
අගෝස්තු 05 සිට 07 යන දින දක්වා එක්සත් ජනපද සෝයාබෝංචි අපනයන කවුන්සිලය (USSEC) විසින් චිකාගෝහි Hyatt Regency හෝටලයේදී සංවිධානය කරන ලද Soy Connext 2026 සමුළුවේදී, ශ්‍රී ලංකාවේ ප්‍රතිජීවකවලින් තොර කුකුළු මස් නිෂ්පාදනයේ ප්‍රමුඛ සමාගමක් වන නිව් ඇන්තනීස් ෆාම්ස් ගෝලීය මට්ටමෙන් ඇගයීමට ලක්ව තිබේ.
ලොව පුරා නියෝජිතයින් 800කට අධික පිරිසකගේ සහභාගීත්වයෙන් පැවති තිරසාරභාවය පිළිබඳ සැසිය අතරතුරදී මෙම ඇගයීම නිව් ඇන්තනීස් ෆාම්ස් වෙත හිමි විය. Sustainable U.S. Soy සහ Fed with Sustainable U.S. Soy යන ලේබල භාවිතය වෙනුවෙන් පිරිනැමුණු මෙම ඇගයීමට, ඇමරිකාව, මහජන චීනය සහ අග්නිදිග ආසියාව ඇතුළු කලාප නියෝජනය කළ සම්මානලාභීන් අතරින් දකුණු ආසියාව වෙනුවෙන් ඉහළම නියෝජනයක් ලබා දෙමින් නිව් ඇන්තනීස් ෆාම්ස් සමාගම ද එක් විය.
මෙම ඇගයීම නිව් ඇන්තනීස් ෆාම්ස් සමාගමට විශේෂ වටිනාකමක් ගෙන දුනි. 2023 වසරේදී U.S. Soy Sustainability Assurance Protocol යටතේ Sustainable U.S. Soy බලපත්‍රය හිමිකරගත් දකුණු ආසියාවේ ප්‍රථම සමාගම බවට පත්වූ අතර, එතැන් පටන් එම සමාගම තිරසාර ලෙස අමුද්‍රව්‍ය සපයා ගැනීම ප්‍රායෝගික ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳව එක්සත් ජනපද සෝයා අපනයන කවුන්සිලය විසින් ඉදිරිපත් කරන ප්‍රමුඛතම උදාහරණයක් බවට පත්ව තිබේ. මෙම අනන්‍යතාව තවදුරටත් තහවුරු කරන්නේ සමූහයේ ආහාර නිෂ්පාදන අංශය වන ඇන්තනීස් ෆීඩ්ස් අනුගමනය කරන තිරසාරභාවය පිළිබඳ ප්‍රමිතීන්ය. එම ප්‍රමිතීන්, සමාගමේ ව්‍යාපාරික පදනම වූ ප්‍රතිජීවකවලින් තොර නිෂ්පාදන ප්‍රමිතිය තවදුරටත් ශක්තිමත් කරයි.
නිව් ඇන්තනීස් ෆාම්ස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී නීල් සුරවීර මහතා පැවසුවේ, මෙම ඇගයීම මගින් තිරසාරත්වය පිළිබඳ අවධානය පුළුල් ලෙස කතාබහට ලක්වීමට වසර ගණනාවකට පෙර සිටම සමාගම ඒ වෙනුවෙන් කැපවී කටයුතු කළ බව තහවුරු වන බවයි. තිරසාර මූලාශ්‍ර භාවිතය සහ ලාභදායීත්වය එකිනෙකට පරස්පර වූ අරමුණු නොවන බවත් ඒ දෙකම සැමවිටම අපගේ එකම අරමුණේ කොටසක් බවත් ඔහු සඳහන් කළේය. එමෙන්ම, සමාගම නිෂ්පාදනය කරන සෑම කුකුළු මස් නිෂ්පාදනයක් තුළින්ම පාරිභෝගිකයන්ට එම කැපවීම අත්විඳිය හැකි බව ද ඔහු පෙන්වා දුනි.
චිකාගෝහිදී ලැබූ මෙම ජාත්‍යන්තර ගෞරවය, 2026 වසරේ නිව් ඇන්තනීස් ෆාම්ස් සමාගම සනිටුහන් කළ සුවිශේෂී ජයග්‍රහණ අතරට තවත් වැදගත් සන්ධිස්ථානයක් එක් කරයි. 2026 වසරේදී සමාගම සිය 40 වැනි සංවත්සරය සපිරූ අතර, ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය මගින් සංවිධානය කරන ලද 26 වැනි ජනාධිපති අපනයන සම්මාන උළෙලේදී Processed Food අංශයෙන් හොඳම අපනයනකරු ලෙස සම්මානයෙන් පිදුම් ලැබීය. එමෙන්ම ProFood ProPack ප්‍රදර්ශනයේ ආහාර හා පාන අංශයේ හොඳම ප්‍රදර්ශන කුටිය සඳහා වන දෙවන ස්ථානයද දිනා ගැනීමට සමත් විය. ඊට අමතරව, නිෂ්පාදන ධාරිතාව 70% දක්වා වර්ධනය කිරීම සඳහා, ගෝලීය කෘෂිකර්ම හා ආහාර සුරක්ෂිතතා වැඩසටහනේ (GAFSP) සහාය ද සහිතව ජාත්‍යන්තර මුල්‍ය සංස්ථාවෙන් (IFC) ඇමරිකානු ඩොලර් මිලියන 10 දක්වා වූ ආයෝජනයක් ලබා ගැනීමටද සමාගම සමත් විය.
වසරකට මෙට්‍රික් ටොන් මිලියන 1.3 කට ආසන්න ප්‍රමාණයක් නිපදවන සත්ව ආහාර කර්මාන්තය සඳහා 2025 වසරේදී සෝයාබෝංචි ඇට මෙට්‍රික් ටොන් 255,000 ක් පමණ ආනයනය කරමින් ශ්‍රී ලංකාව තවදුරටත් එක්සත් ජනපද සෝයාබෝංචි පිටි මිලදී ගන්නා ලොව විශාලතම ගැණුම්කරු ලෙස කටයුතු කරයි . Soy Connext 2026 හිදී නිව් ඇන්තනීස් ෆාම්ස් සමාගම ලැබූ මෙම ස්ථානය, එම ගෝලීය සැපයුම් දාමය තුළ ශ්‍රී ලංකාවේ කුකුළු මස් නිෂ්පාදන ක්ෂේත්‍රය හිමිකර ගනිමින් සිටින වැදගත් ස්ථානය තවදුරටත් තහවුරු කරයි.


