30 වන දින වන විට රුපියල් ටි්‍රලියන 1.21ක් දක්වා රුපියල් බිලියන 110.1 ක වර්ධනයක් සහිතව ඉහළ යන ලදී. මීට අමතරව දේශීය මුදල් තැන්පතු ප්‍රමාණය 2023 වසරේ මුල් මාස 9 තුළදී රුපියල් බිලියන 112කින් ඉහළ ගිය අතර  එය තුන්වන කාර්තුව අවසානයේදී රුපියල් බිලියන 996ක් ලෙස වාර්තා විය.

 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව