
බොහෝ දෙනා අතර ජනප්‍රිය පාඨක සමාජයන්හි සිට ඩිජිටල්කරණය වූ පාඨක සමාජයක් දක්වා කියවීමේ කැමැත්ත හා උනන්දුව පරිවර්තනය වෙමින් පවතී. කාලය හා තාක්ෂණය වෙනුවෙන් වන වත්මන් පරම්පරාවේ උනන්දුව නිසාම අද වන විට බොහෝ පොත් සාප්පු අන්තර්ජාල වේදිකාවන් බවට පත් වෙමින් පාඨකයින් ඒ වෙත ආකර්ෂණය කරගැනීමට සමත්ව තිබේ.
පොත් පත් කියවීම පිළිබඳව දඩි කැමැත්තක් දක්වන පාඨකයින් එම ඩිජිටල් අවකාශයන් සමඟ එක් වෙමින් තමන්ගේ අදහස් මෙන්ම අත්දැකීම් බෙදාහදා ගැනීමට කටයුතු කරන්නේ ලෝකයේ අස්සක් මුල්ලක් නෑර පාඨකයින් ඒ වෙත සම්බන්ධ කර ගනිමිනි. #BookTok මෙහෙයුමේ අරමුණ වන්නේද මේ සබඳතාවයි. විවිධ වයස්, පවුල් හා සමාජ පසුබිම් මෙන්ම සංස්කෘතීන් නියෝජනය කරන ඔවුන් කියවීමේ රුචිකත්වය වෙනුවෙන් එක් වේදිකාවකට එක් වීම සාමාන්‍ය ප්‍රවණතාවකට එහා ගිය අත්දැකීමක් වන බැවින් කියවීමට සුදුසු හා කියවීමේ ආශාව ඉහළ නංවන පොත් පත් පිළිබඳ තොරතුරු බෙදාහදා ගැනීමේ ගෝලීය ව්‍යාපාරයක් ලෙසද අර්ථ දැක්විය හැකිය.
BookTok කියන්නේ මොකක්ද?
පාඨක හදවත් දිනාගත් පොත්පත් පිළිබඳ සිදු කරන සමාලෝචන, නිර්දේශ හා සජීවී සාකච්ඡා සමගින් අදහස් බෙදාහදා ගැනීමට #BookTok හෑෂ් ටැගය භාවිත කරන TikTok හි පාඨක ප්‍රජාවක් ලෙස BookTok හඳුන්වා දිය හැකිය. කෙටි හා ආකර්ෂණීය වීඩියෝ තුලින් පාඨක උනන්දුව ඉහළ නංවන එය සියලු ආකාරයේ පොත පත පිළිබඳ ඔවුනොවුන්ගේ අත්දැකීම් ගවේෂණය කිරීමේ වේදිකාවක්ද වේ. පොත් කියවීම සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන පාඨකයින් කිහිප දෙනෙකු විසින් තමන්ගේ ප්‍රියතම පොත පත පිළිබඳ අදහස් බෙදාහදා ගැනීමෙන් ආරම්භ වූ BookTok අද වන විට වීඩියෝ මිලියන 48කට අධික සංඛ්‍යාවක් සමඟින් ශක්තිමත් සාහිත්‍ය බලවේගයක් බවට පත්ව සිටියි. ඒ නිසාම BookTok දැන් සාහිත්‍ය රස විඳින, සාකච්ඡා කරන ප්‍රජාවක් නිර්මාණය කිරීමට සමත්ව ඇත.
කියවීමේ ආශාව බොහෝ දෙනා තුළ ඇති කර ඇති BookTok පිළිබඳ එක් ශ්‍රී ලාංකේය පාඨකයෙක් දැරුවේ මෙවන් අදහසකි. “ මම ඉස්සර ඉතා හොඳ පාඨකයෙක්. අධ්‍යාපනය, රැකියාව වැනි හේතු නිසා ජීවිතයට එල්ල වූ බාධාවන් පොත් කියවීමෙන් මා ඈත් කළා. විවේකයේදී මා කළේ සමාජ මාධ්‍ය භාවිත කිරීම පමණයි. ඒ අතරෙදි තමයි මම BookTok වෙත යොමු වුණේ. එය ඇත්තටම අලුත් ලෝකෙකට ගියා වගේ හැඟීමක් මට ඇති කළා. දැන් පොත් පිළිබඳ තිබූ මගේ උනන්දුව ජංගම දුරකතනය වෙත ගොස් ඇති අතර එහි සිටින පොත් ලෝලීන් සමඟ කටයුතු කරන මා බොහෝ පොත් කියවීමට අවස්ථාව උදා කර ගත්තා. එය පොත් ගුල්ලකුගේ සිහිනය සැබෑ වීමක් ලෙසයි මම දකින්නේ ”
BookTok සහ ප්‍රජාවේ බලය
BookTok යනු අලුත් පොත් සොයා ගැනීමේ වේදිකාවක් පමණක් නොව නව සම්බන්ධතා නිර්මණය කරන තෝතැන්නකි. පාඨකයින්, නිර්මාණකරුවන් හා කතුවරුන් එකට එක් කරන මෙය පිළිබඳව Chanu Chapters පළ කරන්නේ මෙවන් අදහසකි.
“තරුණ පරපුරට අලුත් මාතෘකා සහ අවස්ථාවන් හඳුන්වා දීමේදී විශාල කාර්යභාරයක් ඉටු කිරීමට TikTok සමත්ව තිබෙනවා. මගේ සමාලෝචන හා පොත් වීඩියෝ හරහා මිනිසුන් කියවීම සඳහා පෙළඹවීමට හැකි වීම පිළිබඳව මා ඉතාමත් සතුටට පත් වෙනවා. ඒ සඳහා බොහෝ සුබ පැතුම් මට ලැබී තිබෙනවා. පොත් කියවීමට කැමැත්තක් දැක්වූ එහෙත් කාර්යබහුල බව හේතුවෙන් ඉන් ඉවත් වුණු පිරිස් නැවත පොත් සමඟ එකතු වන ආකාරය පුදුම සහගතයි”
වැඩිදුරටත් අදහස් දක්වමින් Chanu Chapters පවසා සිටියේ “ඔබ ලේඛකයකු ලෙස වෙනත් නිර්මාණකරුවන් සමඟ ඔබේ අත්දැකීම් බෙදාහදා ගන්නා විට පාඨකයින් සමඟ අර්ථවත් සම්බන්ධතා ගොඩ නගා ගැනීමේ අවස්ථාව උදා වනවා. එය පොත් කියවීමට පමණක් නොව ඒවා පිළිබඳ සාකච්ඡා රිරීමට හා අදහස් බෙදා ගැනීමට අවස්ථාවක් නිර්මාණය කරනවා” යනුවෙනි.
කතුවරුන් හා ප්‍රකාශකයින්ට BookTok හි බලපෑම
මේ තුලින් ප්රතිලාභ ලබන්නේ පාඨකයින් පමණක් නොවීම මෙහි ඇති විශේෂත්වයකි. තම පාඨකයින් සමඟ සම්බන්ධ වීමේ නව ක්‍රමවේද සොයමින් සිටින කතුවරුන්ට ඔවුන්ගේ පොත්වල අන්තර්ගතයන්, පොත් ලිවීමේදී ලද අත්දැකීම් පාඨකයින් සමඟ බෙදාහදා ගැනීමටත් ඔවුන් සමඟ මනා සබඳතාවක් පවත්වා ගැනීමටත් BookTok ලබා දෙන්නේ කදිම අවස්ථාවකි. පොත් ප්රකාශකයින්ටද තමන්ගේ ප්‍රකාශන සම්බන්ධයෙන් පාඨක පිරිස් දැනුවත් කිරීමට මෙන්ම අලුත් ප්‍රකාශන පිළිබඳ තොරතුරු බෙදාහදා ගැනීමටද මෙය කදිම වේදිකාවකි.
BookTok ප්‍රවණතාව සමඟ පොත් සාප්පු සම්බන්ධ වන අයුරු
අද වන විට පාඨකයින්, නිර්මාණකරුවන්, පොත් ප්‍රකාශකයින් පමණක් නොව පොත් අලෙවිකරුවන්ද BookTok සමඟ සම්බන්ධ වෙමින් සිටින්නේ එහි ඇති විශේෂත්වය නිසාමය. ඩිජිටල් යුගය පොත් අලෙවිකරුවන්ගේ අවාසනාවට කරුණක් ලෙස සැලකුවද අද වන විට මෙවන් වේදිකාවන් හරහා එය ඔවුන්ට ආශිර්වාදයක් බවට පත් කිරීමට හැකිව තිබේ. ගෝලීය වශයෙන් ගත් කල පොත් අලෙවිය අන් කවරදාටත් වඩා ඉහළට ගෙන යාමට BookTok නිසා හැකිවී තිබෙන අතර ශ්‍රී ලංකාවේ තත්වයද ඊට දෙවැනි නැත. වර්තමානයේ MD Gunasena වැනි සමාගම් මෙම ඩිජිටල් පෙරලිය සමඟ එක් වෙමින් තම සාර්ථකත්වයේ මාවත යළි සකස් කර ගනිමින් සිටියි. ස්වාධීන නිර්මාණකරුවන් හා අලෙවිකරුවන්ද මේ තුලින් තමන්ගේ පොත් අලෙවි කරගැනීමට අවශ්‍ය මඟ සක්ස් කර ගනු ලබති.
දැන් පොතක් මිලදී ගැනීමට හෝ පොතක් පිළිබඳව දැන ගැනීමට අවශ්‍ය වන විට පොත් රාක්කය අසලට යාමට අවශ්‍යතාවක් නැත. ඔබේ ජංගම දුරකතනයෙන් ඔබ කැමති පොත රස විඳීමටත් පාඨක සමාජය සමඟ එක්ව ඔබේ අත්දැකීම් බෙදාහදා ගනිමින් කියවීමේ රසය නැවත නැවතත් භුක්ති විඳීමටත් BookTok වෙත පිවිසෙන්න.