
ප්‍රජා මූලික රැකවරණ විසඳුම්වල වැදගත්කම ද පෙන්වා දෙයි
ශ්‍රී ලංකාවේ කාන්තාවන් සහ ගැහැනු දරුවන් මත අසමානුපාතික ලෙස පැවරී ඇති සුරැකුම් කාර්යයන්ගේ පීඩනය අවම කිරීම සඳහා විශේෂිත ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීමේ අවශ්‍යතාව කාන්තා සංවිධාන විසින් අවධාරණය කරනු ලැබීය. ඒ, කැනඩා රජයේ ගෝලීය කටයුතු දෙපාර්තමේන්තුවේ (Global Affairs Canada) සහාය ඇතිව ආසියා පදනම (The Asia Foundation) සහ කාන්තා හා මාධ්‍ය සාමූහිකය (Women and Media Collective) එක්ව සංවිධානය කළ වැටුප් රහිත සුරැකුම් කාර්යයන් පිළිගැනීම පිළිබඳ තෙවැනි ජාතික සමුළුවේදීය. මෙහිදී දිවයිනේ විවිධ ප්‍රදේශ නියෝජනය කරන කාන්තා සංවිධාන විසින්, ප්‍රජා මට්ටමින් වැටුප් රහිත සුරැකුම් කාර්යයන් හඳුනාගැනීම, ඒවායේ පීඩනය අවම කිරීම සහ එම වගකීම් සාධාරණ ලෙස බෙදාහදා ගැනීම සඳහා ක්‍රියාත්මක කරනු ලබන වැඩසටහන් හා ප්‍රායෝගික විසඳුම් ද ඉදිරිපත් කෙරිණි.
2024 වසරේ සිට සෑම වසරකම ජාත්‍යන්තර සුරැකුම් කාර්යයන් සහ සහයෝගය සඳහා වූ ජාත්‍යන්තර දිනය දිනය (International Day of Care and Support) නිමිත්තෙන් සංවිධානය කරනු ලබන මෙම ජාතික සමුළුව මෙවර පැවැත්වුණේ “ප්රතිපත්තිවල සිට ප්‍රජා මූලික විසඳුම් දක්වා: වැටුප රහිත සුරැකුම් කාර්යයන් හි වගකීම් බෙදාහදා ගැනීම සඳහා ප්‍රජාවන් සම්බන්ධ කරගැනීම” යන තේමාව යටතේය. ශ්‍රී ලංකාව තුළ වැටුප් එහිත සුරැකුම් කාර්යයන්ගේ වැදගත්කම පිළිගැනීම සහ ඒ පිළිබඳ අවධානය ඉහළ නැංවීම අරමුණු කරගත් මෙම සමුළුව සඳහා රාජ්‍ය නියෝජිතයන්, ආධාර සපයන ආයතනවල නියෝජිතයන්, සංවර්ධන ක්ෂේත්රයේ වෘත්තිකයන්, පෞද්ගලික අංශයේ පාර්ශ්වකරුවන්, සිවිල් සමාජ සංවිධාන සහ කාන්තා සංවිධාන ඇතුළු විවිධ පාර්ශ්ව රැසක් සහභාගි වූහ.
පවුලේ සාමාජිකයන් රැකබලා ගැනීම, දරුවන් හා වැඩිහිටියන්ගේ අවශ්‍යතා සපුරාලීම සහ ගෘහස්ථ කටයුතු ඉටු කිරීම ඇතුළු වැටුප් රහිත සුරැකුම් කාර්යයන්, සමාජයේ මෙන්ම ආර්ථිකයේ ද අඛණ්ඩ පැවැත්මට අත්‍යවශ්‍ය දායකත්වයක් සපයයි. එහෙත් ශ්‍රී ලංකාවේ මෙන්ම ලොව පුරා ද මෙම වගකීම්වලින් වැඩි කොටසක් කාන්තාවන් සහ ගැහැනු දරුවන් විසින් දරනු ලබයි. සුරැකුම් කටයුතු කාන්තාවන්ට පමණක් පැවරුණු වගකීමක් ලෙස සමාජය තුළ මුල්බැසගෙන ඇති ආකල්ප හේතුවෙන් ඔවුන්ගේ අධ්‍යාපන, රැකියා සහ ආර්ථික අවස්ථා මෙන්ම ස්වාධීන තීරණ ගැනීමේ හැකියාව ද සීමාවට ලක් වේ.
මෙම ජාතික සුමුළුව පිලිබඳව අදහස් දක්වන ආසියා පදනමේ ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා නේවාසික නියෝජිත ජොහාන් රෙබර්ට්, මහතා පැවසුවේ “අප මෙම වැඩපිළිවෙළ ආරම්භ කළ අවස්ථාවේ සිටම අප සියලු දෙනාටම එක් ප්‍රධාන අරමුණක් තිබුණා. ආසියා පදනම, කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය, කැනඩා රජයේ ගෝලීය කටයුතු දෙපාර්තමේන්තුව (Global Affairs Canada), කාන්තා හා මාධ්‍ය සාමූහිකය සහ විශේෂයෙන්ම අප සමඟ එක්ව කටයුතු කරන කාන්තා සංවිධාන සියල්ලේම අපේක්ෂාව වූයේ වැටුප් රහිත සුරැකුම් කාර්යයන් පිළිබඳ අවබෝධයක් ගොඩනැඟීමේදී සහ ඒ හා සම්බන්ධ ගැටලුවලට විසඳුම් සෙවීමේදී කාන්තාවන්ගේ සහ ගැහැනු දරුවන්ගේ අත්දැකීම්, අවශ්‍යතා සහ අයිතිවාසිකම්වලට ප්‍රමුඛත්වය ලබාදීමයි.” යනුවෙනි.
මේ පිලිබඳව අදහස් දැක්වූ ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ කැනඩා මහ කොමසාරිස් ඉසබෙල් මාටින් මහත්මිය “ශ්‍රී ලංකාවේ කාන්තාවන් සවිබල ගැන්වීම, ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව ප්‍රවර්ධනය කිරීම සහ සියලු පාර්ශ්වයන්ට සමාන අවස්ථා හිමිවන පාලන ක්‍රමවේදයක් ගොඩනැගීම සඳහා සහාය දැක්වීමට කැනඩාව අඛණ්ඩව කැපවී සිටිනවා. කාන්තා අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම, කාන්තා සංවිධාන ශක්තිමත් කිරීම සහ ආර්ථික කටයුතු සඳහා කාන්තාවන්ගේ සක්‍රීය දායකත්වය ඉහළ නැංවීම වෙනුවෙන් අප ගෙන යන පුළුල් වැඩපිළිවෙළට මෙම වැඩසටහන වැදගත් දායකත්වයක් සපයන බව අප විශ්වාස කරනවා.” යනුවෙන් පැවසුවාය.
පවුලේ සාමාජිකයන් රැකබලා ගැනීම සහ ගෘහස්ථ කටයුතු ඇතුළු වැටුප් රහික සුරැකුම් කාර්යයන් සමාජයේ මෙන්ම ආර්ථිකයේ ද පැවැත්මට අත්‍යවශ්‍ය කාර්යභාරයක් ඉටු කරයි. එහෙත් ශ්‍රී ලංකාවේ මෙන්ම ලොව පුරා ද මෙවැනි කටයුතුවල වැඩි වගකීමක් කාන්තාවන් සහ ගැහැනු දරුවන් මත පැවරී තිබේ. මෙම කටයුතු කාන්තාවන්ට පමණක් පැවරුණු වගකීමක් ලෙස සමාජය තුළ මුල්බැසගෙන ඇති ආකල්ප හේතුවෙන් ඔවුන්ගේ අධ්‍යාපන, රැකියා සහ ආර්ථික අවස්ථා මෙන්ම ස්වාධීනව තීරණ ගැනීමේ හැකියාව ද සීමා වී තිබේ.
වැටුප් නොලබන රැකවරණ කටයුතු සම්බන්ධ ගැටලු විසඳීමේ අවශ්‍යතාව රජය විසින් ‘පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්’ ජාතික ප්‍රතිපත්ති රාමුව සහ ස්ත්‍රී පුරුෂ සමාජභාවීය සමානාත්මතාව හා කාන්තාවන් සවිබල ගැන්වීම පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය මගින් ද පිළිගෙන තිබේ. මෙම අවස්ථාවට එක්වෙමින් කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය සඳහන් කළේ, වැටුප් නොලබන රැකවරණ කටයුතු සම්බන්ධයෙන් විශේෂ ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීමේ වැඩපිළිවෙළට නායකත්වය ලබාදීමට සිය අමාත්‍යාංශය කැපවී සිටින බවයි.
“වැටුප් රහිත සුරැකුම් කටයුතු කාන්තා අයිතිවාසිකම් සම්බන්ධ ගැටලුවක් ලෙස පිළිගැනීමත්, එම පිළිගැනීම ප්‍රායෝගික ක්‍රියාමාර්ග බවට පත් කිරීමත් සඳහා කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය අඛණ්ඩව කැපවී සිටිනවා. අපගේ මූලික අවධානය දැන් යොමු විය යුත්තේ ප්‍රතිපත්තිමය කැපවීම් කාන්තාවන්ගේ ජීවිතවල සැබෑ වෙනසක් ඇති කරන ක්‍රියාමාර්ග බවට පත් කිරීමටයි. එමගින් කාන්තාවන්ට අධ්‍යාපනය, රැකියා සහ පොදු සමාජ කටයුතු සඳහා වැඩි වශයෙන් සහභාගි වීමට අවස්ථාව සැලසිය යුතුයි. ඒ වගේම තමන්ගේ විවේකය සහ පෞද්ගලික අපේක්ෂාවන් වෙනුවෙන් කාලය වෙන්කර ගැනීමටත් ඔවුන්ට අවස්ථාව හිමිවිය යුතුයි.” යනුවෙන් කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය වැඩිදුරටත් පැවසුවාය.
මෙහිදී වැටුප් රහිත සුරැකුම් කාර්යයන් පිළිබඳ කෙටුම්පත් ජාතික ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් ද විශේෂ අවධානයක් යොමු කෙරිණි. ස්ත්‍රී අයිතිවාසිකම්, සමාජ ආරක්ෂණය, මානව සංවර්ධනය සහ සියලු පාර්ශ්වයන්ට ප්රතිලාභ හිමිවන ආර්ථික වර්ධනය ප්‍රවර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකාවේ ප්‍රතිපත්තිමය කැපවීම තවදුරටත් ශක්තිමත් කිරීම මෙම ප්‍රතිපත්තියේ අරමුණයි. අදාළ කෙටුම්පත් ප්‍රතිපත්තිය මේ වන විට සමාලෝචනයට ලක්වෙමින් පවතින අතර, මෙම වසර තුළ එය අමාත්‍ය මණ්ඩල අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමට අපේක්ෂා කෙරේ.
“කාන්තාව සහ මාධ්‍ය සාමූහිකය දශකයකට වැඩි කාලයක් තිස්සේ සිදුකරන ලද පර්යේෂණ සහ ප්‍රතිපත්ති වෙනුවෙන් පෙනී සිටීමේ කටයුතු අභියෝගාත්මක මෙන්ම සුවිශේෂී අත්දැකීමක් වී තිබෙනවා. ආසියා පදනමේ සහාය ඇතිව, වැටුප් රහිත සුරැකුම් කාර්යයන් පිළිබඳ සමාජයේ පවතින ආකල්ප වෙනස් කිරීමටත්, එම වගකීම් කාන්තාවන්ට පමණක් සීමා නොවී සියලු දෙනා අතර බෙදාගැනීමේ වැදගත්කම පිළිබඳව ප්‍රජා මට්ටමින් දැනුවත් කිරීමටත් කාන්තා සංවිධාන ගෙන යන වැඩපිළිවෙළ අපගේ මෙම ගමන් මඟේ වැදගත් ඉදිරි පියවරක් ලෙස සැලකිය හැකියි. එමෙන්ම වැටුප් රහිත සුරැකුම් කාර්යයන් පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක් කෙටුම්පත් කිරීම සඳහා කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය සමඟ එක්ව කටයුතු කිරීමට ලැබීම පිළිබඳව අපි ඉතා සතුටට පත්වෙනවා.” යැයි කාන්තාව සහ මාධ්‍ය සාමූහිකයේ ස්ත්‍රී පුරුෂ සමාජභාවය සහ දේශපාලන ආර්ථිකය පිළිබඳ වැඩසටහන් අධ්යක්ෂ ආචාර්ය සේපාලි කෝට්ටේගොඩ මහත්මිය පැවසුවාය.
සමුළුවේදී පැවැති විද්වත් මණ්ඩල සාකච්ඡාවලදී, යාපනය, මඩකලපුව සහ අනුරාධපුර දිස්ත්‍රික්කවල කාන්තාවන්ගේ නායකත්වයෙන් ක්‍රියාත්මක වන, වැඩිහිටියන්, දරුවන් සහ ආබාධ සහිත පුද්ගලයන් සඳහා ප්‍රජා මූලික දිවා සුරැකුම් සේවා ආකෘති අත්හදා බැලීමේ වැඩසටහන් පිළිබඳව අවධානය යොමු කෙරිණි. එමෙන්ම කුරුණෑගල, නුවරඑළිය, හම්බන්තොට සහ මඩකලපුව දිස්ත්‍රික්කවල වැටුප් රහිත සුරැකුම් කාර්යය කටයුතුවල වැදගත්කම පිළිබඳ ජනතාව දැනුවත් කිරීම සහ එම වගකීම් සාධාරණ ලෙස බෙදාහදා ගැනීම ප්‍රවර්ධනය කිරීම සඳහා කාන්තා සංවිධානවල මූලිකත්වයෙන් ක්‍රියාත්මක වන ප්‍රජා මූලික වැඩසටහන් ද මෙහිදී සාකච්ඡාවට ලක්විය.
දැරිය හැකි පිරිවැයකට, පහසුවෙන් ප්‍රවේශ විය හැකි දිවා සුරැකුම් සේවා ලබාගැනීමේදී කාන්තාවන් මුහුණ දෙන අභියෝග පිළිබඳව ද සාකච්ඡාවට සහභාගි වූ විද්වත් මණ්ඩල සාමාජිකයෝ අවධානය යොමු කළහ. එමෙන්ම වැටුප් රහිත සුරැකුම් කාර්යය කටයුතු කාන්තාවන්ට පමණක් පැවරුණු වගකීමක් නොවන බව සමාජය තුළ පිළිගැනීමට ලක්කිරීමත්, එම වගකීම් බෙදාහදා ගැනීම සඳහා පිරිමින් සහ පිරිමි දරුවන් සක්‍රීයව සම්බන්ධ කරගැනීමත් අත්‍යවශ්‍ය බව ඔවුහු අවධාරණය කළහ.


