වියට්ජෙට් (Vietjet) සහ සැටෙයාර් (Satair) සමාගම ගුවන් යානා සමූහයේ වර්ධනයට සහ ගුවන් ගමන් ජාලය පුළුල් කිරීමට සහය දක්වමින් උපායමාර්ගික අවබෝධතා ගිවිසුමකට අත්සන් තබයි

Capture

කොළඹ, 2026 ඔක්තෝම්බර් 23: වියට්ජෙට් සහ සැටෙයාර් සමාගම් එක්ව උපායමාර්ගික අවබෝධතා ගිවිසුමකට අත්සන් තබා තිබේ. ඩෙන්මාර්කයේ කෝපන්හේගන් නුවර පැවති වියට්නාම සහ ඩෙන්මාර්ක ව්‍යාපාරික සමුළුවට සමගාමීව අත්සන් තැබුණු මෙම ගිවිසුමේ අරමුණ වූයේ, ගුවන් සේවා සැපයුම් දාමය, ද්‍රව්‍ය කළමනාකරණය සහ ගුවන් යානාවල සමස්ත සේවා කාලය පුරාම අවශ්‍ය වන විසඳුම් ලබාදීම යන ක්ෂේත්‍රවල දෙපාර්ශවයම අතර පවතින දිගුකාලීන සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීමයි. මෙම සුවිශේෂී අවස්ථාව සඳහා වියට්නාමයේ මහ ලේකම් සහ ජනාධිපති අතිගරු ටෝ ලාම් මහතා සහ ඩෙන්මාර්කයේ දහවන ෆෙඩ්රික් රජතුමා ඇතුළුව දෙරටේම ඉහළ පෙළේ නිලධාරීන් සහභාගී විය.




ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ගත් කල, කොළඹ දක්වා ව්‍යාප්ත වන වියට්ජෙට් ගුවන් සේවයේ ගුවන් ගමන් ජාලයේ මෙහෙයුම් කටයුතු තවදුරටත් ශක්තිමත් කිරීමට මෙම ගිවිසුම දායක වේ. මෙම ගුවන් සමාගම විසින් අගෝස්තු මාසයේ දී ආරම්භ කරන ලද කොළඹ සහ හෝ චී මින් නගරය අතර ගුවන් ගමන් සේවා සතියකට තුන්වරක් ක්‍රියාත්මක වේ. මෙහිදී හෝ චී මින් නගරයේ සිට කොළඹ හරහා මාලදිවයින් දක්වා වන නව ගුවන් සේවාව 2026 දෙසැම්බර් 5 වන දින ආරම්භ කිරීමට නියමිත අතර, එමගින් ශ්‍රී ලංකාවේ සිටින මගීන්ට මාලදිවයින වෙත ළඟා වීමට වැඩි අවස්ථාවන් උදා වනු ඇත.

මෙම ගිවිසුම හරහා සමාගම් දෙක අතර හවුල්කාරිත්වයේ නව සන්ධිස්ථානයක් සනිටුහන් කරයි. සැටෙයාර් (Satair) සමාගමේ ගෝලීය ගුවන් සේවා සැපයුම් හා සේවා හැකියාවන්, වියට්ජෙට් සමාගමේ වර්ධනය වන ගුවන් යානා සමූහය, ජාත්‍යන්තර ගුවන් ගමන් ජාලය පුළුල් කිරීම සහ තාක්ෂණික යටිතල පහසුකම් සංවර්ධනය සඳහා පවතින අවශ්‍යතා සමඟ සම්බන්ධ කිරීමට මෙම ගිවිසුම මඟින් අවස්ථාව සැලසෙන අතර  වියට්නාමයේ ගුවන් සේවා සැපයුම් දාමය තවදුරටත් ශක්තිමත් කිරීමට මෙය මහඟු දායකත්වයක් සපයයි.

වියට්ජෙට් සමාගමේ වර්ධනය වන Airbus ගුවන් යානා සමූහයට සහාය වන දැනට ක්‍රියාත්මක ඒකාබද්ධ ද්‍රව්‍ය සේවාව (Integrated Material Services – IMS) තවදුරටත් ඉදිරියට ගෙන යමින්, පුළුල් පරාසයක ද්‍රව්‍යමය විසඳුම්, ඩිජිටල් ප්‍රශස්තකරණය සහ මෙහෙයුම් කටයුතු සඳහා ඔරොත්තු දීමේ හැකියාව තවදුරටත් වර්ධනය කිරීමට ද සුවිශේෂී රාමුවක් මෙම උපායමාර්ගික ගිවිසුම මඟින් ස්ථාපිත කොට තිබේ.

මෙම අවබෝධතා ගිවිසුම යටතේ, ප්‍රමුඛතා ක්ෂේත්‍ර හයක් ඔස්සේ සහයෝගීතා හැකියාවන් අධ්‍යයනය කර ඒවා ක්‍රියාවට නැංවීම සඳහා ඒකාබද්ධ මෙහෙයුම් කමිටුවක් පිහිටුවීමට ද සැලසුම් කර ඇත.

  1. ඒකාබද්ධ ද්‍රව්‍ය කළමනාකරණ සේවා (IMS) පුළුල් කිරීම: වියට්ජෙට් සමාගමේ වේගවත් ගුවන් යානා සමූහ ව්‍යාප්තියට සහ ජාත්‍යන්තර ගුවන් ගමන් ජාලයේ වර්ධනයට සමගාමීව, ද්‍රව්‍ය ලබාගැනීමේ හැකියාව, ප්‍රසම්පාදනය, සැලසුම්කරණය සහ තොග කළමනාකරණය ඇතුළත් දැනට ක්‍රියාත්මක IMS වැඩසටහන තවදුරටත් කාර්යක්ෂම කිරීම.
  2. Long Thanh ගුවන් සේවා මධ්‍යස්ථානය සංවර්ධනය කිරීම: වියට්ජෙට් සමාගමේ මෙහෙයුම් පහසුකම් පුළුල් කිරීමේ සැලසුම්වලට සමගාමීව, Long Thanh ජාත්‍යන්තර ගුවන් තොටුපළේ භාණ්ඩ ගබඩා කිරීමේ පහසුකම්, ද්‍රව්‍ය සැපයුම් සහාය සහ ගුවන් සේවා සැපයුම් දාමයට අදාළ විසඳුම් සංවර්ධනය කිරීමේ හැකියාවන් පිළිබඳව සොයා බැලීම.

3.ගුවන් යානා ආයු කාලය දීර්ඝ කිරීම සහ චක්‍රීය කළමනාකරණ විසඳුම් : ගුවන් යානා ආයු කාලය පුරා පිරිවැය කාර්යක්ෂමතාව සහ සැපයුම් දාමයේ තිරසාරභාවය ඉහළ නැංවීම සඳහා භාවිත කළ හැකි අමතර කොටස් (USM) යොදාගැනීම, ගුවන් යානා අංග අලුත්වැඩියා කිරීම හා හුවමාරු කිරීමේ සේවා සහ අතිරික්ත තොග කළමනාකරණය සම්බන්ධ අවස්ථා ගවේෂණය කිරීම.

4.දත්ත විශ්ලේෂණය සහ ඩිජිටල් පද්ධති ඒකාබද්ධ කිරීම: ද්‍රව්‍ය පිළිබඳ තොරතුරුවල විනිවිදභාවය ඉහළ නැංවීම සහ ගුවන් යානා නඩත්තු කටයුතු වඩාත් කාර්යක්ෂම කිරීම සඳහා උසස් දත්ත විශ්ලේෂණ ක්‍රම, ඒකාබද්ධ දත්ත කළමනාකරණ පද්ධති සහ ඉල්ලුම කල්තියා පුරෝකථනය කිරීමේ සැලසුම්කරණ ක්‍රමවේද භාවිත කිරීම.

5.මෙහෙයුම් කටයුතු විධිමත් කිරීම සහාය සේවා වැඩිදියුණු කිරීම: ඉහළ මෙහෙයුම් ගුවන් යානා මෙහෙයුම්වල විශ්වසනීයත්වය ඉහළ නැංවීම සඳහා ගුවන් යානා ගොඩ බෑම් සිදු කරන අවස්ථාවවලදී සඳහා හේතුවන හදිසි අක්‍රියතා (AOG) වෙනුවෙන් කඩිනමින් ප්‍රතිචාර දැක්වීමේ ක්‍රමවේද, කලාපීය අමතර කොටස් තොග කළමනාකරණ කිරීම සහ හදිසි සැපයුම් කටයුතු සම්බන්ධීකරණය තවදුරටත් ශක්තිමත් කිරීම.

6.නිපුණතා සංවර්ධනය සහ පුහුණුව: වියට්නාමයේ ගුවන් සේවා සැපයුම් දාම කළමනාකරණ ක්ෂේත්‍රයේ හැකියාවන් තවදුරටත් වර්ධනය කිරීම සඳහා කර්මාන්ත ක්ෂේත්‍රයේ අත්දැකීම්, තාක්ෂණික දැනුම සහ වෘත්තීය නිපුණතා සංවර්ධනයට අදාළ ක්‍රමවේද පිළිබඳ දැනුම හුවමාරු කරගැනීම

මෙහිදි අදහස් දක්වමින් සැටෙයාර් (Satair) හි ප්‍රධාන විධායක නිලධාරී රිචඩ් එස්. ස්ටොඩාර්ට් (Richard S. Stoddart) මහතා ප්‍රකාශ කර සිටියේ මෙම අවබෝධතා ගිවිසුම මගින් වියට්ජෙට් සමාගම සමඟ ඇති කරගත් මෙම හවුල්කාරිත්වයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කළ බවයි. එමෙන්ම අප දැනට ස්ථාපිත කර ගත් ඒකාබද්ධ ද්‍රව්‍ය සේවා පදනම තවදුරටත් ශක්තිමත් කරමින් වියට්ජෙට් ගුවන් සේවයේ ගුවන් යානා සමූහය පුළුල් කිරීමට සහාය වීමටත්, වියට්ජෙට් හි දිගුකාලීන වර්ධන ඉලක්කවලට සහාය වන පරිදි පුළුල් කළ හැකි, තිරසාර සහ දත්ත මත පදනම් වූ සැපයුම් දාම විසඳුම් සංවර්ධනය කිරීමට එකට එකතු වී කටයුතු කිරීමටත්  බලාපොරොත්තු වන බව ඔහු වැඩිදුරටත් කියා සිටී.

වියට්ජෙට් හි ප්‍රධාන විධායක නිලධාරී න්ගුයෙන් තාන් සොන් (Nguyen Thanh Son) මහතා පැවසුවේ වියට්ජෙට් හි ගුවන් යානා සමූහය සංවර්ධනයට, ජාත්‍යන්තර ජාල ව්‍යාප්තියට සහ මගී සේවාවන් අඛණ්ඩව ඉහළ නැංවීමට සක්‍රීය සහ කාර්යක්ෂම සැපයුම් දාමයක් අත්‍යවශ්‍ය වන බවයි. සැටෙයාර් (Satair) සමඟ ඇති කරගත් හවුල්කාරිත්වය මගින් Airbus හි ගෝලීය දැනුම සහ සැපයුම් දාම හැකියාවන් ප්‍රයෝජනයට ගනිමින් මෙහෙයුම් සහ නඩත්තු කාර්යක්ෂමතාව ඉහළ නැංවීමට මෙන්ම Long Thanh ජාත්‍යන්තර ගුවන් තොටුපළ ඇතුළු උපායමාර්ගික යටිතල පහසුකම් සංවර්ධනය කිරීම සඳහා සූදානම් වීමට අවස්ථාව ලැබෙන බව ඔහු පෙන්වා දෙයි. ගුවන් ක්ෂේත්‍රයේ වඩාත් තිරසාර අනාගතයකට දායක වෙමින්, වියට්නාමයේ දේශීය තාක්ෂණික දැනුම ශක්තිමත් කිරීමට සහ ගුවන් සේවා දක්ෂතාවයන් සංවර්ධනය කිරීමට ද ඔවුන් බලාපොරොත්තු වන බව ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.



ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව