
ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක මෙන්ම ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ඒකාබද්ධ දුරකථන සන්නිවේදන සන්නාමය වන SLT-MOBITEL, පසුගියදා පැවති 2026 ශ්‍රී ලංකා තිරසාරත්ව සම්මාන උළෙලේදී [Sri Lankan Sustainability Awards (SSA) 2026] ‘තිරසාර දුරකථන සන්නිවේදන සේවා සම්පාදක’ (Sustainable Telecommunication Service Provider) කාණ්ඩයේ ජයග්‍රහණය හිමි කර ගැනීමට සමත් විය. මෙය රටේ ඩිජිටල් පරිවර්තනයට දායක වන අතරම තිරසාරත්වය සිය ව්‍යාපාර කටයුතුවල අනිවාර්ය අංගයක් බවට පත් කරගැනීම සඳහා SLT-MOBITEL දරන උත්සාහයේ සාර්ථකත්වය තවදුරටත් තහවුරු කරන ජයග්‍රහණයකි.
රටේ වඩාත්ම විශ්වාසනීය තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සන්නාමය ලෙස SLT-MOBITEL දිගින් දිගටම සිය මෙහෙයුම්, ආයෝජන සහ ඩිජිටල් නවෝත්පාදන ක්‍රියාවලීන් සමඟ පාරිසරික, සමාජීය සහ ආයතනික යහපාලන (ESG) මූලධර්ම ඒකාබද්ධ කරමින් සිටී. මෙම සම්මානය මඟින්, වඩාත් සුහුරු, පරිසර හිතකාමී සහ විශිෂ්ට සම්බන්ධතා පහසුකම් සහිත ශ්‍රී ලංකාවක් නිර්මාණය කරන අතරම, පාරිභෝගිකයින්, ප්‍රජාවන් සහ පරිසරය වෙනුවෙන් තිරසාර වටිනාකම් නිර්මාණය කිරීම සඳහා සමාගම දරමින් සිටින දීර්ඝකාලීන උත්සාහය මැනැවින් පිළිබිඹු වේ.
ශ්‍රී ලංකා තිරසාරත්ව සම්මාන උළෙල යනු තිරසාරත්වය ප්‍රවර්ධනය කිරීමේදී විශිෂ්ට නායකත්වයක්, නවෝත්පාදන හැකියාවක් සහ පැහැදිලි සාර්ථකත්වයක් පෙන්නුම් කරන ආයතන ඇගයීමට ලක් කරන ප්‍රමුඛ පෙළේ ජාතික සම්මාන උළෙලකි. ගෝලීය දේශගුණික ඉලක්ක සහ ජාතික සංවර්ධන ප්‍රමුඛතාවන්ට සමගාමීව, තාක්ෂණය, බලශක්තිය, යටිතල පහසුකම්, නිෂ්පාදන, මූල්‍ය, අධ්‍යාපනය, ජනමාධ්‍ය සහ ප්‍රජා සංවර්ධනය ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක් ආවරණය කරන කාණ්ඩ 50 කට අධික සංඛ්‍යාවක් යටතේ මෙම සම්මාන පිරිනමනු ලැබේ.
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ කාණ්ඩයේ ජයග්‍රහණය හිමි වීම යනු, වගකීම් සහගත ව්‍යාපාර ක්‍රමවේදයන් අනුගමනය කරන අතරම අනාගතයට ගැළපෙන ඩිජිටල් විසඳුම් පිරිනැමීම සම්බන්ධයෙන් SLT-MOBITEL අත්කරගෙන ඇති සාර්ථකත්වය යළි තහවුරු වීමකි. පුනර්ජනනීය බලශක්තිය, බලශක්තිය කාර්යක්ෂම ලෙස භාවිතා කරන යටිතල පහසුකම්, ඩිජිටල් අන්තර්කරණය, දේශගුණික ක්‍රියාකාරකම්, වගකීම් සහගත ආයතනික පාලනය සහ ප්‍රජාවන් සවිබල ගැන්වීමේ වැඩසටහන් ආදිය හරහා සමාගම තිරසාර වර්ධනය සම්බන්ධයෙන් මෙරට දුරකථන සන්නිවේදන ක්ෂේත්‍රය තුළ නව ආදර්ශ සනිටුහන් කරමින් සිටී.
ජාත්‍යන්තරව පිළිගත් තිරසාරත්ව විධිවිධාන සහ එක්සත් ජාතීන්ගේ තිරසාර සංවර්ධන ඉලක්ක අනුව කටයුතු කරන SLT-MOBITEL, යහපත් පාරිසරික හා සමාජීය බලපෑමක් ඇති කිරීම සඳහා තාක්ෂණය යොදාගැනීම සම්බන්ධයෙන් පෙරමුණ ගෙන සිටී. නවෝත්පාදනය ඔස්සේ වගකීම් සහගත දියුණුවක් ළඟා කරගැනීම සඳහා තිරසාරත්වය සමාගමේ දීර්ඝකාලීන ක්‍රමෝපායෙහි අනිවාර්ය අංගයක් බවට පත් කර තිබේ.
මෙම ගෞරවණීය සම්මානය, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම තිරසාර තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සන්නාමය ලෙස SLT-MOBITEL සතු පිළිගැනීම තවදුරටත් ශක්තිමත් කරනු ඇත. එමෙන්ම ඩිජිටල් සම්බන්ධතාවන් තුළින් දේශය සවිබල ගන්වන අතරම අනාගත පරම්පරාවන් වෙනුවෙන් අභියෝගවලට ශක්තිමත් ලෙස මුහුණ දිය හැකි, කාටත් එක සේ ප්‍රතිලාභ හිමි වන සහ පරිසර හිතකාමී අනාගතයක් ගොඩනැංවීම සඳහා සමාගම දක්වන උනන්දුව හා කැපවීම එමඟින් යළි තහවුරු වේ.


