අමානා බැංකුව අසර්බයිජානයේදී පැවති IsDB සමූහයේ වාර්ෂික රැස්වීම් මාලාවට සහභාගී වෙයි

IsDB Photo 2

අමානා බැංකුව පසුගියදා ඉස්ලාමීය සංවර්ධන බැංකු සමූහයේ (IsDB) 2026 වාර්ෂික පාලක මණ්ඩල රැස්වීමට සමගාමීව අසර්බයිජානයේ ‘බාකු’ හිදී පැවති ‘IsDB Private Sector Forum’ වැඩසටහනට සහභාගී විය. මෙම වැඩසටහන් මාලාව අසර්බයිජාන ජනරජයේ ජනාධිපති අතිගරු ඉල්හාම් අලියෙව් සහ ඉස්ලාමීය සංවර්ධන බැංකු සමූහයේ සභාපති අතිගරු ආචාර්ය මුහම්මද් අල් ජසර් යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

AAA ශ්‍රේණිගත බහුපාර්ශ්වික සංවර්ධන ආයතනයක් වන IsDB සමූහයේ ප්‍රමුඛතම වාර්ෂික රැස්වීම වන මෙය මෙවර “තිරසාර සමෘද්ධිය සඳහා කලාපීය ඒකාබද්ධතාව” යන තේමාව යටතේ පැවැත්විණි. IsDB සමූහයේ සාමාජික රටවල් 57 ක සහ තවත් රටවල් රැසක මහ බැංකු අධිපතිවරුන්, මුදල් හා ආර්ථික අමාත්‍යවරුන්, ප්‍රතිපත්ති සම්පාදකයන්, සංවර්ධන වෘත්තිකයන් සහ මූල්‍ය ක්ෂේත්‍රයේ ප්‍රධාන පෙළේ සාමාජිකයන් ඇතුළු විශාල පිරිසක් මීට සහභාගී වූහ. සාමාජික රටවලට බලපාන ප්‍රධාන සංවර්ධන ගැටළු සාකච්ඡා කිරීම සඳහා අවස්ථාව උදා කර දෙන මෙම වාර්ෂික රැස්වීම හා සමුළුව, ඵලදායී කතිකාවන්, දැනුම් හුවමාරුව සහ ක්‍රමෝපායික හවුල්කාරිත්වයන් සඳහා ප්‍රධානතම වේදිකාවක් බවට පත් වී තිබේ.




දින හතරක් පුරා පැවති මෙම වැඩසටහනට මෙවර ආයතන ප්‍රධානීන් 46 දෙනෙකු සහ කලාපීය සහ ජාත්‍යන්තර සංවිධාන ගණනාවක නියෝජිතයන් ඇතුළුව රටවල් 78 ක් නියෝජනය කරමින් 4,400 කට අධික පිරිසක් සහභාගී වූහ. රැස්වීම් අතරතුර සාමාජික රටවල්, කලාපීය ආයතන සහ පෞද්ගලික අංශයේ හවුල්කරුවන් සමඟ ඇමරිකානු ඩොලර් බිලියන 6 ක සමස්ත වටිනාකමකින් යුත් ගිවිසුම් 67 ක් අත්සන් කරන ලදි.

ශ්‍රී ලංකාව IsDB සමූහයේ සාමාජික රටක් නොවූවද, IsDB සමූහය අමානා බැංකුවේ බහුතර කොටස් හිමිකාරීත්වය දරයි. මුස්ලිම් සුළුතරයක් සහිත රටක සාර්ථක ලෙස ඉස්ලාමීය බැංකුකරණ සම්ප්‍රදාය ස්ථාපිත කිරීමට සහ දියුණු කිරීමට අමානා බැංකුව සමත් වූ ආකාරය පිළිබඳ තොරතුරු ඉදිරිපත් කිරීම සඳහා මෙම සමුළුවට අමානා බැංකුවටද ආරාධනා කරන ලද අතර, සංවර්ධන කේන්ද්‍රීය සහ මානුෂ හිතවාදී ප්‍රවේශයක් තුළින් ආචාරධාර්මික සහ සැමට විවෘත මූල්‍ය සේවා සැපයීමට අමානා බැංකුව පියවර ගෙන ඇති ආකාරය කෙරෙහි සියල්ලන්ගේ අවධානය යොමු විය. මීට අමතරව, අමානා බැංකුව ආරම්භක අනුග්‍රාහකයා ලෙස කටයුතු කරන OrphanCare භාරයේ සාර්ථකත්වය පිළිබඳ තොරතුරු සමුළුවට ඉදිරිපත් කිරීමටද මෙහිදී අවස්ථාව ලැබිණි. OrphanCare යනු දෙමාපිය රැකවරණය අහිමි දරුවන්ගේ අනාගතය සුරක්ෂිත කරමින් ඔවුන් වැඩිහිටියන් වූ පසු සමාජය තුළ දෙවැනි වරටත් අත්හැර දමනු ලැබීමේ අවදානම අවම කිරීම අරමුණු කරගත් සමාජ මෙහෙවරකි. එක්සත් ජාතීන්ගේ ළමා අයිතිවාසිකම් පිළිබඳ සම්මුතියේ 2 වන වගන්තිය අනුව, ජාතිය, ආගම, කලාපය හෝ ජනවාර්ගිකත්වය යනාදී කිසිදු භේදයක් මෙම වැඩසටහන තුළදී සැලකිල්ලට ගනු නොලැබේ.

අමානා බැංකුව නියෝජනය කරමින් එහි කළමනාකාර අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී මොහොමඩ් අස්මීර්, ජ්‍යෙෂ්ඨ උප සභාපති (ව්‍යාපාර බැංකුකරණ) ඉර්ෂාඩ් ඉක්බාල්, සහකාර උප සභාපති (අලෙවිකරණ සහ ආයතනික සන්නිවේදන) ආසිම් ​​රාලි සහ කළමනාකරු (ක්‍රමෝපායික හා තිරසාරත්ව) මස්නවි රූමි යන මහත්වරු මෙම සමුළුවට සහභාගී වූහ.

“මෙම ගෞරවණීය ඉසව්වේදී නැවත වරක් අමානා බැංකුවේ සාර්ථකත්වය ප්‍රදර්ශනය කිරීමට අවස්ථාව ලැබීම අපට මහත් සතුටක්. ලොව පුරා විසිරී සිටින පාර්ශ්වකරුවන් අතර සහයෝගීත්වය වර්ධනය කිරීම, දැනුම බෙදාගැනීම සහ ව්‍යාපාරික හවුල්කාරීත්වයන් නිර්මාණය කිරීම සඳහා IsDB Private Sector Forum මඟින් ඉටු වන මෙහෙවර සුවිශාලයි. සාමාජික නොවන රටක ක්‍රියාත්මක වන බැංකුවක් ලෙස, ඉස්ලාමීය බැංකුකරණයේ උන්නතිය වෙනුවෙන් අප ලබාදෙන දායකත්වය ලෝකය සමඟ බෙදා ගැනීමට මෙන්ම, අපගේ ප්‍රමුඛතම ආයතනික සමාජ වගකීම් වැඩසටහන වන OrphanCare භාරයේ ප්‍රගතිය පිළිබඳ තොරතුරු ඉදිරිපත් කිරීමට හැකි වීම අපට හිමි වූ විශේෂ ගෞරවයක්. මෙම වැඩසටහන් මාලාව පුරාම වෙළඳ කටයුතු, සම්බන්ධතා, බලශක්තිය, ආහාර සුරක්ෂිතතාව, ඉස්ලාමීය මූල්‍ය සේවාවන්, පෞද්ගලික අංශයේ වර්ධනය, දේශගුණික ක්‍රියාකාරකම් සහ ඩිජිටල් පරිවර්තනය යනාදී තේමා ඔස්සේ සිදුකෙරුණු සාරගර්භ සාකච්ඡා මගින් නැගී එන අවස්ථා සහ අභියෝග පිළිබඳ වටිනා අවබෝධයක් අපට ලැබුණා. එමඟින් තිරසාර සහ සැමට විවෘත වූ ප්‍රගතියක් වෙනුවෙන් අප තුළ වූ කැපවීම තවදුරටත් ශක්තිමත් වූ බවට මා විශ්වාස කරනවා,” යනුවෙන් අමානා බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී මොහොමඩ් අස්මීර් මහතා පැවසීය.

අමානා බෑන්ක් පීඑල්සී යනු ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍රලාභී, කොළඹ කොටස් හුවමාරුවේ ලියාපදිංචි සමාගමකි. එහි ප්‍රධාන කොටස්කරු වන IsDB සමූහය යනු ‘AAA’ ශ්‍රේණිය හිමි, රටවල් 57 ක සාමාජිකත්වයන් සහිත බහුපාර්ශ්වීය සංවර්ධන මූල්‍ය ආයතනයකි. පොලී රහිත බැංකුකරණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛ පෙළේ ආයතනයක් ලෙස සිය ස්ථාවරය සනාථ කරමින් අමානා බැංකුව ආසියානු බැංකුකරුවන්ගේ ආයතනය වෙතින් ලොව ප්‍රබලතම ඉස්ලාමීය බැංකු 50 අතරින් එකක් ලෙස අඛණ්ඩව පිළිගැනීමට ලක් වී ඇත.

අමානා බැංකුව සතුව වෙනත් උප සමාගම්, හවුල්කාර සමාගම් හෝ අනුබද්ධ සමාගම් නොමැති අතර, එය OrphanCare භාරයේ ආරම්භක අනුග්‍රාහකයා ලෙස කටයුතු කරයි


ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව