
ලෝක පරිසර දිනය නිමිත්තෙන්, වෙරළ තීරය ආරක්ෂා කිරීමේ ව්‍යාපෘතියක් සඳහා INSEE Lanka සමාගම ශ්‍රී ලංකා වෙරළාරක්ෂක බලකාය සමඟ පසුගියදා මුලපුරනු ලැබීය. මුදිල්ල සහ කඩොලාන පැළ වසරකට 10,000 බැගින් සිටුවීමේ වෙරළාරක්ෂක බලකායේ ප්‍රධානතම ඉලක්කයක එක් පියවරක් වශයෙන් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරේ. INSEE සමාගම යනු කවදත් පාරිසරික වැදගත්කමක් ඇති ව්‍යාපෘති සඳහා පුරෝගාමීව දායක වූ දේශීය සමාගමකි. දේශගුණික විපර්යාසයන්ට ඔරොත්තු දීමේ හැකියාව වර්ධනය කිරීම සහ කාබන් අවශෝෂණය වැඩි කිරීමේ ගෝලීය අවශ්‍යතා මැනවින් හඳුනාගනිමින්, ලංකාවේ වෙරළබඩ පරිසර පද්ධති යථා තත්ත්වයට පත් කිරීමට සහ ඒවා ආරක්ෂා කිරීමට සමාගම දක්වන උනන්දුව මෙම ව්‍යාපෘතිය තුළින් ද ඉස්මතු වේ.
ඉහත කී දැවැන්ත වාර්ෂික ඉලක්කය කරා යන ගමනේ පළමු පියවර තබමින්, 2026 ජූනි 5වන දින පානදුර වෙරළ තීරයේ වෙරළාරක්ෂක ජීවිතාරක්ෂක මධ්‍යස්ථානය ආශ්රිත වෙරළ කලාපයේ මුදිල්ල පැළ 100ක් උත්සවාකාරයෙන් සිටුවමින් මෙම ව්‍යාපෘතිය ආරම්භ කරන ලදී.
මෙම වැඩසටහනේ පළමු අදියර යටතේ, ශ්‍රී ලංකා වෙරළාරක්ෂක බලකාය විසින් දිවයිනේ තෝරාගත් වෙරළ තීරයන් කිහිපයක මුදිල්ල පැළ 1,000ක් සහ කඩොලාන පැළ 750ක් සිටුවනු ලැබීය. වෙරළබඩ කලාපයේ පාරිසරික ඔරොත්තු දීමේ හැකියාව ශක්තිමත් කිරීමටත්, වෙරළ ඛාදනය වැළැක්වීමට ස්වභාවික පවුරක් ලෙස ක්‍රියා කිරීමටත්, ජෛව විවිධත්වය සුරැකීමටත් ඇති සුවිශේෂී හැකියාව නිසා මෙම ශාඛ විශේෂ තෝරාගෙන ඇත.
ස්වේච්ඡා සේවකයන් විශාල පිරිසකගේ දායකත්වය ඇතිව දියත් කළ මෙම ව්‍යාපෘතිය මඟින්, ශාඛ තවාන් සංවර්ධනය සහ තාක්ෂණික දැනුම ලබාදීම ඇතුළු අංශ කිහිපයක් ඔස්සේ අඛණ්ඩ සහයෝගය ලබා දීමට INSEE Lanka ආයතනය කටයුතු කරනු ඇත. මෙම ශාඛ එකතුව, පරිසර පද්ධති ප්‍රතිසංස්කරණය සහ දිගුකාලීන පාරිසරික රැකවරණය අවධාරණය කරන INSEE සමාගමේ “තිරසර අභිලාෂ 2030” (Sustainability Ambition 2030) සැලැස්මේ “ජෛව විවිධත්ව” (Biodiversity) අංශය යටතේ ක්‍රියාත්මක වේ.


