කොමර්ෂල් බැංකුවේ අනුග‍්‍රහයෙන් සිසුන් විශාල සංඛ්‍යාවකට CISCO තොරතුරු තාක්ෂණ පාඨමාලා වලින් ප‍්‍රතිලාභ

ComBank Logo

 




 

 

කොමර්ෂල් බැංකුව 2020 වසරේදී CISCO නෙට්වර්කිං ඇකඩමිය සමග එක්ව මෙරට රජයේ පාසැල්වල අධ්‍යාපනය ලබන සිසුදරුවන් 500 දෙනෙකුට පමණ තොරතුරු තාක්ෂණික පාඨමාලා නොමිලේ හැදෑරීමේ අවස්ථාව ලබාදෙන ලදී.

කොමර්ෂල් බැංකුවේ තොරතුරු තාක්ෂණික අධ්‍යාපනය හා සම්බන්ධ ආයතනික සමාජ සත්කාර වැඩසටහන්වල කොටසක් ලෙස මෙම ඒකාබද්ධතාවය ආරම්භ කළේ බැංකුව විසින් පාසැල් වලට ප‍්‍රදානය කර තිබෙන තොරතුරු තාක්ෂණික විද්‍යාගාර වලින් උපරිම ප‍්‍රයෝජන ලබාගනිමින් කාලීන තොරතුරු සහ තාක්ෂණික දැනුම සිසු දරුවන්ට ලබාදීම අරමුණු කර ගනිමිනුයි. මෙමගින් කොඩිව්-19 වසංගත සමයේදී සාම්ප‍්‍රදායික පන්ති කාමර සීමාවෙන් ඔබ්බට ගොස් CISCO වෙතින් කර්මාන්තයේ ප‍්‍රමුඛතම සහතිකයක් ලබාගැනීමේ අවස්ථාව සිසුන්ට ලබාදීම කැපී පෙනේ.

මෙම ඒකාබද්ධතාවයට අනුව බැංකුව විසින් මෙම සිසුන්ට දේශන සඳහා යන වියදම් ලබාදුන් අතර CISCO නෙට්වර්කිං ඇකඩමිය විසින් පාඨමාලා නොමිලේ හැදෑරීමේ අවස්ථාව ලබාදෙන ලදී. මෙම පාඨමාලා සම්පූර්ණ කළ සිසුන්ට CCNA, CCNP සහ සයිබර් ඔපරේෂන්ස් යන CISCO වෘත්තීය සූදානම් සහතික ලබාගැනීම සඳහා ශිෂ්‍යත්ව දිනාගැනීමේ අවස්ථාවද හිමිවිය. මෙම සහතික වලට කර්මාන්තය තුළ ඉහළ ඉල්ලූමක් තිබෙන බව බැංකුව සඳහන් කරයි.

වසංගත තත්ත්වය හමුවේ පාසැල්වල තොරතුරු තාක්ෂණික සහ සෙසු අධ්‍යාපනික කටයුතු අත්හිටුවීම, නිවසේ සිට අන්තර්ජාලය ඔස්සේ අධ්‍යාපනය හැදෑරූ සිසුන්ට අන්තර්ජාල සබඳතා ගැටලූ වලට මුහුණ පාන්නට සිදුවීම, අඩු ආදායම් ලාභී දරුවන්ට අන්තර්ජාල අධ්‍යාපන කටයුතු සඳහා ලියාපදංචි වීමට තිබූ බාධාවන් ඇතුළු බොහෝ බාධක හමුවේ මෙම ව්‍යාපෘතිය සාර්ථකත්වය අත්කර ගැනීමට සමත්වූ බව බැංකුව සඳහන් කරයි. CISCO සන්නාමයේ වටිනාකම දකිමින් බොහෝ සිසුන් සංඛ්‍යාවක් මෙම පාඨමාලාවල ලියාපදිංචි වී වෘත්තීය සූදානම් ශිෂ්‍යත්ව දිනාගැනීම දක්වා අධ්‍යාපන කටයුතු සම්පූර්ණ කිරීම මගින් මෙහි සාර්ථකත්වය පිළිඹිබු වන බව ද බැංකුව ප‍්‍රකාශ කරයි.

මේ අනුව, මෙම ඇකඩමිය විසින් අන්තර්ජාලය ඔස්සේ අධ්‍යාපන කටයුතු ලබාදෙන තොරතුරු තාක්ෂණික පාඨමාලා 05 ක් තෝරාගනිමින් 2021 වසරේ අධ්‍යාපනික කටයුතු හැදෑරීමට කොමර්ෂල් බැංකුව විසින් අවුරුදු 13 ට වැඩි සිසුන්ට මේ වනවිටත් ආරාධනා කර තිබේ.

කොමර්ෂල් බැංකුව විසින් ආයතනික සමාජ වගකීම් වැඩසටහන් මගින් ජාතික තලයේ තොරතුරු තාක්ෂණික සාක්ෂරතාවය නැංවීම සඳහා පාසැල් සහ අනිකුත් ආයතන සඳහා මේ වනවිට තොරතුරු තාක්ෂණික විද්‍යාගාර 200 ක් ප‍්‍රදානය කර තිබෙන අතර මේ වනවිටත් බස්නාහිර පළාතේ පාසැල් 65 ක ක‍්‍රියාත්මක වන ‘ස්මාර්ට් ස්කූල්ස්’ වැඩසටහන සමග ඒකාබද්ධ වී ඇත.

බැංකුව විසින් සියවස සැමරීම සඳහා STEM විෂය ධාරාවන් උගන්වන ස්මාර්ට් පන්ති කාමර 100 ක් ගොඩනැගීමේ වැඩසටහනකටද සහයෝගය දක්වන අතර පාසැල්වල ගණිත විද්‍යාගාර ඇරඹීම සඳහාද අරමුදල් සපයයි. මීට අමතරව, උසස් අධ්‍යාපනය සඳහා වරම් නොලබන සිසුන් වෙත වෘත්තීය අධ්‍යාපනය ලබාදීමේ අවස්ථාවන් පුළුල් කිරීමටද බැංකුව කටයුතු කර තිබේ. ශ‍්‍රී ලාංකේය සිසු දරුවන්ට ගෝලීය දැනුම ලබාදීම සඳහා ‘සිප්නැණ’ නමින් අන්තර්ජාල අධ්‍යාපනික වෙබ් අඩවියක්ද බැංකුව විසින් නිර්මාණය කර ඇත.

ලෝකයේ හොඳම බැංකු 1000 අතරට නම් වූ ප‍්‍රථම දේශීය බැංකුව සහ පිට පිටම දස වතාවක් එසේ නම් වූ එකම ශ‍්‍රී ලාංකේය බැංකුව වන කොමර්ෂල් බැංකුව මෙරට බැංකු ශාඛා 268 ක් සහ ස්වයංක‍්‍රීය ටෙලර් යන්ත‍්‍ර 890 ක් පවත්වාගෙන යයි.

බංග්ලාදේශය තුළ ශාඛා 19 ක් ද මියන්මාරයේ නේ පයිටව් හි, ක්ෂුද්‍ර මූල්‍යන සමාගමක් මෙන්ම මාලදිවයින තුළ බහුතර කොටස් හිමිකාරීත්වයෙන් යුතු පළමු පෙළ බැංකුවකින් සමන්විත විදේශීය මෙහෙයුමක් පවත්වාගෙන යන ශ‍්‍රී ලංකාවේ එකම පුද්ගලික වාණිජ බැංකුව කොමර්ෂල් බැංකුව වේ.

 

 

 



 

 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව