MAS – බොඩිලයින් වෙතින් ශ්‍රී පාදස්ථානය පිරිසිදු කිරීමේ වැඩසටහනක්

IMG_004 MAS (LBN)

MAS සමූහයට අයත් බොඩිලයින් ආයතනය විසින් සංවිධානය කළ “ශ්‍රී පාදස්ථානය පිරිසිදු කිරීමේ වැඩසටහන “පසුගිය මැයි මස 31 වැනිදා පැවැත්වුණා. මෙවර, එනම්  2026 වසර සඳහා මෙම වැඩසටහන පැවැත්වුණේ අඛණ්ඩව තුන් වැනි වරටයි. සෑම වසරකම නිශ්චිත කාල සමයක් තුළ දේශීය බැතිමතුන් මෙන්ම  විදේශීය සංචාරකයන් ද මෙම සුවිශේෂ පුදබිම වෙත දස දහස් ගණනින් පැමිණීම නිසා  ශ්‍රී පාදස්ථානය සහ එහි ගමන් මාර්ගය පිරිසිදුව තබා ගැනීම අභියෝගාත්මක කටයුත්තක් වී තිබෙනවා. ශ්‍රී පාදස්ථානය යනු මෙරට බැතිමතුන්ට අතිශය පූජනීය ස්ථානයක් වනවා සේම  එම කලාපය සමස්ත  ශ්‍රී ලංකාව සතු පරිසර පද්ධති අතුරින්  අතිශයින්ම  වැදගත්  සංවේදී පරිසර කලාපයක් වීම ඊට හේතුවයි.  ඒ අනුව මෙම  ශ්‍රී පාදස්ථානය සහ ඒ අවට පරිසර කලාපය මතු පරපුර උදෙසා පවිත්‍රව සහ සුරැකිව තබා ගැනීම අනිවාර්ය කටයුත්තක් බව ඉතාමත් පැහැදිළි කරුණක්. මෙවරත්  බොඩිලයින් ආයතනය තුන්වැනි වරටත් ඉදිරිපත්වූයේ මෙකී ජාතික වැදගත්කමක්  සහිත උතුම් කටයුත්ත මෙහෙයවා රටටත්, පරිසරයටත්, යහපතක් ඉටුකරදීම සඳහායි.



ශ්‍රී පාදස්ථානය යනු මෙරට බැතිමතුන්ගේ නිබඳ වන්දනාවට ලක්වන පූජනීය ස්ථානයක්. එසේම ශ්‍රී පාද තරණය කිරීම යනු ඕනෑම පුද්ගලයෙකුට කිසියම්  අභියෝගයක් සහිත කර්තව්‍යක්. මේ නිසා ශ්‍රී පාද වන්දනාවේ යෙදෙන ලොකු කුඩා සෑම අයෙකුම තම ගමන සඳහා අවශ්‍ය කරන  ආහාර පාන, ඇඳුම් පැළදුම් ආදිය  සහිත ගමන් මල්ලක් රැගෙන යාම අත්‍යවශ්‍ය දෙයක් ලෙස සැළකෙනවා. අතීතයේදී “සැහැල්ලුව” ලෙස හැඳින්වූ මෙම ගමන් මල්ල මේ වනවිට “බෑගයක් හෝ බැක් පැක්” එකක් බවට පත් වී තිබීම අප කවුරුත් දන්නා කරුණක්. ඒත් සමඟම මේ වන විට ලෝකය තම ඇසුරුම් ක්‍රියාවලිය සඳහා භාවිතා කරන ප්ලාස්ටික්, පොලිතීන් හා  සම්භාණ්ඩ වැනි දේවල්ද ශ්‍රී පාද තරණය කරන පිරිස් විසින් රැගෙන යන්නේ ඉහත කී අවශ්‍යතාවන්ගේ ඇසුරුම් ලෙසයි. ඒ අනුව තම ගමනාන්තයෙන් පසුව ඒවා ඉවතලන දෑ ලෙස පරිසරයට මුදා හැරීම  බොහෝ දෙනෙකුගේ සාමාන්‍ය පුරුද්දක් වී තිබෙනවා. මේ නිසා මෑත අතීතයේ සිට ශ්‍රී පාදස්ථානය අවට එක්රැස්වන දිරාපත් නොවන අපද්‍රව්‍ය ප්‍රමාණය සීග්‍ර ලෙස වැඩි වීම අභියෝගාත්මක තත්ත්වයක්.  එසේම මෙය පසුගිය කාලය තුළ සිට  ප්‍රබල පාරිසරික ගැටළුවක් බවටද පත්වෙමින් තිබෙනවා.

ලෝකයේ මෙන්ම  අප අවට සමාජයීය පරිසරයේත් යහ පැවැත්ම වෙනුවෙන් කටයුතු කරන MAS සමූහයේ බොඩිලයින් ආයතනය මෙම ගැටළුව හඳුනාගෙන ඊට ලබාදිය හැකි  හොඳම සහ ප්‍රයෝගික විසදුම ලෙස මෙම ශ්‍රී පාදස්ථානය පිරිසිදු කිරීමේ මහඟු කර්තව්‍ය ආරම්භ කළා. මෙය හුදෙක් පිරිසිදු කිරීමේ කටයුත්තක් පමණක් නොවී ඒ හරහා සමාජය දැනුවත් කිරීමේ වගකීමක්  ලෙසද ක්‍රියාත්මක වීම සිදුවනවා. මෙම භාරදුර වගකීම පැහැදිළි මෙහෙයුමක් බවට පත්කිරීමේදී එය වඩාත්  අභියෝගාත්මක වන්නේ, ඒ සඳහා විශාල පසුබිම් වැඩකොටසක් සිදුකිරීමට තිබීම නිසායි. දහසක පිරිසක් වෙනුවෙන් ආහාරපාන, ප්‍රවාහන, වෛද්‍ය, ආරක්ෂක වැඩපිළිවෙළ, පරිපාලන කටයුතු, කණ්ඩායම් සම්බන්ධිකරණ කටයුතු, නඩත්තු සහ පිරිසිදු කිරීමේ පහසුකම් සැපයීම මෙන්ම මෙයෙයුම් සැලසුමක්ද මේ සඳහා අත්‍යවශ්‍ය වනවා. ඒ අනුව තනි ආයතනයක් විසින් ශ්‍රී ලංකාව තුල ස්වේච්ඡාවෙන්  සිදුකරන විශාලතම පිරිසිදු කිරීමේ වැඩසටහනක් ලෙසද මෙය හැඳින්විය හැකියි. MAS සමුහයේ දැක්ම සහ මූලික පරමාර්ථ වන තම සාමාජිකයන් සහ ඔවුන්ගේ සමාජ ජීවිත වඩා හොඳින් සවිබල ගැන්වීමේ සංකල්පය සමඟ මෙම කටයුත්ත ඉතා හොඳින් සමපාත වන බවද මෙහිදී මතක් කළ යුතු කරුණක්.

මෙවරත් සිරි පා සමය අවසන් වීමත් සමඟ  සම්ප්‍රදායානුකුලව උඩ මළුවේ සිට දේව ප්‍රතිමා වහන්සේ  වැඩම කරවීමෙන් අනතුරුව මෙම ශ්‍රී පාදස්ථානය  පිරිසිදු කිරීමේ වැඩසටහන ආරම්භ කෙරුණා. එසේම  මෙම පිරිසිදු කිරීමේ ක්‍රියාවලියට සහභාගී වන පිරිසෙන් බොහෝමයක් ඊට ප්‍රථම ශ්‍රී පාදය වන්දනා කරගැනීමත් සිදුවනවා. අනතුරුව කණ්ඩායම් කිහිපයක් වශයෙන් වෙන්කොටගෙන  නල්ලතන්නිය සිට සීත ගඟුල  දක්වාත්, සීත  ගඟුලේ  සිට ඉඳිකටුපහන දක්වාත්, ඉඳිකටුපහනේ  සිට උඩමළුව දක්වාත් ලෙස  ප්‍රධාන කලාප කිහිපයක් ඔස්සේ  මෙම මෙහෙයුම ක්‍රියාත්මක කිරීම විශේෂත්වයක්.

මෙවර මේ සඳහා  MAS සමූහයේ රැකියාවල නියුතු පුද්ගලයන් 1000 ක්   පමණ   සහභාගී වූ අතර එදින පිරිසිදු කිරීමේ ක්‍රියාන්විතයට යෙදවූ  මිනිස් ශ්‍රම පැය ගණන 14 000 කට අධිකයි. මේ හරහා ශ්‍රී පාදස්ථානය හා ඒ අවට පරිසරයේ දමා ගොස් තිබු  ප්ලාස්ටික් සහ පොලිතීන් ඇතුළු අපද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 5000 ක් පමණ එම කලාපයෙන් ඉවත්කිරීමට හැකිවීම  විශේෂ කරුණක්.  මෙවරත් මෙම සමස්ථ මෙහෙයුම ක්‍රියාත්මක කිරීමේදී සියළුම කණ්ඩායම් සහ අනෙකුත් සහය වන්නන්ගෙන් උපරිම සහයෝගයක් හිමි වීමද කැපී පෙනුණා.

ඒ අනුව  මෙම ශ්‍රී පාදස්ථානය පිරිසිදු කිරීමේ වැඩසටහන හරහා අනාගතයට  “පිරිසිදු ශ්‍රී පාදස්ථානයක්” උරුම කරදීමට හැකිවනවා  සේම  මෙකී පරිසර කලාපය පිරිසිදුව පවත්වාගැනීමේ වටිනාකම සමාජගත කිරීමට හැකිවීමත් මෙම වැඩසටහනෙන් ලබාගත් ප්‍රතිලාභයක් ලෙස සටහන් කළ යුතුයි. එසේම  මෙවරත් මෙම වැඩසටහන  සාර්ථක කරගැනීම සඳහා භික්ෂුන් වහන්සේලා, පොලීසිය, යුද හමුදාව, විශේෂ කාර්ය බලකාය, සෞඛ්‍ය අංශ, ප්‍රාදේශීය නිලධාරින් මෙන්ම මාධ්‍ය ආයතන ද උපරිම සහයක් ලබාදීම අගය කළ යුතු කරුණක්. අනාගතයේදී හැකි උපරිමයෙන්  බැතිමතුන් දැනුවත් කිරීමටත්, උපරිම වශයෙන් මෙම පූජනීය භුමිය පිරිසිදුව රැකගැනීමටත් කැපවීම අප සැමගේ පැතුමයි.



ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව