
ශ්‍රී ලංකාව යනු වේගයෙන් වියපත් වෙමින් සිටින රටකි. 2042 වසර වනවිට සෑම ශ්‍රී ලාංකිකයින් සිව්දෙනෙකුගෙන්ම එක් අයෙකු වයස අවුරුදු 60ට වැඩි වනු ඇතැයි ගණන් බලා තිබේ. එය ඉතා දුර අනාගතයක් නොව තවත් වසර 16කින් උදාවන තත්ත්වයකි. එවන් පසුබිමක එම ජනගහන වෙනසට මුහුණ දීම වෙනුවෙන් ශ්‍රී ලංකාව කිසිදු සූදානමකින් නැතැයි පැවසීම අතිශයෝක්තියක් නොවේ. ප්‍රතිපත්ති සම්පාදන මට්ටමේ සිට සාමාන්‍ය ගෙදරදොර කටයුතු දක්වා කිසිදු අංශයකින් ශ්‍රී ලංකාව තවමත් මෙම අභියෝගයට සූදානම් වී නැත.
″ශ්‍රී ලාංකික ජනගහනයේ මෙම පරිවර්තනය තවදුරටත් අනාගතයට අයිති දෙයක් නොවෙයි. එය අපේ අභියසටම පැමිණ අවසන්. වර්ෂ 2042 වනවිට සෑම පුරවැසියන් හතරදෙනෙකුගෙන්ම එක් අයෙකු වයස්ගත පුරවැසියෙක් වනවිට ඊට අදාළ ආර්ථික සාමාජීය යථාර්ථයට අපි දැන්ම තබා සූදානම් විය යුතුයි″, සෙලින්කෝ ලයිෆ් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී තුෂාර රණසිංහ මහතා පවසයි.
ශ්‍රී ලංකාවේ ශ්‍රම බලකායේ දක්නට ඇති විශේෂ ලක්ෂණයක් වන්නේ ඔවුන් කෙටිකාලීන සැලසුම් සකස් කිරීමට දක්ෂ වුව ද, සමස්තයක් ලෙස අනාගත සැලසුම් සකස්කිරීමට දුර්වල බව ය. එනම්, අධ්‍යාපනය, නිවාස, යානවාහන මිලදී ගැනීම, ළමුන්ගේ අධ්‍යාපන වියදම් ආදී කෙටිකාලීන අවශ්‍යතා වෙනුවෙන් සැලසුම් සකස් කළ ද, තම විශ්‍රාම දිවිය, වයස්ගත කාලසීමාව වෙනුවෙන් සැලසුම් සකස් කරන්නේ අතළොස්සකි. එනිසා හොඳින් සැලසුම් කළ වර්තමානය සහ දුර්වල සැලසුමක් ඇති අනාගතය අතර ඇති පරතරය ශ්‍රී ලංකාව තුළ දරුණු මූල්‍ය අභියෝගයක් නිර්මාණය කරමින් පවතී.
අර්බුදයේ සැබෑ ස්වරූපය
වර්තමානය වනවිට ශ්‍රී ලංකාවේ සාමාන්‍ය ආයු අපේක්ෂාව වසර 77-78ක් අතර අගයක් ගනී. පෞද්ගලික අංශයේ නිල විශ්‍රාම වයස වන්නේ වයස අවුරුදු 60 ය. ඒ අනුව සාමාන්‍ය වයසේදී විශ්‍රාම යන පුද්ගලයෙකු අවම තරමින් තවත් වසර 15ක් හා ඉන් ඔබ්බට වූ තම ජීවිත කාලය වෙනුවෙන් දැන් සිටම යම් ධනයක් රැස්කරගත යුතුව තිබේ.
පෞද්ගලික අංශයේ සේවය කරන බොහෝදෙනෙකුගේ විශ්‍රාම දිවියේ ආදායම රඳා පවතින්නේ සේවක අර්ථසාධක අරමුදල මත ය. සේවක අර්ථසාධක අරමුදලේ 2024 වාර්ෂික වාර්තාවට අනුව එම වසර තුළ අරමුදලේ සාමාජිකයින්ට සහ ඔවුන්ගේ නිත්‍යනුකූල උරුමකරුවන්ට විශ්‍රාම සහ මරණ ප්‍රතිලාභ ලෙස ගෙවූ මුළු මුදල රුපියල් බිලියන 188කි. බොහෝ විට දශක කිහිපයක සේවා කාලයෙන් අනතුරුව විශ්‍රාම ගැනීමේදී හෝ ඇතැම් අවස්ථාවට මරණයට පත්වූ විටක මෙම මුදල් ඔවුන්ට හෝ ඔවුන්ගේ උරුමකරුවන්ට හිමිවේ.
ඊට අමතරව 2024 වසර තුළ තවත් රුපියල් බිලියන 40-45ත් අතර ප්‍රමාණයක් සේවක අර්ථ සාධක අරමුදල් කල්පිරීමට පෙර ලබාගෙන තිබේ. එනම්, නිවාස අවශ්‍යතා හෝ වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍යතා ආදී සේවක අර්ථසාධක අරමුදල් පනත යටතේ ප්‍රතිපාදන සලසා ඇති අවශ්‍යතා වෙනුවෙන් කල්තබා අරමුදලේ මුදල් ලබාගැනීමේ හැකියාව එහි සාමාජිකයින්ට හිමිවේ. ඒ අනුව 2024 තුළ සේවක අර්ථසාධක අරමුදල විසින් තම සාමාජිකයින් වෙනුවෙන් පිරිනමා ඇති ප්‍රතිලාභවල මුළු වටිනාකම රුපියල් බිලියන 230කට ආසන්න ය.
ඒ අනුව සේවක අර්ථ සාධක අරමුදලින් බැහැරවන සාමාජිකයින් සංඛ්‍යාව ඉහළයන විට විශ්‍රාම යනවිට හිමිවන සේවක අර්ථසාධක අරමුදල් ශේෂය ද අඩු අගයක් ගනු ඇත. වසර 15ක් සහ ඉන් එහාට වූ විශ්‍රාම ජීවිතයක් ගතකිරීමේදී හිමිවන මාසික මුදල ඉතා අඩු අගයක් ගැනීම වැළැක්විය නොහැක.
මෙම තත්ත්වයේ භයානකමකම වන්නේ සේවක අර්ථ සාධක අරමුදලින් ආවරණය නොවන විශාල විශ්‍රාමික ජනගහනයක් ද සිටින බැවිනි. විශේෂයෙන්ම ස්වයංරැකියා නියුක්තිකයින්, අවිධිමත් අංශවල සේවයේ නියුතුවූවන්, ඩිජිටල් සේවා සැපයීමේ නියුක්තිකයින් සහ බොහෝ සුළු ව්‍යාපාර හිමියන්ට සේවක අර්ථ සාධක අරමුදලේ ආවරණයක් හිමිනොවේ. එනිසා ඔවුනට විශ්‍රාම සැලසුම යනු මුළුමනින්ම තමන්ගේ අනාගත සැලසුම් මත රඳාපවතින දෙයකි.
සේවක අර්ථ සාධක අරමුදලේ ප්‍රතිලාභීන්ට පවා අවසානයේ තමන්ට ලැබෙන ප්‍රතිලාභවල සැබෑ වටිනාකම ගැන ඇත්තේ අඩු අවබෝධයකි. තම සේවක අර්ථ සාධක අරමුදලේ ශේෂය ගැන දන්නේ බොහෝ සුළුදෙනකි. එයින් ද බහුතරයකට එම ශේෂයේ අනාගත වටිනාකම ගැන නිවැරදි අවබෝධයක් නැත.
″මෙම විශ්‍රාම දිවි අභියෝගය ශ්‍රී ලංකාවේ අඩු ආදායම්ලාභී ජනතාව පමණක් මුහුණ දෙන තත්ත්වයක් නොවෙයි. අපේ ශ්‍රම බලකායේ විශාල ප්‍රමාණයකට තමන්ගේ විශ්‍රාම දිවිය ගැන කිසිදු සැලසුමක් නැහැ. එවැනි සැලසුමක් ඇති අයට පවා බොහෝවිට තමන්ගේ විශ්‍රාම සැලසුමේ සැබෑ අනාගත වටිනාකම ගැන නිවැරදි සහ යථාර්ථවාදී අවබෝධයක් නැහැ″, රණසිංහ මහතා පෙන්වාදෙයි.
මේ අතර තම තමන්ගේ පවුල්වල වයස්ගත පුද්ගලයින් රැකබලාගැනීමේ ප්‍රවණතාව ද මේ වනවිට වේගයෙන් හැකිළීයමින් තිබේ. මීට පෙර පරම්පරාවල, වයස්ගත දෙමාපියන් තමන්ගේ රැකවරණයට ගන්නා දරුවන් දක්නට ලැබුණ ද නාගරීකරණය, විදෙස්ගත වීම සහ විස්තීර්ණ පවුල න්‍යෂ්ටික පවුලක් දක්වා වෙනස් වීම වැනි කරුණු හේතුවෙන් එම තත්ත්වය මේ වනවිට ශීඝ්‍රයෙන් අඩුවෙමින් පවතී. එනිසා වර්තමානයේ සහ ඉදිරි දශකයේ විශ්‍රාම ගන්නා පුද්ගලයින්ට මීට ඉහත පරම්පරාවල විශ්‍රාම ගන්නා පුද්ගලයින්ට පැවැති ආරක්ෂිත සමාජ වටපිටාවේ ප්‍රතිලාභ උරුමවන සේයාවක් දක්නට නැත.
ඉහළම අවදානමකට ලක්වන්නෝ
විශ්‍රාම දිවියේ අවදානමට ලක්වී සිටින්නේ එක් සමාජ කොට්ඨාශයක් ලෙස ලඝු කළ හැකි නොවේ. බැලූ බැල්මටම අඩු ආදායම්ලාභී පවුල්වල සාමාජිකයින්ට (අඩු ඉතුරුකිරීම් ඇති) මෙම විශ්‍රාම දිවියේ අවදානම දැඩිව බලපාන අතර, වෘත්තීකයින්ට ද විශ්‍රාම දිවිය ඔවුන්ටම අනන්‍ය වූ ලෙස බලපෑමක් එල්ල කරනු ඇත. විශේෂයෙන්ම මධ්‍යම පාන්තික වෘත්තීක ප්‍රජාව ඉහළ ජීවන වියදමකට සහ විශාල මූල්‍ය කැපකිරීම්වලට යොමුවූ පිරිසකි. එමෙන්ම ඔවුන් විශ්‍රාම දිවිය වෙනුවෙන් සිදුකරන සැලසුම් සහ ඉතුරුම් යථාර්ථවාදී ද යන ගැටලුව ඔවුන් හමුවේ ඇති අභියෝගයයි.
ශ්‍රම බලකායට අයත් කාන්තාවෝ ද ඔවුන්ටම ආවේණික වූ අවදානමකට මුහුණපා සිටිති. පවුලේ අවශ්‍යතා වෙනුවෙන් සිය වෘත්තීය ජීවිතය අඛණ්ඩව පවත්වා ගැනීමට ඔවුන්ට නොහැකි විය හැකි අතර, ඔවුන් සතුව ඇති ඉතුරුම් ද සාමාන්‍යයෙන් අවම මට්ටමක පවතී. තව ද කාන්තාවන්ගේ ආයු අපේක්ෂාව ද පුරුෂයින්ට වඩා වැඩි ය.
මේ අතර ප්‍රමාද වී තම විශ්‍රාම දිවිය සැලසුම් කරන්නන්, එනම් වයස අවුරුදු හතළිස් පහට ආසන්නයේදී සිය විශ්‍රාම දිවිය සැලසුම් කරන පුද්ගලයෝ ද තම ආයෝජනවලට ඉහළ ප්‍රතිලාභ ලබාගැනීමට අඩු කාලයක් හිමිවීම නිසා අවදානමකට ලක්වෙති. මේ අතරවාරයේ වයස අවුරුදු හතළිහ කාණ්ඩයේ පුද්ගලයින් මුහුණ දෙන තවත් අභියෝගයක් තිබේ. එනම් තම දරුවන්ගේ අධ්‍යාපනයට මෙන්ම තම දෙමාපියන්ගේ විශ්‍රාම දිවියට ද මුදල් වෙන්කිරීමට සිදුවීම නිසා ස්වකීය විශ්‍රාම දිවිය සැලසුම් කිරීමට හිමිවන්නේ ඔවුන්ගේ ප්‍රමුඛතා ලැයිස්තුවේ අවසාන ස්ථානයයි. ශ්‍රී ලංකාවේ වත්මන් ශ්‍රම බලකාය තුළ වඩා දරුණුතම මූල්‍ය අභියෝගයකට මුහුණ දෙන පිරිස මෙම කාණ්ඩය වන අතර තමන්ගේ විශ්‍රාම දිවිය ගැන ගැඹුරින් සිතීමට ඔවුන් දක්වන අවධානය ද ඉතාම අඩු ය.
වහාම ක්‍රියාත්මක වීමේ අවශ්‍යතාව
මෙම පසුබිම මත, Retirement Ready නමින් වසර පුරා දිවෙන දැවැන්ත ජාතික දැනුවත්කිරීමේ වැඩසටහන් මාලාවක් සංවිධානය කිරීමට සෙලින්කෝ ලයිෆ් ආයතනය මුලපුරා තිබේ. ඒ අනුව 2026 වසර පුරා මුද්‍රිත, ඩිජිටල්, ශ්‍රව්‍ය දෘශ්‍ය මෙන්ම පොඩ්කාස්ට් වැනි සියලු මාධ්‍ය ආවරණයවන පරිදි සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි යන භාෂා ත්‍රිත්වයෙන්ම මෙම දැනුවත් කිරීමේ පණිවුඩය ශ්‍රී ලාංකිකයින් වෙත ගෙනයාමට සෙලින්කෝ ලයිෆ් ආයතනය කටයුතු කරනු ඇත.
″දශක තුනක් පුරා ශ්‍රී ලාංකික පවුල් සමඟ ඔවුන් තම ජීවිතවල මුහුණ දෙන ඉතාම තීරණාත්මක මූල්‍ය වැදගත්කමක් ඇති අවස්ථාවන්වලදී කටයුතු කිරීමෙන් අප ලැබූ අත්දැකීම් ප්‍රමාණය ඉතා විශාලයි. එනිසා විශ්‍රාම දිවිය ගැන යථාර්ථවාදී සහ ප්‍රායෝගික ප්‍රවේශයක් ශ්‍රී ලාංකිකයින් වෙත පිරිනැමීමට, ඔවුන් අප වෙත එනතුරු බලා නොසිට ඔවුන් වෙතට මෙම පණිවුඩය ගෙනයාමට අපි කටයුතු කරනවා″, රණසිංහ මහතා පැහැදිලි කරයි.
දශක තුනක පුරා ශ්‍රී ලාංකිකයින්ගේ ඉතිරිකිරීම්, වියදම් සහ විශ්‍රාම සැලසුම් ගැන ලත් අවබෝධය මෙන්ම විශ්‍රාම දිවිය සැලසුම් නොකිරීමෙන් ඇති විය හැකි තත්ත්වයන් ද මෙම දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාවට අයත් ය. එහිදී විවිධ වෘත්තීය කණ්ඩායම්, ශ්‍රම බලකායට අයත් කාන්තාවන් මෙන්ම විශේෂයෙන්ම සිය දරුවන් සහ දෙමාපියන් යන දෙපිරිසටම රැකවරණය සැලසීම නිසා අසීරුවට පත්ව සිටින පිරිස ඇතුළු සමාජයේ සෑම කොටසක්ම ආවරණයවන පරිදි ඔවුන්ට ඇති අවස්ථා ගැන ද මෙම වැඩසටහන් මාලාව හරහා සාකච්ඡාවට ලක්වනු ඇත.
ශ්‍රී ලංකාව තුළ විශ්‍රාම දිවිය සැලසුම් කිරීම සාමාන්‍යයෙන් වෘත්තීය ජීවිතයේ අග භාගයේදී සාකච්ඡාවට ලක්වන කරුණකි. එම ප්‍රමාදය නිසාම විශ්‍රාම දිවිය සාර්ථක කරගැනීමට අවැසි වටිනා අවස්ථා රැසක් ගිලිහී යාම ස්වභාවික ය. මෙම තත්ත්වය ඉක්මණින් වෙනස් විය යුතු බව සෙලින්කෝ ලයිෆ් විශ්වාසයයි. ශ්‍රී ලංකාව විශ්‍රාම සැලසුම්කරණ අර්බුදයකට මුහුණදීම වැළැක්විය හැක්කක් නොවේ. එම අර්බුදයට විසඳුම් සෙවීමට තිබූ හොඳම මොහොත මීට වසර 20කට පෙර කාලයයි. අතීතයේ අතපසුවීම් ගැන ළතැවෙමින් සිටිනු වෙනුවට වහාම එම අර්බුදයට විසඳුම් සකස් කිරීමට කාලය එළඹ තිබේ.
″මෙය අපේ නිෂ්පාදන ගැන වූ වැඩසටහන් මාලාවක් නොවෙයි. දැනුවත් තීරණ ගැනීමේ වැදගත්කම ඉස්මතු කිරීම එහි අරමුණයි. කුමන ආදායමක්, කුමන වෘත්තියක් ඇති පුරවැසියෙකුට වුවු ද සැබවින්ම තම විශ්‍රාම දිවිය කෙබඳුවනු ඇත්දැයි මෙන්ම ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වීමට අවස්ථාවක් හිමිවිය යුතුයි″, රණසිංහ මහතා විස්තර කරයි.


