SLT-MOBITEL සහ LNC එක්ව eSiphala ඔස්සේ පරිසර සංරක්ෂණය පිළිබඳ මාර්ගගත දේශන මාලාවක්

Earth is Calling B

 




 

 

ශ්‍රී ලංකාවේ ජාතික තොරතුරු සන්නිවේදන තාක්ෂණ හා ජංගම දුරකථන ජාලය වන SLT-MOBITEL සහ ,la සොබා සංරක්ෂකයෝ (Lanka Nature Conservationists-LNC) සංවිධානය එක්වී, රටේ පාරිසරික උරුමය පිළිබඳ මාර්ගගත දේශන මාලාවක් ආරම්භ කර තිබේ. මේ යටතේ දැනටමත් ‘COVID-19 සහ සංරක්ෂණයේ අනාගත අභියෝග’, ‘නිතර හමුවන විෂ සහිත හා රහිත උරග වර්ග හඳුනා ගැනීම’, සහ ‘කඩොලාන නොමැති වුවහොත් සිදුවන්නේ කුමක්ද?’ යන තේමාවන් යටතේ දේශන තුනක් පවත්වා ඇති අතර, ඒ සඳහා ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පක්ෂි විශේෂඥයෙකු වන සම්මානිත මහාචාර්ය විද්‍යාජෝති සරත් කොටගම, පර්යේෂකයෙකු, පාරිසරික ඡායාරූප ශිල්පියෙකු සහ ගත් කතුවරයෙකු වන මෙන්ඩිස් වික්‍රමසිංහ සහ වයඹ විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, ජාතික කඩොලාන විශේෂඥ කමිටුවේ සභාපති සහ පොදු රාජ්‍ය මණ්ඩලයීය ‘Blue Carbon’ වැඩසටහනේ සාමාජිකාවක වන මහාචාර්ය සෙව්වන්දි ජයකොඩි යන මහත්ම මහත්මීහු දායක වූහ.

Lanka Nature Conservationists (LNC) යනු ශ්‍රී ලංකාවේ වනජීවීන් හා ස්වභාවධර්මය පිළිබඳව උනන්දු වන්නන් සහ ක්‍රියාකාරීන්ගෙන් සමන්විත, ලාභ නොලබන, ස්වේච්ඡා සංවිධානයකි. ශ්‍රී ලංකාවේ වනජීවීන්, තුරුලතා සහ පරිසර පද්ධති ආරක්ෂා කිරීම සඳහා  සන්ධානගත වූ, තරුණ සත්ත්වවේදීන්ගේ සංගමයේ හිටපු සාමාජික සාමාජිකාවන්ගෙන් පිරිසකගෙන් එය සමන්විත වේ.

අනාගත පරපුර වෙනුවෙන් ශ්‍රී ලංකාවේ ස්වාභාවික පරිසර පද්ධති ආරක්ෂා කරගැනීම අතිශයින් වැදගත් බව විශ්වාස කරන, වගකීම් සහගත සමාගමක් ලෙස SLT-MOBITEL මෙම දේශන මාලාව සඳහා LNC සමග අත්වැල් බැඳගැනීමට කටයුතු කළේ ය. ශ්‍රී ලංකාවේ ස්වාභාවික සම්පත් රැකගැනීමේ වැදගත්කම අවධාරණය කිරීම සඳහා ‘සොබාදහමේ ඇමතුම ඔබට ඇසෙනවාද?’ යන මූලික තේමාව යටතේ මෙම වැඩසටහන සංවිධානය කරනු ලබන අතර, ශ්‍රී ලංකාවේ ඩිජිටල් ඉගැන්වුම් හා ඉගෙනුම් අත්දැකීම වැඩිදියුණු කිරීමේ අරමුණින් SLT-MOBITEL විසින් හඳුන්වා දෙන ලද eSiphala ඩිජිටල් පදනම මේ සඳහා භාවිතා කෙරේ.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් SLT-MOBITEL ප්‍රධාන අලෙවි නිලධාරී ප්‍රභාත් දහනායක මහතා මෙසේ පැවසී ය. “අපගේ ස්වාභාවික පරිසරය හා සම්පත් සුරැකීම පිළිබඳව මේ ආකාරයට දැනුවත් කිරීම් සිදුකිරීම බෙහෙවින් කාලෝචිත හා වැදගත් දෙයක්. මේ සම්බන්ධයෙන් නිවැරදි හා විද්‍යාත්මක තොරතුරු සොයන කාටත් මේ දේශන මාලාව අතිශයින් ප්‍රයෝජනවත් වේවි කියා අප සිතනවා. පරිසරයේ යහපත පිළිබඳව SLT-MOBITEL දැඩි උනන්දුවක් දක්වන අතර, මේ දේශන මාලාව ඔස්සේ පරිසර සංරක්ෂණයට ජනතාව යොමුකරවමින්, තර්ජනයට ලක් වී ඇති පරිසර පද්ධති රැකගැනීම සඳහා දායක වීමට අපට හැකි වේවි.”

ආවේණික ජීවී විශේෂයන් රාශියක් සිටින ශ්‍රී ලංකාව, ජෛව විවිධත්වය අතින් ලොව 34 වැනි ස්ථානයෙහි පසු වේ. කෙසේ වුවද ප්‍රමාණවත් දැනුමක් නොමැති වීම, පරිසර දූෂණය, වනාන්තර හෙළි කිරීම, සහ දේශගුණ විපර්යාස වැනි හේතු නිසා රටේ පරිසර පද්ධති දැඩි තර්ජනයකට ලක්වී ඇත. මෙවැනි තත්ත්වයක් හමුවේ ජනතාවට නිවැරදි තොරතුරු සපයමින් සහ ඔවුන් දිරිමත් කරවමින් පරිසරය ආරක්ෂා කිරීමට ඔවුන් යොමුකරවීමත්, දෛනික ක්‍රියාකාරකම් වලදී වඩාත් වගකීම්සහගත ලෙස කටයුතු කිරීමට මගපෙන්වීමත්, එබඳු වගකීම්සහගත චර්යාවන් නිර්මාණය කිරීම සඳහා අවශ්‍ය තීරණ ගැනීමට පදනමක් සැපයීමත්, සමස්තයක් ලෙස පරිසර සංරක්ෂණය සම්බන්ධයෙන් ඇති උනන්දුව වැඩි කිරීමත් මෙම වැඩසටහනෙහි මූලික ඉලක්ක අතරට ඇතුළත් වී තිබේ.

LNC හි සභාපති ලෙස කටයුතු කරන, ශ්‍රී ලංකා රේගුවේ හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂ සමන්ත ගුණසේකර මහතා මෙසේ අදහස් දැක්වී ය. “ශ්‍රී ලංකාවේ සරුසාර ජෛව විවිධත්වය ආරක්ෂා කරගැනීමේ වැදගත්කම සම්බන්ධයෙන් විශේෂයෙන්ම තරුණ පරපුර දැනුවත් කිරීම සඳහා LNC සංවිධානයේ අනාගත සැලසුම් අතර ප්‍රමුඛත්වයක් හිමි වී තිබෙනවා. SLT-MOBITEL හඳුන්වා දී ඇති eSiphala ඩිජිටල් පදනම ඔස්සේ සියලුම වයස් කාණ්ඩ වලට ආමන්ත්‍රණය කිරීම පහසු බව හඳුනා ගත් නිසා අප මේ අරමුණ වෙනුවෙන් SLT-MOBITEL සමග අත්වැල් බැඳගැනීමට කටයුතු කළා.”

“මේ හවුල්කාරීත්වය යටතේ අපට මේ සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන ප්‍රමුඛ පෙළේ, ජාත්‍යන්තර පිළිගැනීමක් සහිත විශේෂඥයන් හා විද්වතුන්ද සම්බන්ධ කරගැනීමට හැකියාව ලැබුණා. මෙමගින් අපට විශේෂඥයන් සහ පරිසරය ගැන උනන්දුවක් දක්වන්නන් අතර දැනුම හා අත්දැකීම් හුවමාරු වන පොදු පදනමක් නිර්මාණය කිරීමට හැකි වී තිබෙන අතර, ඒ තුළින් ජෛව විවිධත්වය සුරකිමින් පෘථිවිය රැකගැනීම සඳහා අපට ඇති පොදු වගකීම පිළිබඳව දැනුම වර්ධනය කිරීමට හැකියාව ලැබේවි.” ඒ මහතා වැඩිදුරටත් පැවසී ය.

මෙම වැඩසටහනේ ඉදිරි දේශන, සෑම මසකම තුන්වැනි ඉරැදින පස්වරු 7 සිට 8 දක්වා පැවැත්වෙනු ඇත.  ශාක, සතුන්, සහ ශ්‍රී ලංකාවේ සමාජ හා සංස්කෘතික පරිසර පද්ධති ඇතුළු මාතෘකා මෙම දේශන වලට පදනම් වන අතර සමස්ත වැඩසටහන දේශන 20 කින් සමන්විත වේ. ජාත්‍යන්තර පිළිගැනීමක් සහිත විශේෂඥයන් විසින් පවත්වනු ලබන මෙම දේශන, සිංහල හා ඉංග්‍රීසි යන භාෂා දෙකෙන්ම පැවැත්වීමට සැලසුම් කර ඇත. මේ සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන ඕනෑම කෙනෙකුට www.esiphala.lk ඔස්සේ මෙම දේශන මාලාවට සම්බන්ධ විය හැකි වේ.

 

 

 

 



 

 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව