USAID හි පෞද්ගලික අංශ සංවර්ධන ව්‍යාපෘතිය ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර මුල්‍යකරණය ව්‍යාප්ත කිරීමට HNB සමගින් අවබෝධතා ගිවිසුමක් අත්සන් තබයි

thumbnail_Photo 03 - Selected Picture MoU HNB - PSD

 




 

ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන එ.ජා. නියෝජිතායතනයේ (USAID) පෞද්ගලික අංශ සංවර්ධන ව්‍යාපෘතිය ශ්‍රී ලංකාවේ ක්ෂුද්‍ර, කුඩා සහ මධ්‍යම පරිමාණ ව්‍යාපාර (MSME) මුල්‍යකරණය ව්‍යාප්ත කිරීම සඳහා හැටන් නැෂනල් බැංකුව (HNB) සමගින් අවබෝධතා ගිවිසුමක් අත්සන් තබන ලදී.

“අප කිසිවකු තනිව ඇතිකරන බලපෑමට වඩා සෑහෙන පමණකින් වැඩි ආර්ථික සහ සමාජ බලපෑමක් ඇතිකරන්නට මෙවැනි හවුල්කාරීත්ව හරහා හැකිවෙනවා” යනුවෙන් ශ්‍රී ලංකාව සහ මාලදිවයින්හි USAID මෙහෙවර අධ්‍යක්ෂ රීඩ් ඈෂ්ලිමන් මහතා පැවසුවේ ය. “HNB සමගින් ඇතිකරගත් මේ හවුල්කාරීත්වය හරහා අපි ශ්‍රී ලංකාවේ මීළඟ සාර්ථක ව්‍යාපාර පරම්පරාව පෝෂණය කරනවා, සහ පරමාදර්ශී වශයෙන්, පවුල් සහ ප්‍රජාවන්ට සඵලත්වය ළඟා කරගන්නට උදවු කරනවා.”

USAID හි පෞද්ගලික අංශ සංවර්ධන ව්‍යාපෘතිය මේ මුලපිරීම හරහා HNB කාර්යමණ්ඩලය සමගින් වැඩ කරමින්, MSME සේවාදායකයින්ගේ සුවිශේෂී අවශ්‍යතා සහ සීමාකිරීම් වඩාත් හොඳින් අවබෝධ කරගැනීමටත්, ඒ හරහා ඔවුන්ට වඩාත් හොඳින් සේවා සැපයීමටත් HNB කාර්යමණ්ඩලයට ඇති හැකියාව වැඩි කරනු ඇත. එමගින්, ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරවලට මුල්‍ය කරා ප්‍රවේශවීම වඩාත් පහසු කරවන නිෂ්පාදන සහ ක්‍රියාවලීන් සම්පාදනය කරගැනීමට හැටන් නැෂනල් බැංකුවට හැකිවනු ඇත.

“ඉතා වැදගත් ක්ෂේත්‍රයක් වන මේ MSME ක්ෂේත්‍රය තුළ වසර 30කට වැඩි කාලයක් තිස්සේ HNB ප්‍රධාන භූමිකාවක් නිරූපණය කරනවා. ඒ කාලය තුළ අපි ආර්ථිකයේ බිම් මට්ටමේ ව්‍යවසායකයින් සමගින් ළඟින්ම වැඩ කරමින් ඔවුන් මුහුණ දෙන අභියෝග ගැන විස්තීර්ණ අවබෝධයක් ලබාගෙන තිබෙනවා. ඔවුන්ගේ වර්ධනය වේගවත් කර ඒ හරහා රටේ අපනයන ආර්ථිකය ශක්තිමත් කිරීමට නම් මේ ව්‍යාපාරවලට අවශ්‍යවන්නේ මොනවාදැයි අවබෝධ කරගැනීමට, MSME විශාල සංඛ්‍යාවක් සමගින් සෘජුවම වැඩකිරීමෙන් ලද අත්දැකීම් HNB සතුව තිබෙනවා,” යැයි HNB ප්‍රධාන විධායක නිලධාරී සහ කළමනාකරණ අධ්‍යක්ෂ ජොනතන් අලස් මහතා පැවසීය.

“ව්‍යවසායකයින් දැනුවත් කිරීමත් ඔවුන්ට අවබෝධයෙන් යුතු තීරණ ගැනීමට අවශ්‍ය දැනුම පවතින බව සහතික කරගැනීමත් ඔවුන්ගේ ඔරොත්තු දීමේ හැකියාව මෙන්ම වර්ධනයට ඔවුන්ට ඇති විභවයත් ශක්තිමත් කරනවා. MSME ක්ෂේත්‍රයේ යහපත වෙනුවෙන් සිදුකෙරෙන වැඩසටහන් කිහිපයකටම සහයදීම සඳහා USAID සමගින් අපේ වූ අඛණ්ඩ හවුල්කාරීත්වය හරහා අප දැරූ වෙහෙස මල්ඵල දරනා අන්දමත් ඒ හරහා අපේ MSME පාරිභෝගිකයින්ට මුල්‍ය වෙත වැඩි ප්‍රවේශයක් ලැබෙන අන්දමත් අපි දැක තිබෙනවා. එනිසා, මේ සවිබලගැන්වීමේ මුලපිරීම සඳහා USAID සමගින් අත්වැල් බැඳගන්නා මුල්ම ආයතනය වීම පිළිබඳව අපි ආඩම්බර වන අතර, මේ ස්වර්ණමය අවස්ථාව ප්‍රයෝජනයට ගෙන තමන්ගේ ව්‍යාපාර වර්ධනය කරගන්නා මෙන් අපි ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරිකයින්ට ආරාධනා කරනවා,” යනුවෙන් අලස් මහතා සඳහන් කළේ ය.

නව ව්‍යාපාර අවස්ථා සොයාගෙන වෙළඳපල වෙනස්වීම් සහ ගෝලීය ආර්ථික කම්පනවලට ඔරොත්තුදීමේ හැකියාව ශක්තිමත් කරගැනීමට USAID හි පෞද්ගලික අංශ සංවර්ධන ව්‍යාපෘතිය MSME වෙත උපකාර කරනු ඇත. උපදේශක සේවා, සංගම්, සහ මුල්‍ය ආයතන සමගින් මෙම ව්‍යාපාර සම්බන්ධ කිරීම හරහා, මෙම ව්‍යාපෘතිය ඔවුන්ට තාක්ෂණය භාවිතා කිරීමට, නවෝත්පාදනය වේගවත් කිරීමට සහ නව දේශීය හා විදේශීය වෙළඳපල කරා පිවිසීමට උපකාර කරනු ඇත.

මෙය, ස්වශක්තිය සඳහා සහයදීම, ස්ථායිබව ශක්තිමත් කිරීම සහ ආර්ථික වෘද්ධිය ප්‍රවර්ධනය කිරීම සඳහා ඇමරිකානු සහ ශ්‍රී ලාංකික ජනතාව  අතරේ ඇති දීර්ඝ කාලීන හවුල්කාරීත්වයේ එක් අංගයක් වේ. 1961 සිට මෙතෙක්  රුපියල් බිලියන 2 ඉක්මවන මුළු මුදලක USAID වැඩසටහන් ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වී ඇති අතර, ඒවා මගින් සෞඛ්‍ය සම්පන්න, උගත් හා සේවා නියුක්ත ජනගහනයක් ප්‍රවර්ධනය කරනු ලැබේ. වැඩිදුර විස්තර දැනගැනීම සඳහා usaid.gov/sri-lanka වෙත පිවිසෙන්න.

 

 

 



 

 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

1 × three =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව