ස්විස් හෝටල් කළමනාකරණ ආයතනය, ජාතික යොවුන් සේනාංකය හා එක්ව හෝටල් ක්ෂේත්‍රයේ තරුණ කුසලතා නංවයි

1- SHMA and NYC (LBN)

 



 

 

හෝටල් කර්මාන්තයේ අනාගතය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ තරුණ පරපුර සූදානම් කිරීමේ අරමුණ පෙරදැරි කරගනිමින් බවර් සමාගමට (A. Baur & Co. පුද්ගලික සමාගම) අනුබද්ධිත ස්විස් හෝටල් කළමනාකරණ ආයතනය (Swiss Hotel Management Academy Pvt. Ltd. -SHMA) සහ ශ්‍රී ලංකා ජාතික යොවුන් සේනාංකය අතර පසුගියදා විශේෂ අවබෝධතා ගිවිසුමක් අත්සන් කෙරිණි.

ක්‍රීඩා සහ යෞවන කටයුතු අමාත්‍යංශය භාරයේ ඇති ශ්‍රී ලංකා ජාතික යොවුන් සේනාංකය මෙම ගිවිසුම යටතේ තිරසර වර්ධනය සඳහා කුසලතා (Skills for Sustainable Growth) ව්‍යාපෘතියේ ඉගෙනුම් සහකරුවෙකු ලෙස නම් කර තිබේ. එය, බවර් සමාගම සහ ස්විට්සර්ලන්තයේ විදෙස් කටයුතු පිළිබඳ ෆෙඩරල් දෙපාර්තමේන්තුට අනුබද්ධිත ජාත්‍යන්තර සහයෝගීතා ආයතනය වන සංවර්ධනය සහ සහයෝගීතාව වෙනුවෙන් වූ ස්විස් ආයතනය (Swiss Agency for Development and Cooperation – SDC) එක්ව ක්‍රියාත්මක කරන පෞද්ගලික සහ රාජ්‍ය සහයෝගීතා ව්‍යාපෘතියකි.

වර්ෂ 2002 සිට මෙරට තරුණ කුසලතා සංවර්ධනය වෙනුවෙන් කැපවී ක්‍රියාකරන ජාතික යොවුන් සේනාංකය සතුව දිවයින පුරා පුහුණු මධ්‍යස්ථාන 58ක් පවතියි. ඔවුන් සතු සුවිශේෂී පුහුණු අභ්‍යාස මාදිලි හරහා තරුණ පරපුරේ මෘදු කුසලතා, අධ්‍යාපනය, වෘත්තීය පුහුණු, විශ්‍රාන්ති සහ ප්‍රජා පාදක හැකියාවන් වර්ධනයට විශාල දායකත්වයක් හිමිවේ. 2014 වසරේදී ජාතික යොවුන් සේනාංකය විසින් ආරම්භ කරන ලද දඹුල්ල  La Hotelier හෝටලය මගින් කුසලතා පිරුණු දක්ෂ සිසුන් රැසක් බිහිකර ඇති අතර එහි ප්‍රතිඵලයක් ලෙස මෙරට ප්‍රමුඛ පෙළේ හෝටල් සහ අවන්හල් රැසකින් එම සිසුන්ට රැකියා අවස්ථා විවෘත කර දී තිබේ.

ඔක්තෝබර් 17 වැනිදා ක්‍රීඩා සහ යෞවන අමාත්‍යංශයේදී මෙම අවබෝධතා ගිවිසුමට අත්සන් තැබුණි. එම අවස්ථාවට SHMA සහ බවර් සමාගම් නියෝජනය කරමින් ප්‍රධාන විධායක නිලධාරී/ කළමනාකාර අධ්‍යක්ෂ රොල්ෆ් බ්ලාසර්, මූල්‍ය සහ අනුකූලතා අධ්‍යක්ෂ පවිත්‍ර සමරසිංහ, අධ්‍යාපන සහ සංචාරණ සාමාන්‍යාධිකාරිණී ඩැනියෙලා මුණසිංහ, SHMA කළමනාකාරිණී සුරේකා ප්‍රනාන්දු සහ ව්‍යාපෘති ප්‍රධානී ශෙරිල් ආනඩ්ට් යන අය සහභාගී වූහ. ජාතික යොවුන් සේනාංකය වෙනුවෙන් සහභාගී වූ පිරිස අතර, අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් සුජීව රත්නායක, අතිරේක අධ්‍යක්ෂ (පුහුණු හා සංවර්ධන) සමන් කුලසූරිය, අධ්‍යක්ෂ (මධ්‍යම පළාත) මේජර් අශෝක විජේරත්න සහ සහකාර අධ්‍යක්ෂ (සංවර්ධන) ඉනෝකා ගුණවර්ධන යන අය වූහ.

තව ද මෙම අවස්ථාවට ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ, ශ්‍රී ලංකාවේ ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ නියෝජ්‍ය තානාපති ඔලිවර් ප්‍රාස් සහ පළමු ලේකම් ඩොරිස් මැනර් යන අය ද සහභාගී වූහ.

‘තිරසර වර්ධනය සඳහා කුසලතා ව්‍යාපෘතිය‘ මගින් 2025 වසර වනවිට මෙරට හෝටල් කර්මාන්තයට 2,240ක තරුණ පුහුණු ශ්‍රම බලකායක් එක් කිරීමට අපේක්ෂා කරයි. තව ද, හෝටල් කර්මාන්ත අධ්‍යාපනයට නැඹුරු වන කාන්තා නියෝජනය 40%ක් දක්වා නැංවීම ද එහි අරමුණකි. මෙම අධ්‍යයන වැඩසටහනෙහි අන්තර්ගතයෙන් තුනෙන් දෙකක ප්‍රමාණයක් හෝටල් ආශ්‍රිත සේවාස්ථ පුහුණු අවස්ථා වීම ද විශේෂත්වයකි. 2025 වසර වනවිට ශ්‍රී ලංකාව තුළ ‘තිරසර වර්ධනය සඳහා කුසලතා‘ මධ්‍යස්ථාන 8ක් ඇරඹීමට ද  SHMA සැලසුම් කර තිබේ.

ව්‍යාපෘතිය හරහා ජාතික යොවුන් සේනාංකය වෙත මෙන්ම හෝටල් ක්ෂේත්‍රයට ද පොදුවේ රටේ ආර්ථිකයට ද දැවැන්ත ශක්තියක් වන ස්විස් වෘත්තීය කුසලතා සංවර්ධන විෂය මාලාවක් පිරිනැමීමට අපේක්ෂිත ය. SHMA සතු අත්දැකීම් සහිත වෘත්තීකයින් ජාතික යොවුන් සේනාංකය වෙත සිය සම්පත් දායකත්වය ලබාදෙමින් දක්ෂතාවයෙන් සහ රැකියා විභවතාවෙන් යුත් තරුණ පරපුරක් ගොඩනැඟීමට සහාය පිරිනමයි.

SHMA මගින් මෑතක සිදුකළ සමීක්ෂණයක ප්‍රතිඵල ද මෙහිදී බවර් සමාගමේ සාමාන්‍යාධිකාරිණී (අධ්‍යාපන සහ සංචාරක) ඩැනියෙලා මුණසිංහ මහත්මිය ගෙනහැර දැක්වූවාය. ″අපගේ සිසුන්ගෙන් 92.3%ක් තමන් දැනට සේවය කරන ආයතනයේ හෝ නව සේවා ආයතනයක රැකියාවේ උසස් වීමක් ලබාගෙන තිබෙනවා. ඒ වගේම අපේ සිසුන්ගෙන් 75%කට වැඩි පිරිසක් තරු පහේ සංචාරක හෝටල්වල සේවය කරනවා.  EHL වැඩසටහනේ VET සම්පූර්ණ කිරීම මගින් තමන්ගේ වේතනය සැළකිය යුතු ලෙස වැඩිකරගැනීමටත් SHMA සිසුන්ට හැකිවී තිබෙනවා. රුපියල් 50,000ට අඩු වේතනයක් ලැබූ සිසුන්ගෙන් බාගයක්ම දැන් රුපියල් ලක්ෂයකට වැඩි වේතනයක් ලබනවා. සියයට 64කට වැඩි සිසුන් පිරිසක් රුපියල් ලක්ෂ දෙක ඉක්මවූ මාසික ශුද්ධ වැටුපක් ලබනවා. අපි විවිධ හෝටල්, ශ්‍රී ලංකා වරලත් පුද්ගල කළමනාකරණ ආයතනය (CIPM) සහ නෙස්ලේ වැනි විවිධ ආයතන සමඟ අවබෝධතා ගිවිසුම්වලටත් අපි එළඹී තිබෙනවා″, යනුවෙන් ඇය පැවසුවාය.

SHMA යනු උසස් ප්‍රමිතියේ හෝටල්කරුවන් නිර්මාණය කිරීම වෙනුවෙන් ජාත්‍යන්තර මට්ටමේ උසස් අධ්‍යාපනයක් ලබාදෙන අධ්‍යාපන ආයතනයකි. වර්ෂ 1893 සිට ලොව පුරා විවිධ රටවල් 120කට වැඩි ප්‍රමාණයකට අයත් ශිෂ්‍ය ශිෂ්‍යාවන් 25,000කට වැඩි ප්‍රමාණයකට අධ්‍යාපනය ලබාදී ඇති École hôtelière de Lausanne හි EHL වෘත්තීය ඩිප්ලෝමා පාඨමාලා යටතට ගැනෙන වෘත්තීය අධ්‍යාපන පුහුණු අවස්ථා පිරිනැමීමට SHMA ආයතනයට අවසර හිමිව තිබේ. ඒ අනුව, ඉවුම් පිහුම්, ආහාර පාන සහ හෝටල් මෙහෙයුම් යන අංශ යටතේ එම වෘත්තීය පුහුණු අධ්‍යාපන පහසුකම් සැලසීමට SHMA ආයතනය කටයුතු කරයි.

 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

16 − four =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව