පාරිසරික තර්ජනයක්, අවස්ථාවක් බවට පත්කරමින් ‘Hyacinthesis’ ව්‍යාපෘතිය ඇරඹේ

2. (LBN)

●      TFGL සහ GLX, ජාතික ජපන් ජබර ව්‍යාපෘතිය සඳහා ප්‍රථම කණ්ඩායම ප්‍රකාශයට පත් කරයි.

●      ජපන් ජබර, ශ්‍රී ලංකාවේ සැබෑ ආර්ථික වර්ධනයට දායකත්වය ලබා දීමට සූදානමින් සිටී.

  • 1909 ජපන් ජබර ආඥා පනත වෙනස් කිරීම සඳහා Hyacinthesis ව්‍යාපෘතිය, ශ්‍රී ලංකා රජය සහ පුද්ගලික අංශය සමග සාකච්ඡා පවත්වයි.

2026 ජුනි, ශ්‍රී ලංකාවේදී – The Foundation For A Good Life (TFGL) සමාගම විසින් Good Life X (GLX) සමග එක්ව, පාරිසරික තර්ජනයක් බවට පත්ව ඇති ජපන් ජබර වගකීම් සහගත ලෙස කළමනාකරණය කිරීම හරහා අගනා පුනර්ජනන අමුද්‍රව්‍යයක් ලෙස ස්ථානගත කිරීමට සක්‍රීයව මැදිහත් වෙමින් සිටී. මේ සදහා එක්සත් රාජධානියේ Scott Dunn ආයතනයත්, Conservation Collective ව්‍යාපෘතියත් සමග එක්ව, මෙම අධ්‍යයනය සහ වැඩසටහන් මාලාවට මුල්‍යමය ආධාර ලබාදේ. Lanka Environment Fund එහි දේශීය හවූල්කරු ලෙස, ඔවුන්ගේ නායකත්වය යටතේ මෙම වැඩසටහන ක්‍රියාත්මකවේ. මාස අටක කාලයක් පුරා ක්‍රියාත්මකවන, වෙළෙඳපොළ ඉලක්කකර ගත් වැඩසටහනක් ලෙස ගොඩනගා ඇති මෙම ව්‍යාපෘතිය, ශ්‍රී ලංකාවේ ශීඝ්‍ර පාරිසරික තර්ජනයක් බවට පත්ව ඇති ජපන් ජබර, තිරසර ජීවනෝපාය සහ චක්‍රීය නවෝත්පාදන මාර්ගයක් බවට පත් කිරීම වෙනුවෙන් දියත් කෙරේ.



ජපන් ජබර, ප්‍රධාන පෙළේ අමුද්‍රව්‍යයක් ලෙස භාවිත කිරීම සම්බන්ධව ශ්‍රී ලංකාව තවමත් මුල් අදියරේ සිටින අතර, නිර්මාණ ශිල්පීන්, ව්‍යවසායකයින් සහ ප්‍රජා-මූලික නවෝත්පාදකයින් කිහිප දෙනෙකු මෙම ව්‍යාපෘතියේ පළමු අදියර සඳහා තෝරා ගැනිණි. ජපන් ජබර භාවිතයෙන් දැනටමත් අත්කම් නිර්මාණ සිදුකරන ව්‍යවසාය මෙන්ම, අත්කම්, අමුද්‍රව්‍ය නවෝත්පාදනය සහ චක්‍රීය අගය දාම හරහා නව හැකියාවන් ගවේෂණය කිරීමට ජපන් ජබර තවමත් භාවිතයට නොගන්නා නමුත්, ඊට සමාන ස්වභාවික අමුද්‍රව්‍යවලින් නිෂ්පාදන සිදු කරන සංවිධාන ද එම කණ්ඩායමට ඇතුළත් වේ.

“මෙම ව්‍යාපෘතිය සඳහා තෝරාගත් පළමු කණ්ඩායම සඳහා, ශ්‍රී ලංකාවේ අත්දැකීම් බහුල ව්‍යවසායකයින් සහ ප්‍රවීණ නිර්මාණ ශිල්පීන් සමග කටයුතු කිරීමට මෙම වැඩසටහන තුළ අවස්ථාව සලසා දී තිබෙනවා. ප්‍රධාන අමුද්‍රව්‍යය ලෙස ජපන් ජබර යොදා ගනිමින්, වෙළෙඳපොළට සරිලන අත්කම්, විලාසිතා සහ ගෘහ අලංකරණ භාණ්ඩ නිෂ්පාදනය කිරීමට සහයෝගය ලබා දීම එම කණ්ඩායම විසින් සිදු කරනු ලැබේ. චක්‍රීයබව පදනම්කර ගනිමින්, අමුද්‍රව්‍ය නවෝත්පාදනය, විධිමත් ව්‍යාපාරික, සැකසුම් සහ වෙළෙඳපොළ සහයෝගීත්වය සමග මුසු කිරීම එහි ප්‍රමුඛ අරමුණයි,” යනුවෙන් The Foundation For A Good Life සමාගමේ Hyacinthesis ව්‍යාපෘතියේ ප්‍රධාන ව්‍යාපාරික විශේෂඥ ප්‍රබුද්ධ බටුවත්ත මහතා සඳහන් කළේය.

ඉතා විධිමත් තෝරා ගැනීමේ ක්‍රියාවලියකින් සහ විනිශ්චය චාරිකාවලින් අනතුරුව, දිවයින පුරා පිහිටි කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යවසාය 6 ක් මෙම වැඩසටහනේ පළමු කණ්ඩායමට තෝරා ගැනිණි.

අමුද්‍රව්‍ය නවෝත්පාදනය, විධිමත් ව්‍යාපාරික, සැකසුම් සහ වෙළෙඳපොළ සහයෝගය සමග මුසු කරමින් ජපන් ජබර ප්‍රධාන අමුද්‍රව්‍යය ලෙස යොදා ගනිමින් වෙළෙඳපොළට සරිලන අත්කම්, විලාසිතා සහ ගෘහ අලංකරණ භාණ්ඩ නිෂ්පාදනය කිරීමට දිවයින පුරා ව්‍යවසාය සහ නිර්මාණ ශිල්පීන් සමග කටයුතු කිරීම මෙම පළමු කණ්ඩායම ගොඩනැගීමේ ඉලක්කයයි.

හම්බන්තොට බෙලිඅත්තේ ව්‍යවසායිකා ටී.පී. ඉමල්කා රසාදි විසින් පවත්වාගෙන යන IMA Water Hyacinth Products, යාපනයේ නල්ලූර් ප්‍රදේශයේ රාඝුලන් කන්දසාමි විසින් පවත්වාගෙන යන Center for Alternative Technologies සංවිධානය, කුරුණෑගල ඇහැටුවැව ප්‍රදේශයේ ව්‍යවසායිකා වඩුගේ නිලූකා ජයන්ති විසින් පවත්වාගෙන යන JJ Products ව්‍යාපාරය සහ ව්‍යවසායිකා අයි. එම්. ධම්මිකා ප්‍රියදර්ශනී කුමාරි විසින් පවත්වාගෙන යන කුමාරි අත්කම් ව්‍යාපාරය ද, බිංගිරිය සිට ප්‍රදීපා මධුපානි පවත්වාගෙන යන Pradeepa Eco Products ව්‍යාපාරය සහ කළුතර, බණ්ඩාරගමින් කසුනි චමුදිකාගේ Sustain U යන නව ව්‍යාපාරය එම කණ්ඩායමට ඇතුළත් වේ. වැඩසටහන් ප්‍රධානී ලොනාලි රොද්‍රිගෝ විසින් සැපයුම් දාමය සහ අලෙවිකරණය සම්බන්ධ මූලික සිද්ධාන්ත පැහැදිලි කරමින් මෙහි පළමු වැඩමුළුව පැවත්වූ අතර ඉන් අනතුරුව, City School of Architecture (CSA ) අධ්‍යාපන ආයතනය සමග අත්වැල් බැඳ ගනිමින්, නිර්මාණ සැකසුම්කරණය පිළිබඳ වැඩමුළුවක් සංවිධාන කෙරුණි. මෙහිදී මෙම වැඩසටහනේ ජපන් ජබර නිර්මාණ ශිල්පීන් සිසුන් 10 දෙනෙක් සමග එකිනෙකාගේ අත්දැකීම් බෙදාහදා ගනිමින්, ඉගෙන ගනිමින් විවිධ නිෂ්පාදන සහ නිර්මාණ කිරීමට අවස්ථාව මෙම වැඩමුළුව හරහා අවස්ථාව ලබා දෙන ලදි. තවද, මෙම ජපන් ජබර නිර්මාණකරුවන් සඳහා, ව්‍යාපාරික සැලසුම්කරණය, වගකීම් සහගත, පරිසර හිතකාමී හා සෞඛ්‍ය ආරක්ෂිතව අමුද්‍රව්‍ය සපයා ගැනීම, නිර්මාණ සැකසුම සහ අලෙවිකරණය යන ක්ෂේත්‍ර වල මුලික සිද්ධාන්ත සහ අදාළ ප්‍රයෝගික දැනුම ද ආවරණය කරමින් අවශ්‍ය මග පෙන්වීමද ලබා දීම සිදු කෙරිණි.

ශ්‍රී ලංකාවේ ප්‍රසිද්ධ වෙළදසැල් ජාලයක්වන Lady J ආයතනයත්, ගෘහ නිර්මාණ සඳහා ප්‍රකට Pendi, Isla Homeware සහ ආලින්දය (Alindaya) ව්‍යාපාරත්, Resplendent Ceylon වැනි සංචාරක කර්මාන්තයට සම්බන්ධ ආයතනත් මෙම වැඩසටහනේ භාණ්ඩ අලෙවි සහකරුවන් ලෙස අත්වැල් බැඳගෙන සිටී.

මෙම ක්‍රියාකාරකම්වලට සමගාමීව, Hyacinthesis ව්‍යාපෘතිය 1909 ජපන් ජබර ආඥා පනත යාවත් කාලීන කිරීම සහ සංශෝධනය කිරීම සඳහා ද ප්‍රතිපත්තිමය වශයෙන් ක්‍රියාත්මක වෙමින් පවතී. එම ආඥා පනත මගින්, ජපන් ජබර ආනයනය කිරීම, සන්තකයේ තබා ගැනීම, සජීවී කොටස් ප්‍රවාහනය කිරීම සහ වගා කිරීම තහනම්කර ඇති අතර, ශාඛය මතු වූ වහාම එය විනාශ කිරීම සඳහා අවසර ලබා දී තිබේ. ආක්‍රමණශීලී ශාඛ කළමනාකරණය සහ සමාජ-ආර්ථික සංවර්ධනය යනු එකිනෙක මත ඵලදායි ලෙස පැවතිය හැකි සංසිද්ධි බව Hyacinthesis ව්‍යාපෘතිය සහ සාධනීය ලෙස තහවුරු කරමින් සිටී. දැනට පවත්නා නීතිය සංශෝධනය කිරීමේ අරමුණ පෙරදැරිව, ප්‍රතිසංස්කරණ යෝජනා සකස් කිරීම සඳහා ආචාර්ය ආනන්ද මල්ලවතන්ත්‍රී සහ ආචාර්ය චේතිකා ගුණසිරි සමග මේවන විට ද කටයුතු කරමින් සිටී. අපනයන අමුද්‍රව්‍යයක් ලෙස මෙන්ම ශ්‍රී ලාංකේය ආර්ථික වර්ධනය ශක්තිමත් කළ හැකි, තවමත් නිසි ලෙස යොදා නොගත් අමුද්‍රව්‍යයක් ලෙස ජපන් ජබර භාවිත කිරීමට ඇති හැකියාව පිළිබඳ දැනුම බෙදාහදා ගැනීම සඳහා මේවන විට අදාළ රාජ්‍ය ආයතන, දෙපාර්තමේන්තු සහ පුද්ගලික අංශය සමග සාකච්ඡා සිදු කෙරෙමින් පවතී.


ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

5 − one =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව