SLT-MOBITEL නව තේමාවක් යටතේ ඉදිරියට

SLT

 



 

 

 

ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL හි නව තේමා පාඨය වන ‘No Dream Too Big’ නිල වශයෙන් හඳුන්වා දීම පසුගියදා සිදුකරන ලදි. ශ්‍රී ලංකා ටෙලිකොම් ප්‍රධාන කාර්යාලයේදී පැවති විශේෂ උත්සවයකදී එම හඳුන්වා දීම සිදුකෙරිණි.

මෙම අවස්ථාවට SLT සමූහ සභාපති රොහාන් ප්‍රනාන්දු, SLT අධ්‍යක්ෂ ජනාධිපති නීතීඥ මොහාන් ප්‍රනාන්දු, සමූහ ප්‍රධාන විධායක නිලධාරී ලලිත් සෙනෙවිරත්න, SLT ප්‍රධාන විධායක නිලධාරී කිත්ති පෙරේරා, MOBITEL ප්‍රධාන විධායක නිලධාරී චන්දික විතාරණ, සහ SLT ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ප්‍රියන්ත ෆනෑන්ඩස් යන මහත්වරුන් ප්‍රමුඛව එම සමාගමේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, කාර්ය මණ්ඩලයේ සාමාජිකයන් හා පාරිභෝගිකයන් ඇතුළු පිරිසක් එක්වූහ.

චාරිත්‍රානුකූලව ජාතික ධජය ඔසවමින් සහ ජාතික ගීය ගායනා කරමින් ආරම්භ වූ උත්සවයේදී සර්වාගමික පූජ්‍ය පක්ෂය විසින් රැස්ව සිටි පිරිසට නව වසර වෙනුවෙන් ආශීර්වාද කරන ලදි. එමෙන්ම ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වයේ නව අවුරුදු පණිවිඩ ඉදිරිපත් කිරීමද මෙහිදී සිදුවිය.

SLT-MOBITEL හි නව තේමා පාඨය වන ‘No Dream Too Big’ යන්න පදනම් කරගත් ප්‍රවර්ධන වැඩසටහනේ මූලික අරමුණ වන්නේ, වැඩි වැඩියෙන් ජනතාව වෙත සමීප වෙමින් ඔවුන්ගේ හදවත් දිනා ගැනීම ය. උත්සවයේදී අදහස් දැක්වූ SLT සමූහ සභාපති රොහාන් ප්‍රනාන්දු මහතා සමාගම කෙරෙහි කාර්ය මණ්ඩලය දැක්වූ ළැදියාව හා කැපවීම වෙනුවෙන් තම කෘතඥතාව පළකළ අතර, 2022 වසරේදී ක්‍රියාවට නැංවීමට බලාපොරොත්තු වන ප්‍රධාන පෙළේ වැඩසටහන් පිළිබඳ තොරතුරු ද අනාවරණය කළේ ය.

“අනාගතය දෙස බලන විට, ඔබගේ සහයෝගය ද සමගින් 2022 වසරේදී පෙරටත් වඩා හොඳ ප්‍රගතියක් අත්පත් කරගනිමින්, SLT සමූහය මෙරට තුළ රාජකාරි කිරීමට සුදුසුම ස්ථානයක් මෙන්ම, ඩිජිටල් ශ්‍රී ලංකාවක් නිර්මාණය කිරීමේ උත්සාහයේ නියමුවා බවට පත්කිරීමට ද අපට හැකි බව මට විශ්වාසයි. නවීන තාක්ෂණයේ කේන්ද්‍රස්ථානයක සිටින අපට, එම තාක්ෂණය ඉදිරියට ගෙනයාමේ බලවේගය බවට පත්වීමට පුළුවන්. මේ දක්වාම සමාගමේ උන්නතිය වෙනුවෙන් ඔබ දැක්වූ දායකත්වයට ස්තූතියි. නව වසර තුළදීත් ඔබගේ සහයෝගය අඛණ්ඩව අප වෙත ලැබෙනු ඇතැයි කියා මා විශ්වාස කරනවා” රොහාන් ප්‍රනාන්දු මහතා පැවසී ය.

වසරකට පෙර සිදුවූ සන්නාම ඒකාබද්ධකරණයෙන් අනතුරුව,  ශ්‍රී ලංකාව ඩිජිටල්කරණය කිරීම සඳහා SLT-MOBITEL දැවැන්ත දායකත්වයක් දක්වා තිබේ. ඒකාබද්ධ ප්‍රවේශයක් ඔස්සේ පුළුල් පරාසයක පැතිරුණු තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් හා සේවාවන් හඳුන්වා දෙමින්, පාරිභෝගිකයන්ගේ ජීවිත විශාල පරිවර්තනයකට ලක්කිරීමට SLT-MOBITEL සමත් වී ඇත.

තම Home Broadband සේවා කළමනාකරණය කිරීම සඳහා Amazon Alexa තාක්ෂණයේ හැකියා පූර්ණ ලෙස භාවිතයට ගැනීමට සමත් වූ ප්‍රථම ශ්‍රී ලාංකික සමාගම බවට පත්වූයේ SLT-MOBITEL ය. එමෙන්ම, SLT-MOBITEL සේවාවන් භාවිතා කරන පාරිභෝගිකයන්ට, එම සේවා සම්බන්ධයෙන් අවශ්‍ය වන සහයෝගය ඉතාමත් පහසුවෙන් ලබාගැනීමට හැකිවන ආකාරයට ‘MySLT App’ පුළුල් මට්ටමින් වැඩිදියුණු කරන ලදි.

2022 වසර ආරම්භ වන මේ මොහොතේ, තාක්ෂණයේ කේන්ද්‍රස්ථානය බවට පත්වෙමින්, ජන ජීවිතයේ පරිවර්තනයේ බලවේගය බවට පත්වීම ඉලක්ක කරගෙන තම ඉදිරි ගමනේ තීරණාත්මක වෙනස්කම් කිහිපයක් සිදුකිරීමට SLT-MOBITEL පියවර ගෙන තිබේ. මීට පෙර ක්‍රියාවට නැංවූ ක්‍රමෝපායික සැලසුම් හේතුවෙන් සමාගම මේ වනවිට කැපීපෙනෙන ප්‍රගතියක් අත්පත් කරගෙන ඇති අතර, ඉදිරියේදී පාරිභෝගික සේවා, විකිණුම් සහ අලෙවිකරණ යනාදී අංශයන්ට අදාළව, දියුණුව හා තිරසාරත්වය ඉලක්ක කරගත් නව ක්‍රමෝපායික සැලසුම් රාශියක් ක්‍රියාවට නැංවීමට සමාගම සැලසුම් කර ඇත.

මෙම වසරේ සිට තම ඉදිරි ගමන තවත් වේගවත් කරමින්, දුරකථන සමාගමක සීමාවෙන් ඔබ්බට ගොස් පුළුල් තලයේ තාක්ෂණික සමාගමක් බවට පත්වීමට SLT-MOBITEL බලාපොරොත්තු වෙයි. එමෙන්ම 2022 වසර තුළදී SEA-ME-WE 6 නවතම මුහුදු සංදාම පද්ධතිය සඳහා ආයෝජන සිදුකරමින්, කොළඹ වරාය නගරයට අතිනවීන තොරතුරු තාක්ෂණ යටිතල පහසුකම් සැපයීමට ද SLT-MOBITEL කටයුතු කරනු ඇත.

 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව