
තෝරාගත් කෙටි හා මධ්‍යකාලීන කාලසීමාවන් සඳහා වසරකට 11.25% දක්වා වූ වෙළඳපොළේ ඉහළම පොලී අනුපාතයක් පිරිනමනු ලබන, ගනුදෙනුකරුවන් බොහෝ සෙයින් අපේක්ෂා කළ ස්ථාවර තැන්පතු ප්‍රවර්ධන වැඩසටහන නිල වශයෙන් දියත් කළ බව SDB බැංකුව සතුටින් නිවේදනය කරයි. ඉහළ යන වෙළඳපොළ පොලී අනුපාත සහ පවතින දැඩි තරඟකාරීත්වය හමුවේ, නව ගනුදෙනුකරුවන් ආකර්ෂණය කර ගැනීම සහ තැන්පතු බලමුලු ගැන්වීම, ශක්තිමත් කිරීම අරමුණු කරගත් උපායමාර්ගික පියවරක් ලෙස මෙම ප්‍රවර්ධන වැඩසටහන ක්‍රියාවට නංවා ඇත.
SDB බැංකුවේ තරඟකාරී වෙළඳපොළ ස්ථානගතවීම තහවුරු කිරීමටත්, පවතින මෙන්ම නව ගනුදෙනුකරුවන්ට තමන්ගේ තැන්පතු සඳහා ඉහළම ප්‍රතිලාභ සුරක්ෂිත කර ගැනීමට අවස්ථාව සලසා දීමටත් මෙම ස්ථාවර තැන්පතු ප්‍රවර්ධන වැඩසටහන සැලසුම් කර තිබේ. දින 120 සිට දින 390 දක්වා වූ කාලසීමාවන් යටතේ ක්‍රියාත්මක වන මෙම වැඩසටහන, ස්ථාවර ආයෝජන අවස්ථා අපේක්ෂා කරන වැටුප් ලබන වෘත්තිකයන්, විශ්‍රාමිකයන් සහ ව්‍යාපාරිකයන් ඇතුළු පොලී අනුපාත කෙරෙහි දැඩි අවධානයක් යොමු කරන ගනුදෙනුකරුවන් උදෙසාම ආකර්ෂණීය මූල්‍ය විසඳුමක් ලෙස ඉදිරිපත් කර ඇත.
ගතික වෙළඳපොළ පරිසරයක් තුළ ගනුදෙනුකරුවන්ට ඉහළ ප්‍රතිලාභ සහිත මූල්‍ය විසඳුම් ලබා දීමට SDB බැංකුව සතු කැපවීම, මෙම සීමිත කාලීන ප්‍රවර්ධන වැඩසටහන මඟින් මනාව පිළිබිඹු වන අතර, එමඟින් ගනුදෙනුකරුවන්ට වඩාත් ඉහළ ආයෝජන ඵලදායිතාවක් භුක්ති විඳීමට අවස්ථාව සැලසේ.
මේ පිළිබඳව අදහස් දක්වමින් SDB බැංකුවේ ප්‍රධාන ව්‍යාපාරික නිලධාරී චිත්‍රාල් ද සිල්වා මහතා මෙසේ ප්‍රකාශ කළේය:
“ප්‍රගතිශීලී පුද්ගලයන් සවිබල ගැන්වීම කෙරෙහි අවධානය යොමු කරන බැංකුවක් ලෙස, මෙම සුවිශේෂී ස්ථාවර තැන්පතු පොලී අනුපාත විසඳුම හඳුන්වා දීමට ලැබීම පිළිබඳව අප බෙහෙවින් සතුටට පත් වෙනවා. අපගේ ගනුදෙනුකරුවන්ගේ විකාශනය වන මූල්‍ය අවශ්‍යතාවලට ගැළපෙන, සුරක්ෂිත මෙන්ම ඉහළ ප්‍රතිලාභ සහිත මූල්‍ය විසඳුම් පිරිනැමීමේ අපගේ අරමුණ සමඟ මෙම පියවර මනාව අනුගත වනවා. මෙම තරඟකාරී පොලී අනුපාත ලබා දීම මඟින් අප අපේක්ෂා කරන්නේ අපගේ ගනුදෙනුකරුවන්ට ඉහළ වටිනාකමක් අත්කර දීමට සහ ඔවුන්ගේ මූල්‍ය ගමනේ විශ්වාසනීය සහකරුවෙකු ලෙස අපගේ ස්ථාවරය තවදුරටත් ශක්තිමත් කර ගැනීමටයි.”
SDB බැංකුවේ මෙම ස්ථාවර තැන්පතු ප්‍රවර්ධන වැඩසටහන, ආකර්ෂණීය පොලී අනුපාතයක් යටතේ තැන්පතු සුරක්ෂිත කර ගනිමින් ස්වකීය ආයෝජන ප්‍රතිලාභ වර්ධනය කර ගැනීමට ගනුදෙනුකරුවන්ට කදිම අවස්ථාවක් සලසා දෙයි. මෙම සීමිත කාලීන දීමනාව පිළිබඳ වැඩිදුර තොරතුරු ලබා ගැනීම සඳහා ගනුදෙනුකරුවන්ට ඕනෑම SDB බැංකු ශාඛාවක් වෙත පිවිසීමට, බැංකුවේ ඩිජිටල් නාලිකා භාවිත කිරීමට හෝ 0115 411 411 ඇමතීමට හැකියාව ඇත.
තම මූල්‍ය අනාගතය සුරක්ෂිත කර ගැනීමට අපේක්ෂා කරන සැමට විශ්වාසනීය සහ නියාමනය කරන ලද බැංකු පරිසරයක් සපයන SDB බැංකුව, ප්‍රායෝගික මෙන්ම පහසුවෙන් ප්‍රවේශ විය හැකි මූල්‍ය විසඳුම් තම ගනුදෙනුකරුවන් වෙත සමීප කිරීමට නිරන්තරයෙන් කැපවී සිටියි.


