ජොන් කීල්ස් පදනම සහ City of Dreams එක්ව ඉදිරිපත් කරන Artist Spotlight වැඩසටහනෙන් චන්න ඒකනායකගේ ‘What Lives Between’ ජීවමාන වේ

2 (LBN)

ඇතැම් කතාන්දර පරම්පරාවෙන් පරම්පරාවට වාචිකව ගලා ගෙන යයි. තවත් සමහර කතාන්දර වාචික සන්නිවේදනයෙන් ඔබ්බට ගොස් අභිනයන්, රූපයන් ඔස්සේ ජීවමාන මතකයන් බවට පරිවර්තනය වේ. කසුන් ජයමාන්න විසින් සංවිධානය කරනු ලබන චන්න ඒකනායකයන්ගේ ‘What Lives Between’ කලා ප්‍රදර්ශනය ද නිරන්තරයෙන් දෘෂ්‍යමාන නොවන සංස්කෘතික උරුමයක් කියාපානු ලබයි. සිංහල ජන කාව්‍ය සම්ප්‍රදාය මෙන්ම ශ්‍රී ලාංකික කාන්තාවන්ගේ ජීවිත අත්දැකීම් ඇසුරු කර ගනිමින්, ලාංකේය සංස්කෘතික අනන්‍යතාවය අඛණ්ඩව පවතින ආකාරය මෙම නිර්මාණයන් ඔස්සේ මැනවින් පිළිබිඹු කරයි.




ජෝන් කීල්ස් පදනම සහ City of Dreams විසින් ඉදිරිපත් කරනු ලබන Artist Spotlight කලා වැඩසටහනේ අටවැනි අදියර ලෙස පැවැත්වෙන මෙම ප්‍රදර්ශනය, චන්න ඒකනායකගේ සුවිශේෂී නූතන කලා භාවිතය Cinnamon Life හි පුළුල් අත්දැකීමේ එක් කොටසක් වශයෙන් ඉදිරිපත් කෙරේ. ශ්‍රී ලංකාවේ වාස්තු විද්‍යාත්මක, අධ්‍යාත්මික සහ ස්වාභාවික පරිසරයන්ගෙන් ආභාසය ලබන ඔහුගේ නිර්මාණයන්, ලාංකිකයින්ට හුරුපුරුදු රූප හා හැඩතල, ජ්‍යාමිතික, වර්ණ, රිද්මයන් සහ මනා සංයමයක් මත ගොඩනැගුණු කලා සංයෝජනයන් බවට පරිවර්තනය කරයි.

‘What Lives Between’ කලා නිර්මාණ මාලාවට පාදක වූ අදහස පැහැදිලි කරමින් චිත්‍ර ශිල්පී චන්න ඒකනායක මහතා මෙසේ පවසයි. ‘‘මෙම නිර්මාණ ක්‍රියාවලිය ආරම්භ වූයේ යම් මතක සටහන් බිහි කළ පුද්ගලයින්, ස්ථාන සහ අවස්ථාවන් තවදුරටත් ජීවමාන අත්දැකීම් බවට පරිවර්තනය කිරීමේ උනන්දුවක් සමගයි. විශේෂයෙන්ම කාන්තාවන් හා සම්බන්ධ කතා සහ අත්දැකීම් පරම්පරාවෙන් පරම්පරාවට දායාද වූ මතකයන් රැසක් සිංහල ජන කාව්‍ය තුළ දක්නට ලැබෙනවා. එම සංස්කෘතික උරුමය නූතන දෘෂ්‍ය භාෂාවක් ඔස්සේ විවරණය කරමින්, අපට හුරුපුරුදු දේවල් නැවත නැවුම් ආකාරයකින් ගවේෂණය කිරීමට මට අවශ්‍ය වුණා’’

මෙම නිර්මාණාත්මක ගවේෂණය දශක දෙකකට අධික කාලයක් පුරා ඔහු වර්ධනය කරගෙන ආ කලා භාවිතයේ තවත් එක් දිගුවක් ලෙස හැඳින්විය හැකිය. 2001 වසරේදී පැවති ඔහුගේ ඒක පුද්ගල ප්‍රදර්ශනය වූ Dwellings හරහා වාස්තු විද්‍යාව සහ මිනිසාගේ වාසස්ථාන පිළිබඳ ඔහුගේ උනන්දුව පැහැදිලිව ඉස්මතු වූ අතර, පසුව නිර්මාණය වූ Silence of the Blue සහ BODHI වැනි කෘති ඔස්සේ ආධ්‍යාත්මිකත්වය, පරිසරය සහ සංස්කෘතික සංකේතවාදය වැනි තේමාවන් නිරූපණය කළේ ය. එමෙන්ම නිව්යෝර්ක්හි Aicon Contemporary හි පැවැත්වූ Islanded වැනි ජාත්‍යන්තර ප්‍රදර්ශන හරහා ශ්‍රී ලංකාවේ දෘශ්‍ය හා සංස්කෘතික පරිසරය පිළිබඳ ඔහුගේ කලාත්මක ගවේෂණය තවදුරටත් පුළුල් වූයේ ය.

What Lives Between කලා නිර්මාණ මාලාව ද මෙම කලා ගමන්මඟ තවදුරටත් ඉදිරියට ගෙන යමින්, සංස්කෘතික මතකය සහ ශ්‍රී ලාංකේය කාන්තාව පිළිබඳ අත්දැකීම වෙත ඔහුගේ අවධානය යොමු කරයි. මෙහිදී ජන කාව්‍යය යොදාගෙන ඇත්තේ එහි අර්ථයන් සෘජුවම නිරූපණය කිරීම සඳහා නොව, නිර්මාණාත්මක ආරම්භක පදනමක් ලෙසය. ඒ තුළින් ඔහු ප්‍රේක්ෂකයාට හුරුපුරුදු සංකේත සහ රූප සරල කරමින්, විවිධ අර්ථකථනයන් සඳහා අවකාශ සලසන දෘශ්‍ය භාෂාවක් නිර්මාණය කරයි.

මෙහිදී Colombo Hotels, Cinnamon Hotels & Resorts හි ජ්‍යෙෂ්ඨ උප සභාපති සහ Cinnamon Life at City of Dreams හි සාමාන්‍යාධිකාරී කමල් මුණසිංහ මහතා පවසන්නේ, මිනිසුන් සහ පරිසරය අතර සබඳතාවන් ගොඩනැගීමේහිලා කලාවට සුවිශේෂී හැකියාවක් පවතින බවයි. Artist Spotlight වැඩසටහන හරහා ශ්‍රී ලාංකේය කලාත්මක ප්‍රකාශනයන්, City of Dreams අත්දැකීම සමඟ එක් කිරීමටත්, එවන් කලාකරුවන්ගේ නිර්මාණ ප්‍රථම වරට අත්විඳින ප්‍රේක්ෂකයින් සමග සම්බන්ධ වීමටත් අවස්ථාව උදා වී තිබේ.

මෙම දැක්ම ඔස්සේ Artist Spotlight වැඩසටහන, කලාකරුවන් සහ ප්‍රේක්ෂකයන් අතර අර්ථවත් සබඳතා ගොඩනැගීමේ පුළුල් මෙහෙවරක කොටසක් බවට පත්ව තිබේ. ශ්‍රී ලාංකික කලාකරුවන්ට නව ප්‍රේක්ෂකයන්, එකතුකරන්නන් සහ කලා රසිකයන් වෙත ළඟා වීමට වේදිකාවක් සලසන මෙම වැඩසටහන, දේශීය කලා ප්‍රකාශනය ආගන්තුක සත්කාරය හා නවීන ජීවන රටාව සමඟ අත්විඳිය හැකි ‘සජීවි කලාගාරයක්’ ලෙස City of Dreams තවදුරටත් ස්ථානගත කරයි.

ජොන් කීල්ස් සමූහයේ ආයතනික සමාජ වගකීම් අංශ ප්‍රධානී කාමලීන් ජයසූරීය මහත්මිය පැවසුවේ මෙවැන්නකි. ‘‘කලාකරුවන්ට සහාය වීම තුළින් ඔවුන්ගේ නිර්මාණශීලීත්වය විවිධ ප්‍රේක්ෂකයින් හමුවට රැගෙන යාමටත්, අගය කිරීමටත් අවකාශය සැලසෙනවා. Artist Spotlight හරහා ශ්‍රී ලංකාවේ නිර්මාණශීලී ක්ෂේත්‍රය තවදුරටත් ශක්තිමත් කිරීමටත්, අපගේ සංස්කෘතිය හැඩගස්වන කතා, අනන්‍යතා සහ අත්දැකීම් පිළිබඳ සංවාදයක් ඇති කිරීමටත් ජොන් කීල්ස් පදනම අපේක්ෂා කරනවා. මෙවැනි විස්මිත කලාත්මක හැකියාවන් ඔස්සේ සංස්කෘතික අවබෝධය සහ ඇගයීම ප්‍රවර්ධනය කිරීම අපගේ අරමුණයි’’

What Lives Between හි මූලික අදහස වන්නේ සුලබව දර්ශනය වන දේවල් වලින් ඔබ්බට ගොස් අග්‍රගන්‍ය නිර්මාණ අත්විඳීමට ප්‍රේක්ෂකයින්ට ආරාධනා කිරීමයි. ජන කවිය, මතකාවර්ජනය, දෘෂ්‍යමය ස්වරූපය එකට මුසු කරමින් නිර්මාණය වී ඇති චන්න ඒකනායකයන්ගේ මෙම නිර්මාණ කාලාන්තරයක් නොනැසී පවතින කලාත්මක සංස්කෘතියක මහිමය මැනවින් කියාපානු ඇත.



ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව