ශ්‍රී ලංකා ටෝස්ට්මාස්ටර් සමාජය සිය වාර්ෂික සමුළුවට සැරසෙයි

2- Toastmasters D82 Ovation Sponsor Main (LBN)

දිස්ත්‍රික් 82 ජාත්‍යන්තර ටෝස්ට්මාස්ටර් සමූහයේ වාර්ෂික සමුළුව 2026 මැයි මස 16 සහ 17 දෙදින පුරා කොළඹ ෂැංග්‍රිලා හෝටලයේදී පැවැත්වේ. පරිවර්තන ප්‍රවණතා (Tides of Transformation) යන තේමාව යටතේ සංවිධානය කෙරෙන මෙවර සමුළුවට ප්‍රධාන අනුග්‍රාහකත්වය සපයන්නේ ශ්‍රී ලංකාවේ වඩාත්ම විශ්වාසනීය සහ ප්‍රමුඛතම දේපළ සංවර්ධන සමාගමවන Home Lands සමාගම මගිනි.

වාර්ෂික ටෝස්ට්මාස්ටර් සමුළුවට නිල  අනුග්‍රාහකත්වය සැපයීම මගින් මෙරට ප්‍රජාව සවිබලගැන්වීම සහ ඔවුන්ගේ අභිවෘද්ධිය වෙනුවෙන් Home Lands සමාගම සතු කැපවීම හොඳින් පිළිබිඹු වේ.  සමුළුව පිළිබඳ දැනුවත්කරන මාධ්‍ය හමුවක් අප්‍රේල් 29 වැනිදා කොළඹ මැරියට් හෝටලයේදී පැවැත්වුණු අතර එහිදී දශක හතරක් පුරා මෙරට ටෝස්ට්මාස්ටර්  සමාජයේ ගමන්මඟ පිළිබඳව ද මෙවර සමුළුවේ වැඩකටයුතු පිළිබඳව ද විස්තර කෙරිණි.




වර්ෂ 1924දී ආරම්භ වූ ජාත්‍යන්තර ටෝස්ට්මාස්ටර් සමූහය පුද්ගල සන්නිවේදන, පොදු කථන සහ නායකත්ව කුසලතා වැඩිදියුණු කිරීම ඉලක්ක කරයි. ශ්‍රී ලංකාව වර්ෂ 1983දී ජාත්‍යන්තර ටෝස්ට්මාස්ටර් සමූහය සමඟ එක්වුණි. ඒ දකුණු ආසියාවේ පළමු ටෝස්ට්මාස්ටර් සමාජයවන කොළඹ ටෝස්ට්මාස්ටර් සමාජය බිහිවීමත් සමඟිනි. අද වනවිට දිස්ත්‍රික් 82 හි සමාජ 168කට අධික සංඛ්‍යාවක් සිටින අතර, රටේ නගර 6‍5ක  සාමාජිකයින් 4,000කට අධික සංඛ්‍යාවක් සිටී. එහි ප්‍රවේශය ශ්‍රී ලංකාව පුරා ආයතනික සහ ප්‍රජා සමාජ හරහා විහිදේ.

″ජාත්‍යන්තර ටෝස්ට්මාස්ටර් සමාජය තුළ ශ්‍රී ලංකාව හුදෙක් සහභාගීත්ව රටක් පමණක් නොවෙයි. ඉතාම සක්‍රීය සාමාජිකයෙක්. ඒ වගේම ටෝස්ට්මාස්ටර් සමාජය තවත් බාහිර විනෝද ක්‍රියාකාරකමක් නොවෙයි. එය පුද්ගල අභිවෘද්ධි සහ නායකත්ව පුහුණුව පිරිනමන, ඒ වගේම ගෝලීය වේදිකාව තුළ ජාතික නියෝජනයක් සලසන පුළුල් වැඩසටහනක්″, යනුවෙන් දිස්ත්‍රික් 82 ජාත්‍යන්තර ටෝස්ට්මාස්ටර් සමූහයේ දිස්ත්‍රික් අධ්‍යක්ෂ DTM නිරෝෂන් නඩරාජා මහතා පැවසුවේය.

2024/ 25 වර්ෂය තුළ ජාත්‍යන්තර ටෝස්ට්මාස්ටර් සමාජයේ අංක එකේ දිස්ත්‍රික්කය ලෙස ද ශ්‍රී ලංකාව නියෝජනය කරන දිස්ත්‍රික් 82 ටෝස්ට්මාස්ටර් සාමූහිකය නම් කෙරිණි. එමෙන්ම 2014 වසරේදී ධනංජය හෙට්ටිආරච්චි පොදු කථන ජාත්‍යන්තර වේදිකාවේ ශූරයා බවට පත්වූයේ එවැනි දස්කමක් සිදුකළ පළමු ශ්‍රී ලාංකිකයා බවට පත්වෙමිනි. තව ද, DTM අරුණාචලම් බල්රාජ් මහතා 2017/18 වසරේ ජාත්‍යන්තර ටෝස්ට්මාස්ටර් සමාජයේ සභාපතීත්වය ඉසිළූයේ ශ්‍රී ලංකාවට විශේෂ ගෞරවයක් අත්කරදෙමිනි.

″ටෝස්ට්මාස්ටර් සමාජය ඉතාම සරල එහෙත් බලවත් දැක්මක් පවතිනවා. පුද්ගල වර්ධනය ඇතිවන්නේ නිරන්තර පුහුණුව, ආවර්ජනය සහ ප්‍රජාව යන අංශ තුනේ එකතුවෙන්. එමනිසා අසාර්ථකවීම ඉගෙනුම් අවස්ථාවක්  කරගැනීමේ අවකාශය ටෝස්ට්මාස්ටර් සමාජය සලසා දෙනවා. ඒ හරහා හොඳ කථිකයින් පමණක් නොවෙයි, විශ්වාසනීය චින්තකයින් මෙන්ම සාර්ථක සන්නිවේදකයින් බිහිකිරීමට හැකියාව ලැබෙනවා″, යනුවෙන් ටෝස්ට්මාස්ටර් ජාත්‍යන්තරයේ හිටපු කලාපීය උපදේශක DTM සුදාශ් ලියනගේ මහතා පැවසුවේය.

මාධ්‍ය හමුවට එක්වුණු DTM මාරියෝ ද සිල්වා මහතා, මෙවර සමුළුවේ වැඩසටහන් පෙළගැස්ම පිළිබඳව ද විස්තර කළේය. සමුළුවේ ප්‍රධාන වැඩසටහන් අතර කථන තරඟ, ආරාධිත දේශන, අධ්‍යාපනික වැඩමුළු සහ ඇගයුම් සම්මාන පිරිනැමීම් ආදිය වේ.

″ටෝස්ට්මාස්ටර් සමාජයේ  ප්‍රධාන වාර්ෂික ඉසව්ව ලෙස වාර්ෂික සමුළුව හැඳින්විය හැකියි. එය, ටෝස්ට්මාස්ටර් දිස්ත්‍රික්කයක් තුළ සිටින හොඳම කථිකයින් තරගවදින, ටෝස්ට්මාස්ටර් නායකයින් ඇගයීමට ලක්වන සුවිශේෂී අවස්ථාවක්. ඒ වගේම දිස්ත්‍රික් 82 ටෝස්ට්මාස්ටර් සමූහයේ වාර්ෂික ගමන්මඟ පිළිබඳ පුනරාවර්ජනයකට ඉඩ සැලසෙන අවස්ථාවක්″, යනුවෙන් 2026 වාර්ෂික සමුළුවේ ප්‍රධාන සංවිධායක DTM මාරියෝ ද සිල්වා ප්‍රකාශ කළේය.

ටෝස්ට්මාස්ටර් ප්‍රසන්න ගුණවර්ධන මහතා මාධ්‍ය හමුව මෙහෙයවූ අතර දිස්ත්‍රික් 82 ටෝස්ට්මාස්ටර් වාර්ෂික සමුළුවේ නිල සන්නිවේදන සහකරුවන Mark and Comm සමාගම විසින් මාධ්‍ය හමුව සංවිධානය කරතිබුණි.

වාර්ෂික සමුළුවේ ප්‍රමුඛ අනුග්‍රාහකයා ලෙස Janatha Steels සමාගම ද, ප්ලැටිනම් අනුග්‍රාහකයා ලෙස  A J Medichem International පුද්ගලික සමාගම ද, නිව් ඇන්තනීස් සමාගම ද, ගෝල්ඩ් අනුග්‍රාහකයින් ලෙස, Jayes Investment සමාගම, Nestle Coffeemate සහ Zoro Tapes ද, සිල්වර් අනුග්‍රාහකයා ලෙස Maliban Biscuit Manufactories පුද්ගලික සමාගම ද කටයුතු කරයි.


ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව