SLT-MOBITEL, නවීනතම තාක්ෂණයෙන් යුත් නව Mobitel ප්‍රධාන කාර්යාලයේ ඉදිකිරීම් අරඹයි

Picture3

 




 

 

SLT-MOBITEL සමාගමේ ප්‍රථම හරිත ගොඩනැගිල්ල මෙයයි

2021 ඔක්තෝබර් 21, කොළඹ: ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL, වැලිකඩ ප්‍රදේශයේ ඉදිවන නවතම Mobitel ප්‍රධාන කාර්යාලයට ඔක්තෝබර් 21 දා මුල්ගල තැබී ය. නවීනතම තාක්ෂණයෙන් සමන්විතව ඉදිවන මෙම ගොඩනැගිල්ල SLT-MOBITEL හි ප්‍රථම ‘හරිත ගොඩනැගිල්ල’ බවට පත්වනු ඇත.

මෙම ගොඩනැගිල්ල නිම කිරීමෙන් පසු නගරයේ විසිරී ඇති සියලු මොබිටෙල් මෙහෙයුම් කාර්යාල එකම වහලක් යටතට ගෙන එනු ලබන අතර එමඟින් සැලකිය යුතු මුල්‍යමය ප්‍රතිලාභ හිමි වනු ඇත. තවද, ගොඩනැගිල්ලේ එක් මහලක් පර්යේෂණ සහ සංවර්ධන කටයුතු  සදහා මෙන්ම  තාක්‍ෂණික නවෝත්පාදන උදෙසා වෙන් කරනු ලබයි.

මෙම මුල්ගල තැබීමේ අවස්ථාවට SLT සමූහයේ සභාපති රොහාන් ප්‍රනාන්දු, එහි සමූහ ප්‍රධාන විධායක නිලධාරී ලලිත් සෙනෙවිරත්න, SLT ප්‍රධාන විධායක නිලධාරී කිත්ති පෙරේරා, Mobitel ප්‍රධාන විධායක නිලධාරී චන්දික විතාරණ, SLT ප්‍රධාන පරිපාලන නිලධාරී සමන් අබේසේකර සහ Mobitel ප්‍රධාන අලෙවි නිලධාරී ශෂික සෙනරත් යන මහත්වරුන් ඇතුළුව SLT-MOBITEL ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වයේ සාමාජිකයන් සහ නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරීන් ඇතුළු පිරිසක් එක්වූහ.

අක්කර 7 ක භූමි ප්‍රදේශයක ඉදිවන මෙම නව Mobitel කාර්යාලය, නවීනතම ගෘහ නිර්මාණ ශිල්පීය ප්‍රවණතා අනුව සැලසුම් කළ, වර්ග අඩි 175,000 ක අලංකාර ගොඩනැගිල්ලකි. SLT-MOBITEL හි ‘Smart Office’ සංකල්පය අනුව, බලශක්ති භාවිතය අතින් බෙහෙවින් කාර්යක්ෂම සහ තිරසාර බව හා ඵලදායීත්වයට මුල්තැන හිමිවන ගොඩනැගිල්ලක් ලෙස මෙය ඉදිකෙරේ. එමෙන්ම නවීන ලෝකයට ගැළපෙන පරිදි, කාර්ය මණ්ඩලයේ සෞඛ්‍යයට හා යහපැවැත්මට මුල්තැන දෙමින්, COVID-19 හේතුවෙන් අනුගත වීමට සිදුවූ නව ජීවන හා කාර්යාලයීය රටාවන්ට අනුකූලව රාජකාරි කළ හැකි පරිදි මෙය සැලසුම් කර ඇත. මෙම නව ගොඩනැගිල්ල NB IOT, AI, සහ Big Data 5G වැනි නවීන තක්ෂණය ශ්‍රී ලංකාවට හඳුන්වා දීම සඳහා  SLT-MOBITEL දරන උත්සාහයට ඉමහත් පිටිවහලක් වනු නොඅනුමාන ය.

තවත් වැදගත් කරුණක් වන්නේ මෙම නව ගොඩනැගිල්ල ‘energy-positive’ ගොඩනැගිල්ලක් ලෙස සැලසුම් කර තිබීම ය. ඒ ඔස්සේ එම ගොඩනැගිල්ල නොකඩවා පිරිසිදු හා පුනර්ජනනීය බලශක්තිය ජනනය කරනු ඇති අතර, SLT-MOBITEL සමූහයේ ප්‍රථම හරිත ගොඩනැගිල්ල වශයෙන් මෙයට ඉදිරියේදී Green Building Council of Sri Lanka (GBCSL) වෙතින් Platinum Green ශ්‍රේණිගත කිරීම හිමිවනු ඇති බවට SLT-MOBITEL විශ්වාසය පළකරයි.

නව ගොඩනැගිල්ල සැලසුම් කිරීමේදී තිරසාරත්වයට මෙන්ම නවීන ‘සුහුරු’ (Smart) විශේෂාංග සඳහා ප්‍රමුඛත්වය ලබා දී ඇති අතර, එය ඉදිකිරීමේදී බලශක්තිය පිරිමසින ආලෝකකරණ පද්ධති, බලශක්ති ජනන පද්ධති, කාර්යක්ෂම වායු සමීකරණ පද්ධති, වැසි ජලය රඳවා ගැනීමේ පද්ධති, අපවහන ජලය පවිත්‍ර කිරීමේ පද්ධති,  සහ බලශක්තිය පිරිමසින වීදුරු හා විදුලි උපාංග වැනි බොහෝ දේ භාවිතා වනු ඇත.

මෙහි ඉදිකිරීම් වල පළමු අදියර යටතේ වර්ග අඩි 100,000 ක ප්‍රමාණයක ඉදිකිරීම් සිදුකිරීමට නියමිත ය. ආයතනයේ කටයුතු වල කාර්යක්ෂමතාව, ඵලදායීතාව හා නවෝත්පාදන හැකියාව වැඩිදියුණු වන පරිදි, කාර්ය මණ්ඩලයට වඩාත් විධිමත් ලෙස එකිනෙකා සමග සම්බන්ධ වී කටයුතු කළ හැකි ආකාරයට මෙය සැලසුම් කෙරෙනු ඇත. මෙහි මීළඟ අදියර යටතේ විශේෂ  අමුත්තන් පිළිගැනීමේ පරිශ්‍රයක්, නවීන ආපනශාලාවක්, ක්ලබ්හවුස් ගොඩනැගිල්ලක් මෙන්ම පිහිනුම් තටාකයක්, ක්‍රීඩා පහසුකම්, නේවාසික ගොඩනැගිලි, උද්‍යාන සහ මාර්ග පද්ධතියක්ද ඉදිකිරීමට සැලසුම් කර තිබේ.

 

 

 



 

 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව