SOS ළමා ගම්මාන මානුෂීය ආධාර වැඩසටහන ශ්‍රී ලංකාව පුරා ආහාර සුරක්ෂිතතාව අහිමි පවුල් වලට සහන සලසයි

Image 1-min (LBN)

 



 

 

ශ්‍රී ලංකාවේ පවතින ආර්ථික අර්බුදයත් සමඟ මේ වනවිට රටේ දරුවන් රාශියක් මන්දපෝෂණය, පාසල් හැරයාම සහ ආහාර අනාරක්ෂිතතාව ඇතුළු ගැටලු රැසකට මුහුණ දී සිටින බව වාර්තා මගින් පෙන්වා දී ඇත. මෙම ගැටලු වල ප්‍රතිඵලයක් වශයෙන් ඇතැම් දරුවන්ට තම පවුල්වලින් වෙන්වීමට පවා සිදුවී තිබේ.

ශ්‍රී ලංකාවේ දරුවන්ගේ යහපත වෙනුවෙන් බිම් මට්ටමින් කැපීපෙනෙන මෙහෙවරක නිරත වන සංවිධානයක් වශයෙන් ශ්‍රී ලංකාවේ SOS ළමා ගම්මාන වැඩසටහන මේ වනවිට මෙම දරුවන්ට ආහාරපාන, අධ්‍යාපනය, සෞඛ්‍යය සහ රැකවරණය තහවුරු කිරීම සඳහා විශේෂ මානුෂීය ආධාර වැඩසටහනක් ආරම්භ කර ඇත.

මෙහි එක් පියවරක් වශයෙන්, සිය ළමා ගම්මාන පිහිටා ඇති දිස්ත්‍රික්ක 9 ක ප්‍රාදේශීය ලේකම් කාර්යාල සමග එක් වී, වෙනත් රාජ්‍ය නොවන සංවිධාන සහ හවුල්කාර ආයතන වලද සහයෝගය ඇතිව, අදාළ දිස්ත්‍රික්ක තුළ සහය අවශ්‍ය දරුවන් සිටින අඩු ආදායම්ලාභී පවුල් හඳුනා ගැනීමට ශ්‍රී ලංකාවේ SOS ළමා ගම්මාන වැඩසටහන පියවර ගෙන තිබේ. තමන්ට ලැබෙන සියලුම ජාත්‍යන්තර ආධාර මෙම මානුෂීය ආධාර වැඩසටහනට බැරකිරීමටද එම වැඩසටහන තීරණය කර ඇති අතර, එමඟින් රටේ පවුල් 3,000 කට අධික සංඛ්‍යාවක දරුවන් 10,000 කට පමණ සෙත සැලසෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.

ආහාර සුරක්ෂිතතාව අහිමි පවුල් සංඛ්‍යාව අවම කිරීම සහ දරුවන් අකාලයේ පාසල් අධ්‍යාපනය නිමා කිරීම වැළැක්වීම සඳහා ශ්‍රී ලංකාවේ SOS ළමා ගම්මාන වැඩසටහන ආරම්භ කර ඇති වැඩසටහන් කිහිපයක් පහත දැක්වේ.

  • Feed The Children ව්‍යාපෘතියේ මූලිකත්වයෙන්, හඳුනාගත් අවුරුදු 5 ට අඩු මන්දපෝෂණයෙන් පෙළෙන දරුවන් සඳහා පෝෂ්‍යදායි ආහාර සලාක ලබාදීම. Feed The Children යනු ශ්‍රී ලංකා ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යාතනයේ ව්‍යාපෘතියක් වන අතර ඔවුන් මන්දපෝෂණයෙන් පෙළෙන දරුවන් හඳුනා ගැනීම සඳහා පවුල් සෞඛ්‍ය කාර්යාලය සමඟ කටයුතු කරමින් සිටී.
  • Lanka Prison Fellowship සමඟ ඇතිකරගත් හවුල්කාරීත්වයක් ඔස්සේ, දීර්ඝකාලීන සිරකරුවන්ගේ දරුවන් 1500 දෙනෙකු සඳහා පාසල් වර්ෂයකට ප්‍රමාණවත් අධ්‍යාපනික උපකරණ ලබාදීම.
  • සමස්ත ලංකා වකුගඩු රෝගීන්ගේ සංගමය මගින් හඳුනාගන්නා ලද වගුගඩු රෝගීන්ගේ දරුවන් 135 දෙනෙකුට අධ්‍යාපන කට්ටල පරිත්‍යාග කිරීම.
  • ඉන්දිරා පිළිකා භාර අරමුදලේ ‘Sponsor A Child’ වැඩසටහන හරහා දරුවන්ට අඛණ්ඩව අධ්‍යාපනය ලැබීමට අත්වැලක් වීම අරමුණු කරගෙන අධ්‍යාපන කට්ටල 319 ක් පරිත්‍යාග කිරීම.
  • විශේෂ අවශ්‍යතා සහිත දරුවන් වෙනුවෙන් පාදුක්ක ප්‍රදේශයේ පිහිටුවා ඇති ‘මන්දුල නිවස’ වෙත මාස 6 ක කාලයක් වියළි ආහාර පරිත්‍යාග කිරීම.

සහය අවශ්‍ය දරුවන් සහ පවුල් වෙනුවෙන් මෙම සත්කාරය 2023 දෙසැම්බර් 31 දක්වා ක්‍රියාත්මක කිරීමටත්, රටේ තත්ත්වය අනුව අවශ්‍ය නම් එය තවදුරටත් දීර්ඝ කිරීමටත් ශ්‍රී ලංකාවේ SOS ළමා ගම්මාන වැඩසටහන බලාපොරොත්තු වෙයි. තවද, ගෘහ මූලිකයන්ට තම පවුල් වඩාත් හොඳින් රැකබලා ගැනීමට අත්වැලක් වන අතරම පොදුවේ ශ්‍රී ලංකාවේ ආහාර සුරක්ෂිතතා අර්බුදය අවම කිරීමට දායක වීමේ අරමුණින්, ඔවුන්ට රැකියා සොයාගැනීමට හෝ ස්වයං රැකියාවක් කිරීමට වැදගත් වන ආකාරයේ වෘත්තීය පුහුණුවක් ලබා දීමටද ශ්‍රී ලංකාවේ SOS ළමා ගම්මාන වැඩසටහන සැලසුම් කර ඇත.

 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

1 × three =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව