සෙලාන් බැංකුව ගල්ගමුව මහා විද්‍යාලයේ සිසුන්ට ගුණාත්මක අධ්‍යාපනයකට මංපෙත් විවර කරමින් 294 වැනි ‘පැහැසර’ පුස්තකාලය විවෘත කරයි

Seylan (LBN)

2026 අගෝස්තු XX, කොළඹ: සෙලාන් බැංකුව අධ්‍යාපනය තුළින් අනාගත පරපුර සවිබල ගැන්වීම සඳහා දරන දීර්ඝකාලීන ප්‍රයත්නය තවදුරටත් ශක්තිමත් කරමින්, සිය 294 වැනි ‘පැහැසර’ පුස්තකාලය පසුගියදා නාරම්මල, මහරච්චිමුල්ල, ගල්ගමුව මහා විද්‍යාලයේදී විවෘත කළේය. මෙය සෙලාන් බැංකුවේ ප්‍රමුඛතම ප්‍රජා සත්කාර වැඩසටහනේ තවත් වැදගත් සන්ධිස්ථානයක් ලෙස හැඳින්විය හැකි වේ.

මෙම අවස්ථාවට ගිරිඋල්ල අධ්‍යාපන කොට්ඨාසයේ සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ එන්. ඩී. ආර්. ජයසූරිය, සෙලාන් බැංකුවේ වයඹ පළාත් කළමනාකරු උපේන්ද්‍ර අධිකාරි, ගල්ගමුව මහා විද්‍යාලයේ විදුහල්පති එච්. පී. ඒ. එස්. ජයතිලක සහ සෙලාන් බැංකුවේ නාරම්මල ශාඛාවේ ශාඛා කළමනාකරු ටී. ඩී. විජේරත්න යන මහත්වරුන් ප්‍රමුඛව සම්භාවනීය ආරාධිතයන්, සිසුන්, ගුරුවරුන් සහ දෙමාපියන් ඇතුළු විශාල පිරිසක් සහභාගි වූහ.




“සෙලාන් බැංකුවේ අප විශ්වාස කරන්නේ අධ්‍යාපනය යනු රටේ අනාගතය වෙනුවෙන් කළ හැකි බලවත්ම ආයෝජනවලින් එකක් බවයි. ‘පැහැසර’ වැඩසටහන හරහා නව දැනුම සොයා යාමට සිසු සිසුවියන් දිරිගන්වන අතරම, අධ්‍යාපනය සඳහා අවශ්‍ය දැනුම හා සම්පත් ඔවුන් වෙත නොඅඩුව හිමි වන ඉගෙනුම් පරිසරයන් නිර්මාණය කිරීමට අප අඛණ්ඩව කැප වී සිටිනවා.” සෙලාන් බැංකුවේ සහකාර සාමාන්‍යාධිකාරී (අලෙවි හා විකුණුම්) අසිරි අභයරත්න මහතා පැවසීය.

මෙම මෙහෙවර යටතේ සෙලාන් බැංකුව විසින් ගල්ගමුව මහා විද්‍යාලයේ පුස්තකාල පහසුකම් වැඩිදියුණු කිරීමට අමතරව සිසුන්ගේ පරිහරණය සඳහා ලැප්ටොප් පරිගණක දෙකක්, බහුමාධ්‍ය ප්‍රක්ෂේපණ යන්ත්‍රයක් (Multimedia Projector) සමඟ තිරයක් සහ රුපියල් 100,000ක් වටිනා පොත්පත් තොගයක්ද පරිත්‍යාග කරන ලදි. මෙම පුස්තකාලය විවෘත කිරීමට සමගාමීව පැවැත්වුණු ‘පැහැසර සතිය’ වැඩසටහනට එල්ලේ තරගාවලියක්, 9 වැනි ශ්‍රේණියේ සිට ඉහළ ශ්‍රේණිවල සිසුන් සඳහා ජනමාධ්‍ය දින වැඩසටහනක්, මූල්‍ය සාක්ෂරතාව පිළිබඳ අධ්‍යාපනික වැඩසටහනක් සහ 9 වැනි ශ්‍රේණියට පහළ සිසුන් සඳහා චිත්‍ර තරගයක්ද ඇතුළත් විය.

294 වැනි ‘පැහැසර’ පුස්තකාලය විවෘත කිරීම, දිවයින පුරා මෙබඳු පුස්තකාල 300 ක් ස්ථාපිත කිරීම සඳහා සෙලාන් බැංකුව දරන උත්සාහයේ තවත් වැදගත් පියවරකි. මෙම වැඩසටහන ඔස්සේ පාසල් පුස්තකාලවල යටිතල පහසුකම් වැඩිදියුණු කිරීමට සමගාමීව පාසල්වලට අත්‍යවශ්‍ය අධ්‍යාපනික සම්පත් පිරිනැමීමටත්, සිසුන්ගේ මූල්‍ය සාක්ෂරතාව වැඩිදියුණු කිරීමටත්, ඒ ඔස්සේ මුළු රටටම සුවිශාල යහපතක් සිදුකිරීමටත් සෙලාන් බැංකුව දිගින් දිගටම පියවර ගනිමින් සිටී.



ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව