TRI-ZEN ගැනුම්කරුවන්ට ශාරියා සම්ප්‍රදායට අනුකූල මූල්‍ය පහසුකම්

JKP HNB

 




 

 

ජෝන් කීල්ස් ප්‍රොප(ර්)ටීස් සමාගම (John Keells Properties – JKP), HNB ඉස්ලාමික් බෑන්කින් (HNB Islamic Banking) සමග එක්වී, TRI-ZEN නිවාස ව්‍යාපෘතියෙන් නිවාස මිලදී ගැනීමට බලාපොරොත්තු වන ගැනුම්කරුවන් වෙනුවෙන් ශාරියා සම්ප්‍රදායට අනුකූල මූල්‍ය පහසුකම් හඳුන්වා දීමට කටයුතු කර තිබේ. මෙමගින් ගැනුම්කරුවන්ට විකල්ප බැංකුකරණ ක්‍රමවේදයක් වන ඉස්ලාමික බැංකුකරණය ඔස්සේ, තරගකාරී අනුපාත යටතේ මූල්‍ය පහසුකම් ලබාගැනීමට හැකිවනු ඇත.

කුලිය පදනම් කරගත් ආයෝජන ක්‍රමවේදයක් වන “Diminishing Musharakah” සංකල්පය ඔස්සේ මෙහිදී ගැනුම්කරුවන් වෙත මූල්‍ය පහසුකම් පිරිනැමේ. මෙහිදී සිදුවන්නේ බැංකුව සහ පාරිභෝගිකයා එක්ව අදාළ වත්කම වෙනුවෙන් ආයෝජනය කිරීම වන අතර, මෙය පොලිය පදනම් කරගත් ක්‍රමයක් නොවන නිසා, තම ආගමික විශ්වාසයන් අනුව පොලිය පදනම් කරගත් සේවාවන් ලබාගත නොහැකි ගැනුම්කරුවන්ට මෙය අගනා විකල්පයක් වනු ඇත.

“රටේ ප්‍රමුඛතම දේපළ සංවර්ධන සමාගමක් ලෙස, ජෝන් කීල්ස් ප්‍රොප(ර්)ටීස් සමාගම සෑම විටම පාරිභෝගිකයන් වෙනුවෙන් ආකර්ෂණීය නව මූල්‍ය විසඳුම් හඳුන්වා දීමට කටයුතු කර තිබෙනවා. මේ ආකාරයට ශාරියා සම්ප්‍රදායට අනුකූල මූල්‍ය විසඳුම් හඳුන්වා දීම සඳහා අප හවුල්කාරීත්වයකට එළඹුණේ ප්‍රථම වතාවටයි. ඒ වෙනුවෙන් HNB ඉස්ලාමික් බෑන්කින් වැනි ප්‍රමුඛ පෙළේ මූල්‍ය ආයතනයක් සමග අත්වැල් බැඳගැනීමට හැකිවීම අපට මහත් සතුටක්.” ජෝන් කීල්ස් ප්‍රොප(ර්)ටීස් සමාගමේ විකිණුම් හා අලෙවි ප්‍රධානී නදීම් ශම්ස් මහතා පැවසී ය.

“ශාරියා සම්ප්‍රදායට අනුකූල මූල්‍ය පහසුකම් සම්බන්ධයෙන් වසර ගණනාවක අත්දැකීම් HNB ඉස්ලාමික් බෑන්කින් සතුයි. කොළඹ නගරයේ හොඳම ස්ථානයක ඉදිවන TRI-ZEN නිවාස සංකීර්ණයෙන් සහනදායී ක්‍රමයට නිවාස මිලදී ගැනීම සඳහා ගනුදෙනුකරුවන්ට අපගේ මූල්‍ය විසඳුම් භාවිතා කිරීමට පුළුවන්.” හැටන් නෂන් බැංකුවේ සහකාර සාමාන්‍යාධිකාරී (ඉස්ලාමික බැංකුකරණ) හිෂාම් අලි මහතා පැවසී ය.

ශ්‍රී ලංකාවේ බැංකු ක්ෂේත්‍රය තුළ බෙහෙවින්ම නවෝත්පාදනයට නැඹුරු බැංකුවක් ලෙස සැලකෙන හැටන් නැෂනල් බැංකුව මෙරට ප්‍රමුඛ පෙළේ බැංකු අතරින් ඉස්ලාමික බැංකු සේවාවන් හඳුන්වා දුන් ප්‍රථම බැංකුවද වේ.  2012 වසරේදී ආරම්භ වූ එහි ඉස්ලාමික බැංකුකරණ අංශය එහි දෙවන වසරේ සිට මේ දක්වාම දේශීය හා ජාත්‍යන්තර සම්මාන රැසකින් පිදුම් ලබා ඇති අතර, මේ වනවිට එය මෙරට වැඩිම ජනප්‍රියත්වයක් හිමි ඉස්ලාමික බැංකු සේවා සම්පාදක ආයතනය ලෙසද සැලකේ.

HNB ඉස්ලාමික් බෑන්කින් අංශය සඳහා වෙනම කාර්යාලයක් කොළඹ 3 Marine Drive හි පිහිටුවා ඇති අතර, අත්දැකීම් බහුල කාර්ය මණ්ඩලයක් එහි සේවය කරති. එම කාර්යාලය වෙත හෝ හැටන් නැෂනල් බැංකුවේ අනෙකුත් ශාඛා වෙත පැමිණීමෙන් තමන්ට අවශ්‍ය ඉස්ලාමික බැංකුකරණ සේවාවන් ලබාගැනීමට ගනුදෙනුකරුවන්ට හැකියාව ඇත.

ඉන්ද්‍රා ට්‍රේඩර්ස් (පුද්.) සමාගම සහ ජෝන් කීල්ස් හෝල්ඩින්ස් පී.එල්.සී. අතර හවුල්කාරීත්වයක් ලෙස ක්‍රියාවට නැංවෙන TRI-ZEN ව්‍යාපෘතියේ ඉදිකිරීම් 2023 වසරේදී අවසන් කිරීමට සැලසුම් කර තිබේ. කොළඹ නගරයේ පොදු ප්‍රවාහන සේවා මධ්‍යස්ථාන, ප්‍රධාන පෙළේ කාර්යාල, ජනප්‍රිය පාසල්, රෝහල්, හෝටල්, ආපනශාලා සහ සාප්පු සංකීර්ණ ඇතුළු සියලු පහසුකම් වලට නුදුරින්, කොළඹ 02 යුනියන් පෙදෙසෙහි ඉදිවන මෙම නිවාස සංකීර්ණය මහල් 53 කින් සහ, නිදන කාමර එකක, දෙක සහ තුන බැගින් වන, නවීනතම තාක්ෂණික අංග වලින් යුත් නිවාස 891 කින් සමන්විත වේ. මෙම ව්‍යාපෘතියේ එක් ප්‍රධානතම විශේෂත්වයක් වන්නේ තරගකාරී මිලගණන් යටතේ මෙහි නිවාස මිලදී ගැනීමට ගැනුම්කරුවන්ට අවස්ථාව හිමි වීම ය. TRI-ZEN ව්‍යාපෘතියේ නිදන කාමර දෙකේ නිවසක් රු. මිලියන 35 සිට ඉහළට මිලදීගත හැකි වේ.

TRI-ZEN ව්‍යාපෘතිය පිළිබඳ වැඩිදුර තොරතුරු www.trizen.lk හි දක්වා ඇත.

 

 

 


 

 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

20 + 18 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව