
කොළඹ නගරයේ සුපිරි වෙළෙඳසැල්වලට ගොඩවෙන ඔබට, ‘ස්වභාවික‘ නැතහොත් ‘නැවුම්‘ (natural and farm-fresh) මෙන්ම ප්‍රතිජීවකවලින් තොර වැනි ලේබල් සහිත කුකුළු මස් නිෂ්පාදන රැසක් නෙත ගැටී ඇතුවාට සැක නැත. නමුත් නිෂ්පාදන ඇසුරුම්වලින් ඔබ්බට ගිය කිසිදු සහතිකයක් හෝ සත්‍යාපනයක් ඔබට මුණගැසී නැති බවට ද සැක නැත. එය අපේ රටේ මාංශ ආහාර නිෂ්පාදන ක්ෂේත්‍රය තුළ ද පොදුවේ ආහාරපාන කර්මාන්තය තුළ ද දක්නට ලැබෙන ප්‍රවණතාවකි. එනම් හුදෙක් නිෂ්පාදන ඇසුරුම්වල ඇති පාඨවලට පාරිභෝගිකයා මුලාවනු ඇතැයි විශ්වාස කිරීමයි.
දශකයකට ආසන්න කාලයක් පුරා එම ප්‍රවණතාව වෙනස්කරමින් ශ්‍රී ලංකාවේ මාංශ ආහාර නිෂ්පාදන ක්ෂේත්‍රය තුළ විප්ලවීය වෙනසක් ඇතිකිරීමට නිව් ඇන්තනීස් ෆාම්ස් සමාගම කටයුතු කරමින් සිටී. එහි දැවැන්ත පිම්මක් ලෙස ස්වාධීන විශ්ව විද්‍යාල පර්යේෂණාගාරයක් වෙත තම නිෂ්පාදනවල ප්‍රමිතිය අධීක්ෂණය කිරීමටත්, සත්‍යාපනය කිරීමටත් අවසර පිරිනමා තිබේ.
ඒ අනුව නිව් ඇන්තනීස් ෆාම්ස් සමාගම 2026 පෙබරවාරි මාසයේ පේරාදෙණිය විශ්ව විද්‍යාලය සමඟ විශේෂ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබුවේ සිය ප්‍රමිතිය පිළිබඳ විධිමත් සත්‍යාපනයක් පාරිභෝගිකයින් හමුවේ තැබීමේ අරමුණිනි. ඒ අනුව ඉදිරි වසර 5ක කාලය පුරාවට ශ්‍රී ලංකාව තුළ ISO/IEC 17025 ප්‍රතීතන සහතිකය හිමි එකම පර්යේෂණාගාරයවන පේරාදෙණිය සරසවියේ පශුවෛද්‍ය සහ සත්ත්ව විද්‍යා පීඨයට අයත් ආහාර සුරක්ෂිතතා සහ ප්‍රමිති සහතිකකරණ පර්යේෂණාගාරය විසින් නිව් ඇන්තනීස් කුකුළුමස් නිෂ්පාදන ක්‍රියාවලියේ සෑම අදියරක්ම සියුම්ව නිරීක්ෂණය කරමින් ඒවායේ ප්‍රමිතිය ගැන ස්වාධීන ඇගයුමක් ලබාදෙනු ඇත. මෙහි පරමාර්ථය වන්නේ අන් කිසිවක් නොව නිව් ඇන්තනීස් කුකුළු මස් නිෂ්පාදනවල ප්‍රතිජීවක නොමැති බව ස්වාධීන මූලාශ්‍රයක් හරහා පාරිභෝගිකයින් හමුවේ තැබීම ය.
″පාරිභෝගික විශ්වාසය කිසිවෙකුගේ වචනයකට සීමා විය යුතු නැහැ. ඔවුන්ට සාක්ෂි ලැබිය යුතුයි″, යනුවෙන් මෙම අවබෝධතා ගිවිසුම අත්සන් කරන මොහොතේ නිව් ඇන්තනීස් ෆාම්ස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී නීල් සුරවීර මහතා පැවසුවේ එබැවිනි. ප්‍රතිජීවකවලින් තොර ලේබලය හුදෙක් වෙළෙඳපොළ තරගකාරීත්වය වෙනුවෙන් භාවිතකරන පසුබිමක එය සත්‍යාපනය වෙනුවෙන් භාවිත කිරීමේ පුරෝගාමී මෙහෙවරට නිව් ඇන්තනීස් සමාගම උරදී සිටී.
කර්මාන්තය තුළ දශකයක් ඉදිරියෙන්
නිව් ඇන්තනීස් සමාගම සිය කුකුළු මස් නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා ප්‍රතිජීවක භාවිතකිරීම මුළුමනින්ම අත්හිටවූයේ 2018 වසරේදී ය. වසර හතක් ගතවූ පසුව ද මුළුමනින්ම ප්‍රතිජීවක භාවිතය අත්හළ ශ්‍රී ලංකාවේ එකම මාංශ ආහාර නිෂ්පාදකයා වන්නේ ද නිව් ඇන්තනීස් සමාගමයි.
ප්‍රතිජීවකවලින් තොර කුකුළුමස් නිෂ්පාදනය යනු නිෂ්පාදන ක්‍රියාවලියට යොදාගන්නා එක් ද්‍රව්‍යයක් අත්හැරීම හෝ ඊට වෙනත් ආදේශකයක් සපයා ගැනීම වශයෙන් සුළුකොට තැකිය යුත්තක් නොවේ. එය සම්පූර්ණ ගොවිපොළ ක්‍රමවේදයම උඩුයටිකුරු කරමින් නවතම ජෛව ආරක්ෂණ ප්‍රමිතීන් භාවිතයට ගත් නව ක්‍රමවේදයකට ගමන්කිරීමකි. ප්‍රෝබයෝටික් සහ අත්‍යවශ්‍ය සාර තෙල් (essential oils) යොදාගන්නා නව සෞඛ්‍ය කළමනාකරණ ක්‍රමවේදයක් සහ ගෘහස්ථ පශු වෛද්‍ය සහ පෝෂණවේදී සේවාවක් භාවිතයට ගැනීමකි. සෑම නිෂ්පාදන ක්‍රියාවලියක්ම සඳහාම අඛණ්ඩ අධීක්ෂණයක් පවත්වාගැනීමකි.
″අපි ආරම්භ කළ මෙම නව ක්‍රමවේදය දුෂ්කර සහ වියදම් අධික වැඩපිළිවෙළක්. නමුත් එය ක්‍රියාත්මක නොකිරීම තුළින් සිදුවන්නේ මිනිස් ජීවිත අනතුරේ හෙළීමක්″, සුරවීර මහතා වැඩිදුරටත් පැහැදිලි කරයි.
මෙය ඉතාම නිරවද්‍ය ප්‍රකාශයකි. ප්‍රතිජීවක ප්‍රතිරෝධය මේ වනවිට දැවැන්ත මහජන සෞඛ්‍ය අවදානමක් බවට පත්ව තිබේ. වර්ෂ 2050 වනවිට ප්‍රතිජීවක ප්‍රතිරෝධය නිසා වාර්ෂිකව අහිමිවන ගෝලීය මිනිස් ජීවිත ප්‍රමාණය මිලියන 10ක් පමණ වනු ඇතැයි ද, ගෝලීය ආර්ථිකයටවන හානිය අමෙරිකානු ඩොලර් ට්‍රිලියන 100ක් පමණ වනු ඇතැයි ද පුරෝකථනය කර අවසන් ය. ප්‍රතිජීවක ප්‍රතිරෝධයට කෘෂිකර්ම ක්ෂේත්‍රය හරහා දැවැන්ත බලපෑමක් ඇතැයි ද, පශු සම්පත් පාලනයට ප්‍රතිජීවක යොදාගැනීම විශේෂයෙන් මෙම අවදානම ඉහළ නංවා ඇතැයි ද හෙළිදරව් වී තිබේ.
විශ්ව විද්‍යාල සහයෝගීතාවයේ අරමුණ
කෙතරම් විධිමත් ලෙස අභ්‍යන්තර අධීක්ෂණ සහ පරීක්ෂණ කටයුතු සිදුකෙරුණ ද, එ්වායේ සත්‍යතාව පිළිබඳ සැක සිතීම සාධාරණ ය. තෙවැනි පාර්ශ්වීය විගණන සහ සහතික ආයතන පැවතුණ ද, එම ආයතන ද අදාළ සමාගම් සමඟ ගනුදෙනු කරන සහ ඉදිරියටත් ගනුදෙනු කිරීමට අපේක්ෂා කරන සමාගම්වන බැවින් ඔවුන් සතුව ද වාණිජ අරමුණු පැවතිය හැක. ISO/IEC 17025 සහතිකලත් පර්යේෂණාගාර සේවාවක් සහිත පේරාදෙණිය විශ්ව විද්‍යාලය සමඟ මෙම අවබෝධතා ගිවිසුම අත්සන් කිරීමේ වටිනාකම වන්නේ එයයි.
අවබෝධතා ගිවිසුම අත්සන්කිරීමට පේරාදෙණිය විශ්ව විද්‍යාලය නියෝජනය කරමින් එහි උපකුලපති මහාචාර්ය ටෙරන්ස් මධුජිත් සහ වැඩබලන ලේඛකාධිකාරී කේ.ඒ.බී. දමුණුපොළ මහත්වරු සහභාගී වීම ද විශේෂත්වයකි. හුදෙක් ප්‍රමිති ඇගයුම් සේවාවක් ලබාගැනීම වෙනුවට දිවයිනේ ප්‍රමුඛතම පශු වෛද්‍ය විද්‍යා පීඨයේ පර්යේෂණ සහාය ලබාගැනීමට නිව් ඇන්තනීස් සමාගම පියවර ගැනීම ද කැපීපෙනෙන තත්ත්වයකි.
තව ද, මෙම අධීක්ෂණ ක්‍රියාවලිය වරක් හෝ දෙවරක් සිදුකිරීමෙන් සීමා නොවී, අඛණ්ඩව නිව් ඇන්තනීස් බ්‍රොයිලර් නිෂ්පාදන ක්‍රියාවලිය අධීක්ෂණයට ලක්කිරීම ද විශේෂත්වයකි. එනම්, බ්‍රොයිලර් නිෂ්පාදනයේ යම් කිසි අවස්ථාවක ප්‍රතිජීවක භාවිතවීමක් සිදුවුවහොත් එය දත්ත මගින් අනාවරණය වනු ඇත.
ප්‍රමිති සත්‍යාපනය වෙනුවෙන් වූ අඛණ්ඩ කැපවීම
වර්ෂ 1986දී සමාගම ආරම්භ කළ අවස්ථාවේ පටන් මේ දක්වා අඛණ්ඩව ප්‍රතීතන සහ බාහිර ප්‍රමිති සහතික හිමිකරගැනීමට නිව් ඇන්තනීස් ෆාම්ස් සමාගම සමත්ව තිබේ. නිදසුනක් ලෙස ගෝලීය ආහාර සුරක්ෂිතතා සහතිකයවන FSSC 22000 සහතිකය හිමි ශ්‍රී ලංකාවේ එකම මාංශ ආහාර නිෂ්පාදකයා වන්නේ ද නිව් ඇන්තනීස් සමාගමයි. නෙදර්ලන්තයේ Control Union මගින් පිරිනමන ISO 14064-1:2018 හරිතාගාර වායු විමෝචන සහතිකය හිමි නිව් ඇන්තනීස් සමාගම, තිරසර එක්සත් ජනපද සෝයා ලේබලය හිමිකරගත් ප්‍රථම දකුණු ආසියානු සහ උපසහරානු කලාපීය සමාගම ද වේ. ඊට අමතරව එක්සත් ජනපද ජාතික කුකුළුමස් කවුන්සිලයේ සත්ත්ව සුබසාධන සහතිකය ද සමාගම සතු ය.
ශ්‍රී ලංකාවේ පළමුවරට සියයට සියයක් ස්වභාවිකව දිරාපත්වන ඇසුරුමක් සහිත ‘හරිතහරි‘ නිෂ්පාදනය හඳුන්වාදීම ද සමාගමේ ගමන්මඟ තුළ සුවිශේෂී සන්ධිස්ථානයකි. ඒ සෑම අවස්ථාවකදීම බාහිර පාර්ශ්වයක් හරහා එම ප්‍රමිතීන් සහ තත්ත්ව සහතික සත්‍යාපනය කරතිබීම විශේෂත්වයකි.
ගොවිපොළ බිමෙන් එහාට ගිය දායකත්වය
ප්‍රතිජීවක ප්‍රතිරෝධය මැඬලීම වෙනුවෙන් නිව් ඇන්තනීස් ෆාම්ස් සමාගම ගෙනයන වැඩපිළිවෙළ එහි ගොවිපොළ ක්‍රියාවලියට පමණක් සීමාවූවක් නොවේ. 2025 නොවැම්බර් මාසයේදී සෞඛ්‍ය අමාත්‍යංශය හා එක්ව ප්‍රතිජීවක ප්‍රතිරෝධය පිළිබඳ විශේෂ සංවාද මණ්ඩපයක් සංවිධානය කිරීමට ද සමාගම මැදිහත් විය. ප්‍රතිපත්ති සම්පාදන, කර්මාන්ත, සුවසේවා, පශු වෛද්‍ය විද්‍යා සහ සංවර්ධන සහයෝගීතා ආයතන ඇතුළු ක්ෂේත්‍ර රැසක පාර්ශ්වකරුවෝ 100කට වැඩි පිරිසක් එම අවස්ථාවට සම්බන්ධ වූහ. ඊට අමතරව ප්‍රතිජීවක ප්‍රතිරෝධය පිළිබඳ විශ්ව විද්‍යාල සිසුන් මෙන්ම සිය කාර්යමණ්ඩලය ඉලක්ක කරගත් දැනුවත් කිරීමේ වැඩසටහන් ද සංවිධානය කරන ලදී.
මෙය ප්‍රතිජීවකවලින් තොර නිෂ්පාදන යනු හුදෙක් අලෙවිකරණ ක්‍රමෝපායක් ලෙස සලකන සමාගමක හැසිරීම නොවේ. පොදුවේ සමස්ත කර්මාන්තයම වෙනස් විය යුතු යැයි විශ්වාස කරන සහ එම විශ්වාසය වෙනුවෙන් සම්පත් යෙදවීමට කැමති සමාගමක හැසිරීමකි.
කර්මාන්තය හමුවේ ඇති මඟහැරිය නොහැකි ප්‍රශ්නාර්ථය
පේරාදෙණිය විශ්ව විද්‍යාලය සමඟ ඇතිකරගත් අවබෝධතා ගිවිසුම තුළින් නිව් ඇන්තනීස් සමාගම, ශ්‍රී ලංකාවේ කුකුළු මස් කර්මාන්තයේ නියුතු සෙසු සමාගම්වලට නොසලකා හැරීමට අපහසු නව මිණුම් ලකුණක් සකසා ඇත. ආහාර සුරක්ෂිතතාව සහ ප්‍රතිජීවක ප්‍රතිරෝධය පිළිබඳ පාරිභෝගික දැනුවත්භාවය වර්ධනය වන විට, ස්වාධීන සහ ප්‍රතීතනලත් රසායනාගාර සත්‍යාපනයකට යොමු විය හැකි සමාගමක් සහ එසේ සිදුනොකරන සමාගමක් අතර පරතරය පුළුල් වනු ඇත.
නිව් ඇන්තනීස් සමාගම වසර 7ක් පුරා ප්‍රතිජීවකවලින් තොර කුකුළු මස් නිෂ්පාදනය කරන පසුබිමක, වාණිජ මට්ටමින් කුකුළුමස් නිෂ්පාදනයේදී ප්‍රතිජීවක භාවිත නොකිරීම කළ හැක්කක් ද යන්න තවදුරටත් ප්‍රශ්නාර්ථයක් නොවේ. ප්‍රශ්නාර්ථය වන්නේ මෙම භාවිතාව හුදෙක් විශේෂිත වෙළෙඳපොළක් ඉලක්ක කරගත් නිෂ්පාදන ක්‍රියාවලියක් ලෙස සළකනවාද, නැතහොත් මෙරට මාංශ ආහාර නිෂ්පාදන කර්මාන්තයේ නව ප්‍රමිතියක් ලෙස ස්ථානගත කරනවා ද යන්නයි.
නිෂ්පාදන ඇසුරුමකින් සහ ලේබලයකින් පාරිභෝගික විශ්වාසය දිනාගැනීමට උත්සාහ කරන කර්මාන්ත ක්ෂේත්‍රයක් තුළ, නිව් ඇන්තනීස් සමාගම දත්ත මත පදනම්ව පාරිභෝගික විශ්වාසය දිනාගැනීමේ වඩාත් දුෂ්කර මාවත තෝරාගෙන ඇත. ශ්‍රී ලාංකික පාරිභෝගිකයින්ට මෙම වෙනස පැහැදිලිව පෙනෙනු නිසැක ය.


