ළමා කුසලතා අගයන කොමර්ෂල් බැංකුවේ ‘අරුණලු සිත්තම් 2026’ සිතුවම් තරගයට නිර්මාණ භාරගැනීම ඇරඹේ

Arunalu Siththam 2026 launch (LBN)

දෙස් විදෙස් ලාංකේය සිසු දරුවන්ගේ නිර්මාණශිලී සිතුවම් කුසලතා අගයමින් ඔවුන්ගේ අනාගතය සවිබල ගැන්වීම උදෙසා කොමර්ෂල් බැංකුව සංවිධානය කරන ‘අරුණලු සිත්තම් 2026’ සමස්ත ලංකා ළමා චිත්‍ර තරගය සඳහා නිර්මාණ භාරගැනීම මේ වන විට ආරම්භ කර ඇත.

රුපියල් මිලියන 4.8 කට අධික දැවැන්ත තිළිණ සමුදායකට හිමිකම් කීමේ අවස්ථාව හිමිවන මෙම තරගාවලිය සඳහා වයස අවුරුදු 4 ත් 16 ත් අතර ඕනෑම ශ්‍රී ලාංකික දරුවෙකුට අයදුම් කළ හැකිය. අයදුම්පත් භාරගන්නා අවසාන දිනය 2026 සැප්තැම්බර් 15 වනදා වේ.



මෙම තරගය සම්පූර්ණයෙන්ම ඩිඡිටල් වේදිකාවක් මත පැවැත්වෙන අතර දරුවන් තම චිත්‍රවල ස්කෑන් කල පිටපත www.arunalusiththam.lk වෙබ් අඩවියට අවශ්‍ය තොරතුරු සමඟ අවසන් දිනයට පෙර අප්ලෝඩ් කල යුතුය.

මෙවර තරගය සඳහා වයස් කාණ්ඩ අනුව දරුවන්ගේ නිර්මාණශීලීත්වය සහ චින්තන හැකියාව වර්ධනය වන අයුරින් තේමා නිර්දේශ කර ඇත. වයස අවුරුදු 4 සිට 7 දක්වා දරුවන්ට තමන් කැමති ඕනෑම මාතෘකාවක් යටතේ චිත්‍ර ඉදිරිපත් කළ හැකි අතර වයස අවුරුදු 8 සිට 10 දක්වා කාණ්ඩයට ‘ලස්සන ගෙවත්ත’ යන තේමාව, වයස අවුරුදු 11 සිට 13 දක්වා කාණ්ඩයේ දරුවන්ට ‘ළමා රැකවරණය’ යන තේමාව සහ වයස අවුරුදු 14 සිට 16 දක්වා කාණ්ඩය සඳහා ‘අවතැන්වූවෝ’ යන තේමාව යටතේ චිත්‍ර නිර්මාණ ඉදිරිපත් කළ හැකිය.

ඉදිරිපත් කරනු ලබන නිර්මාණ පළපුරුදු විනිශ්චය මණ්ඩලයක් විසින් ඇගයීමට ලක් කරන අතර ශ්‍රී ලාංකික තරගකරුවන් අතරින් ජයග්‍රාහකයින් පළමුව පළාත් මට්ටමින් තෝරාගැනීමෙන් අනතුරුව ජාතික මට්ටමේ තරගය සඳහා තෝරා ගනු ඇත. මෙම තරගය කලාත්මක හැකියාවන් සහ නිර්මාණශීලීත්වය අගය කරන අතරම ගැඹුරින් සිතා බලා තම අදහස් නිර්මාණාත්මක ලෙස ප්‍රකාශ කිරීමට දරුවන් දිරිගන්වයි.

ජයග්‍රාහකයන් සඳහා පසුගිය වසරවල මෙන්ම මෙවරද ආකර්ෂණීය මුදල් ත්‍යාග පිරිනමනු ලබන අතර ජාතික මට්ටමේ ප්‍රධාන වයස් කාණ්ඩවල ප්‍රථම, දෙවැනි සහ තෙවැනි ස්ථාන දිනාගන්නා දරුවන්ට පිළිවෙළින් රුපියල් 100,000ක්, රුපියල් 75,000ක් සහ රුපියල් 50,000ක් හිමිවේ. පළාත් මට්ටමින් පළාත් නවය තුළ ප්‍රථම, දෙවැනි සහ තෙවැනි ස්ථාන සඳහා පිළිවෙළින් රුපියල් 25,000ක්, රුපියල් 15,000ක් සහ රුපියල් 10,000ක් පිරිනැමේ. එමෙන්ම සිව්වැනි ස්ථානයේ සිට දහවැනි ස්ථානය දක්වා පැමිණෙන තරගකරුවන්ට කුසලතා සහතිකපත්ද පිරිනමයි.

පෙරපාසල් කාණ්ඩය සඳහා ජාතික මට්ටමේ මුල් ජයග්‍රාහකයින් තිදෙනාට රුපියල් 75,000 බැගින් ද, පළාත් මට්ටමේ මුල් ජයග්‍රාහකයින් තිදෙනාට රුපියල් 15,000 බැගින් ද ත්‍යාග පිරිනමනු ලබයි. එමගින් සෑම අදියරකදීම කැපීපෙනෙන උත්සාහයන් ඇගයීමට ලක් කරමින් නැගී එන දක්ෂතා ඉස්මතු කිරීමට සහ ඊළඟ පරපුරේ දක්ෂයන් තවදුරටත් ඉහළ ජයග්‍රහණ කරා යොමු කිරීම අරමුණු කර ගනියි.

නිර්මාණශීලීත්වය වර්ධනය කිරීමේදී පාසල් ඉටු කරන කාර්යභාරය ඇගයීමට ලක් කරමින් සෑම දිස්ත්‍රික්කයකම වැඩිම තරග නිර්මාණ සංඛ්‍යාවක් ඉදිරිපත් කරනු ලබන පාසලට රුපියල් 50,000ක මුදල් ත්‍යාගයක් පිරිනමන අතර එය කලාත්මක විභවතාවයන් වර්ධනය කිරීමට කොමර්ෂල් බැංකුව දක්වන කැපවීම තහවුරු කරයි.

මෙම තරගයට විදේශයන්හි වෙසෙන ශ්‍රී ලාංකික දරුවන්ට ද සහභාගී විය හැකි අතර එක් එක් වයස් කාණ්ඩයෙන් විදේශයන්හි සිට ඉදිරිපත් කෙරෙන හොඳම නිර්මාණ සඳහා රුපියල් 50,000ක මුදල් ත්‍යාග පිරිනමයි.

සෑම දරුවෙකුටම මෙම තරගයට සහභාගී වීමේ අවස්ථාව හිමිවන අතර කොමර්ෂල් බැංකුවේ ‘අරුණලු’ හෝ ‘ඉසුරු’ ළමා ඉතුරුම් ගිණුම් හිමි ජයග්‍රාහකයින්ට විශේෂ අතිරේක ත්‍යාග ද පිරිනමන බව බැංකුව අවධාරණය කළේය.



ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව