උතුරුමැද පළාත් සමස්ත ලංකා විවෘත බැඩ්මින්ටන් ශූරතාවලියට අයදුම්පත් කැඳවයි

NCPBA have joined hands with CMB to host this year's Open Tournament (LBN)

උතුරුමැද පළාත් බැඩ්මින්ටන් සංගමය සහ සිලෝන් මාස්ටර්ස් බැඩ්මින්ටන් එක්ව සංවිධාන කරන උතුරුමැද පළාත් සමස්ත ලංකා විවෘත බැඩ්මින්ටන් ශුරතාවලිය මේ මස 24 සිට 30 වැනිදා දක්වා අනුරාධපුරයේ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තු ගෘහස්ත ක්‍රීඩාංගණයේ සහ මයික් කුක් ගෘහස්ත ක්‍රීඩාංගණයේ පැවැත්වෙන අතර, ඒ සඳහා අයැදුම්පත් බාර ගැනීම දැන් සිදු කෙරේ. ජාතික ශ්‍රේණිගත කිරීම්වල පළමු මට්ටමේ තරගාවලියක් ලෙස ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනයේ අනුමැතිය ලද මෙම තරගාවලියට විවිධ වයස් කාණ්ඩ යටතේ මෙරට ඉහළම මට්ටමේ ශ්‍රේණිගත ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහභාගි වනු ඇතැයි අපේක්ෂා කෙරේ.




මෙම ශූරතාවලියට අවුරුදු 11න් පහළ සිට අවුරුදු 19න් පහළ දක්වා කනිෂ්ට කාණ්ඩය, අවුරුදු 100+ ප්‍රවීණයන්ගේ ඒකාබද්ධ වයස් කාණ්ඩ ඇතුළුව අවුරුදු 30න් ඉහළ සිට 70න් ඉහළ දක්වා ජ්‍යෙෂ්ඨ කාණ්ඩය වැනි වයස් කාණ්ඩ රැසක තරග අංශ ඇතුළත් වෙයි. ඒ අතර කාන්තා හා පිරිමි ඒකල, යුගල සහ මිශ්‍ර යුගල තරග ඇතුළත් විවෘත තරග අංශය වැඩි අවධානයකට ලක්වනු ඇත. කාන්තා හා පිරිමි ඒකල වයස් කාණ්ඩයේ පරාජිතයන් අතර පළඟ අංශයේ තරග ද මිට ඇතුළත් ය.

තරගාවලියේ සමාරම්භක උත්සවය අගෝස්තු 24 වැනිදා පෙරවරු 9.00ට පැවැත්වෙන අතර, අනතුරුව මූලික වටයේ තරග ආරම්භ කෙරේ. අර්ධ අවසන් පූර්ව සහ අවසන් පූර්ව තරග අගෝස්තු මස 28 වැනිදා පැවැත්වෙනු ඇත. වඩාත් උණුසුම් මුහුණුවරක් ගන්නා අවසන් පූර්ව තරග සමඟ අවසන් මහා තරග අගෝස්තු මස 29 සහ 30 දෙදින පැවැත්වීමට කටයුතු යොදා ඇති අතර, අනතුරුව සමාප්ති උත්සවය සහ ත්‍යාග ප්‍රදානෝත්සවය පැවැත්විමට කටයුතු යොදා තිබේ.

මෙම තරගාවලියේ තරග පෙළ ගැස්ම සිදු කරනු ලබන්නේ අගෝස්තු මස 16 වැනිදා වන විට ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනයේ ශ්‍රේණිගත කිරිම් අනුවය. එම තරග පෙළ ගැස්ම අගොස්තු මස 19 වැනිදා කොළඹ 7, මෙට්ලන්ඩ් පෙදෙසේ අංක 28 ස්ථානයේ පිහිටි ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනයේදී සිදු කෙරේ.

උතුරුමැද පළාත් සමස්ත ලංකා විවෘත බැඩ්මින්ටන් ශුරතාවලිය සඳහා අයැදුම්පත් බාරගැනීම අගෝස්තු මස 14 වැනිදා දිවා කාලයේදී නිමාවට පත්වන අතර, සියලු අයැදුම්පත් අන්තර්ජාලය ඔස්සේ හෝ 0777443949 දුරකතන අංකයෙන් තරගාවලි අධ්‍යක්ෂිකා රේණු චන්ද්‍රිකා ද සිල්වා මෙනෙවිය මගින් ඉදිරිපත් කළ හැකිය.

තරගාවලිය සඳහා ඉදිරිපත් වන අයැදුම්පත් සංඛ්‍යාව මත පදනම්ව රුපියල් මිලියනයක මුදල් ත්‍යාග පිරිනැමෙන අතර, ඊට අමතරව සෑම තරගයකම ජයග්‍රාහක ජයග්‍රාහිකාවන්ට, අනුශූර,අනුශුරියන්ට සහ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට කුසලාන, පදක්කම් සහ සහතික පත් පිරිනැමේ. තරගාවලියේ සංවිධායක මණ්ඩලයේ තීරණයට අනුව කනිෂ්ඨ අංශයේ ජයග්‍රාහකයන්ට මුදල් ත්‍යාග වෙනුවට වටිනා වෙනත් ත්‍යාග පිරිනැමීමට කටයුතු යොදා තිබේ.

තරගාවලිය පිළිබඳ සියලු විස්තර ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනයේ නිල වෙබ් අඩවියේ පළ කර ඇති නිවේදනයට ඇතුළත් කර තිබේ. උතුරු මැද පළාත් බැඩ්මින්ටන් සංගමය සමඟ එක්ව තරගාවලිය සාර්ථකව හා උසස් ප්‍රමිතියෙන් යුතුව පැවැත්වීමට සිලෝන් මාස්ටර්ස් බැඩ්මින්ටන් පූර්ණ සහයෝගය ලබා දෙයි.



ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව