SLT-MOBITEL ශ්‍රී ලංකාවේ වටිනාම සන්නාම 10 අතරට එක්වෙයි

logo

 




 

 

ශ්‍රී ලංකාවේ ජාතික තොරතුරු සන්නිවේදන තාක්ෂණ හා ජංගම දුරකථන ජාලය වන SLT-MOBITEL සමාගම, Brand Finance Lanka විසින් වාර්ෂිකව නම්කරනු ලබන, ශ්‍රී ලංකාවේ වටිනාම සන්නාම දර්ශකයේ නවතම අදියරේදී ශ්‍රී ලංකාවේ වටිනාම සන්නාම 10 අතරට එක්වීමට පසුගියදා සමත් විය.

Brand Finance Lanka යනු සන්නාම තක්සේරුකරණ සහ ක්‍රමෝපාය සමාගමක් වන අතර, වසර 18 ක කාලයක් පුරා මෙරට සන්නාම විශ්ලේෂණයට ලක්කර ශ්‍රී ලංකාවේ වටිනාම සන්නාම 10 දර්ශකය ප්‍රකාශයට පත්කිරීමට එම ආයතනය කටයුතු කර තිබේ.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින්, ශ්‍රී ලංකා ටෙලිකොම් සමූහයේ සභාපති රොහාන් ප්‍රනාන්දු මහතා මෙසේ පැවසී ය. “මේ ආකාරයට රටේ වටිනාම සන්නාම 10 අතරට එක්වීමට හැකි වීම අපට විශාල සතුටක්. මෑතකදී අප සිදුකළ SLT-MOBITEL සන්නාම ඒකාබද්ධකරණයත් සමග, මෙරට දුරකථන සන්නිවේදන ක්ෂේත්‍රයේ අවිවාදිත ප්‍රමුඛයා මෙන්ම ඩිජිටල් තාක්ෂණයේ පුරෝගාමියෙකු ලෙස අප ලබාදෙන නොසැලෙන සේවාවන් පිළිබඳව පණිවිඩය වඩාත් පැහැදිලිව අපගේ පාරිභෝගිකයන් වෙත සන්නිවේදනය වී තිබෙන බව පැහැදිලියි. තාක්ෂණය ඔස්සේ ඉදිරියට යන ආර්ථිකයක් සහ තාක්ෂණය මූලික කරගත් සමාජයක් ගොඩනැංවීමට  රජය දරන උත්සාහයට සමගාමීව මේ සන්නාම ඒකාබද්ධකරණය සිදු කළ අතර, සන්නාම දෙකෙහි ශක්තීන් එක්තැන් කරමින්, සමස්ත ශ්‍රී ලංකාවාසීන්ට නිර්මාණශීලී හා සමකළ නොහැකි පාරිභෝගික කේන්ද්‍රීය සේවාවන් එකතුවක් සමගින් ජාත්‍යන්තර තලයේ ඩිජිටල් අත්දැකීම් පෙළක් ලබාදීමට දැන් අපට හැකියාව ලැබී තිබෙනවා.”

SLT-MOBITEL මේ වනවිට ශක්තිමත්, විශ්වාසනීය, නම්‍යශීලී හා තීක්ෂණ සන්නාමයක් ලෙස මෙන්ම, දැනට පවතින අවිනිශ්චිත තත්ත්වයන් හමුවේ පාරිභෝගිකයන්ගේ අවශ්‍යතා සමග මැනැවින් සමගාමී වන සන්නාමයක් ලෙස ඇගයීමට ලක්වී තිබේ. COVID-19 රෝග ව්‍යාප්තියේ ආරම්භයේ පටන් මේ දක්වාම අතිශය වැදගත් කාර්යභාරයක් ඉටුකරමින්, නිර්මාණශීලී නව සන්නිවේදන විසඳුම් ඔස්සේ පාරිභෝගිකයන්ට අඛණ්ඩ සේවාවක් සැපයීමට SLT-MOBITEL කටයුතු කර ඇත.

ශ්‍රී ලංකාවේ දුරකථන සන්නිවේදන ක්ෂේත්‍රයේ නව යුගයක් තුළ, ඩිජිටල් පරිවර්තනය වේගවත් කිරීමට උරදෙමින්, සියලුම ක්ෂේත්‍රයන් සවිබල ගැන්වීම SLT-MOBITEL හි මූලික අරමුණ වී තිබේ. පැහැදිලි අනාගත දැක්මක්ද සමග මෙම අරමුණ ඔස්සේ ඉදිරියට යමින් මෙරට වෙළඳපොළේ මෙන්ම තාක්ෂණික ක්ෂේත්‍රයේද නිසැක පුරෝගාමියෙකු බවට පත්වීමට SLT-MOBITEL සමත් වී ඇති අතර, එය අනාගත අභියෝග වලට මුහුණ දීමේ හැකියාව සහිත, තාක්ෂණය පදනම් කරගත් ආර්ථිකයක් සහ සමාජයක් බිහි කිරීමට මූලික අඩිතාලමක් සකස් කර දී ඇත.

Brand Finance සමාගම සිය සන්නාම ශ්‍රේණිගත කිරීම සිදුකරනුයේ පාරිභෝගික චර්යාවන් සහ මූල්‍ය පැතිමානයන් සැලකිල්ලට ගනිමින්, ජාත්‍යන්තර සම්මතයන්ට අනුකූල තක්සේරුකරණ විධික්‍රම භාවිතා කරමිනි. රටේ සමස්ත ජනගහනය නියෝජනය කරන ප්‍රධාන ක්ෂේත්‍රයන් ආවරණය වන පරිදි එම සමීක්ෂණ කටයුතු සිදුකෙරේ.

 

 

 

 

 



 

 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව