සෙලාන් බැංකුව 39 වැනි වෙළඳ සේවා මළල ක්‍රීඩා තරගාවලියේදී ජයග්‍රහණ රැසක් වාර්තා කරයි

Seylan Bank Team (LBN)

2024 සැප්තැම්බර් 25, කොළඹ: සුහද හදක් ඇති දේශීය බැංකුව, සෙලාන් බැංකුව නියෝජනය කරමින් 39 වැනි වෙළඳ සේවා මළල ක්‍රීඩා තරගාවලියට සහභාගී වූ කණ්ඩායම ජයග්‍රහණ රැසක් වාර්තා කරගැනීමට සමත් විය. මෙම තරගාවලිය 2024 අගෝස්තු 09 දින සිට 11 දින දක්වා කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

තරගාවලිය නියෝජනය කළ සෙලාන් බැංකු මළල ක්‍රීඩා කණ්ඩායමට ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 30 දෙනෙක් ඇතුළත් වූහ. එහිදී රන් පදක්කම් 10, රිදී පදක්කම් 8 ක් සහ ලෝකඩ පදක්කම් 5 ක් දිනාගනිමින් බැංකු අතර 2 වැනි ස්ථානයද, සමස්තයක් ලෙස 6 වැනි ස්ථානයද දිනාගැනීමට සෙලාන් බැංකුවට හැකියාව ලැබිණි.
 



 

2024 සමස්ත තරගාවලියේ විශිෂ්ටතම මළල ක්‍රීඩකයා/ක්‍රීඩිකාව මෙන්ම කාන්තා අංශයේ විශිෂ්ටතම ක්‍රීඩිකාව බවට පත්වීමට සාරංගි සිල්වා සමත් වූ අතර,  වයස අවුරුදු 30 ට වැඩි කාණ්ඩයේ විශිෂ්ටතම ක්‍රීඩිකාව බවට පත්වීමට කමලිනී මිල්ස් සමත් වූවා ය.

එමෙන්ම මීටර් 400, මීටර් 400 කඩුලු මතින් දිවීම, 400×4 සහය දිවීම සහ 100×4 සහය දිවීම යන තරග ඉසව්වල රන් පදක්කම් මෙන්ම මීටර් 800 කාණ්ඩයේ රිදී පදක්කමක් දිනාගැනීමට චාමික වීරවර්ධන සමත් විය. සාරංගි සිල්වා විසින් දුර පැනීම සහ තුන් පිම්ම යන ඉසව්වල රන් පදක්කම් දිනාගන්නා ලද අතර, උස පැනීම (නව වාර්තාවක්ද සමගින්) සහ හෙල්ල විසිකිරීම යන ඉසව්වල රන් පදක්කම් සහ මීටර් 200 අංශයේ රිදී පදක්කම  කමලිනී මිල්ස් විසින් දිනාගන්නා ලදී.

මීට අමතරව කවපෙත්ත විසිකිරීමේ ඉසව්වේ රන් පදක්කම ජනීෂා ශ්‍රීස්කාන්තටද, අවුරුදු 50+ පිරිමි මීටර් 200 ඉසව්වේ රන් පදක්කම පී. කේ. ප්‍රේමසිරිටද, මීටර් 400 කඩුලු මතින් දිවීමේ ඉසව්වේ රිදී පදක්කම හර්ෂිනී ශෙල්වරාජාටද හිමි විය. නවක පිරිමි මීටර් 200 අංශයේ රිදී පදක්කම සහ මීටර් 100 අංශයේ ලෝකඩ පදක්කම පසිඳු මල්ෂාන් විසින් දිනාගන්නා ලද අතර, අවුරුදු 50+ පිරිමි ඇවිදීමේ ඉසව්වේ රිදී පදක්කම සමන් පෙරේරා විසින් දිනාගන්නා ලදි. අවුරුදු 40+ කාන්තා මීටර් 200 ඉසව්වේ රිදී පදක්කම සහ අවුරුදු 40+ කාන්තා මීටර් 400 ඉසව්වේ ලෝකඩ පදක්කම නෙලූකා එස්. ප්‍රනාන්දු වෙත හිමි වූ අතර, අවුරුදු 55+ පිරිමි මීටර් 3000 සහ මීටර් 800 ඉසව්වල ලෝකඩ පදක්කම් සුසන්ත ප්‍රනාන්දු වෙත හිමි විය. සහය දිවීමේ කණ්ඩායම් විසින්ද රන්, රිදී සහ ලෝකඩ පදක්කම් කිහිපයක් දිනාගන්නා ලදී.

මීට පෙර චාමික වීරවර්ධන විසින් 2022 වසරේදී පිරිමි ශූරතා කාණ්ඩයේ මීටර් 400 ඉසව්ව තත්පර 49.82 කින් අවසන් කරමින් වාර්තාවක් පිහිටුවා තිබූ අතර, කමලිනී මිල්ස් විසින් 2018 වසරේදී උස පැනීමේ ඉසව්ව සඳහා මීටර් 1.51 ක උසක් වාර්තා කරමින් වාර්තාවක් පිහිටුවා තිබිණි. මෙම වසරේදී අවුරුදු 30+ කාන්තා උස පැනීමේ ඉසව්වෙන් මීටර් 1.45 ක උසක් වාර්තා කරමින් නව වාර්තාවක් පිහිටුවීමට කමලිනී මිල්ස් සමත් වූවා ය.

වෙළඳ සේවා මළල ක්‍රීඩා සම්මේලනය මගින් සංවිධානය කරනු ලබන වෙළඳ සේවා මළල ක්‍රීඩා ශූරතා තරගාවලිය ලෝක මළල ක්‍රීඩා සංගමයේ පිලිගැනීමට ලක්වූ තරගාවලියකි. මෙම වසරේදී නිෂ්පාදන, ඇඟලුම්, නාවික සේවා, ගුවන් සේවා, රක්ෂණ, බැංකු හා මූල්‍ය, සංචාරක සේවා, සෞඛ්‍ය සේවා, දුරකථන සන්නිවේදන සහ වෙළඳ සේවා යනාදී ක්ෂේත්‍රවල සමාගම් 47 ක් නියෝජනය කළ කණ්ඩායම් මෙම තරගාවලියට සහභාගී වූහ.

“අපගේ මළල ක්‍රීඩක ක්‍රීඩිකාවන් අපට ආඩම්බරයක්. ඔවුන්ගේ ජයග්‍රහණ මගින් නිරූපණය වන්නේ අප කරන කියන සෑම දෙයකටම පදනම් වන ජයග්‍රාහී ආකල්පමයි. ඉදිරියේදී පැවැත්වෙන තරගාවලිවලදීත් මෙවැනි ජයග්‍රහණ රාශියක් වාර්තා කරගැනීමට අපට හැකි වනු ඇති බවට සැකයක් නැහැ.” සෙලාන් බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී, අභ්‍යන්තර විගණන සහ සෙලාන් බැංකු ක්‍රීඩා සමාජයේ සභාපති වරුණ කොග්ගලගේ මහතා පැවසී ය.
 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව