HNB 2021 මුල් මාස 9 සඳහා ශක්තිමත් මූල්‍ය ප‍්‍රතිඵල වාර්තා කරයි

eda854874f1e5d4d12ce03901936c263_collage7_450

 




 

 

  • බැංකුවේ බදු පෙර ලාභය රුපියල් බිලියන 14.7 – බදු පසු ලාභය රුපියල් බිලියන 12.2
  • සමූහයේ  බදු පෙර ලාභය රුපියල් බිලියන 16.4 – බදු පසු ලාභය රුපියල් බිලියන 13.4
  • දළ ණය ප‍්‍රමාණය රුපියල් බිලියන 900 ඉක්මවයි
  • ක‍්‍රියාකාරී නොවන දළ වත්කම්  3.92% දක්වා වර්ධනයක්
  • ශක්තිමත් ප‍්‍රාග්ධනයක් හා ද්‍රවශීලතා අනුපාතයක් පවත්වා ගෙන ඇත
  • ණය සහන දීමනා හා බෙදා හැරීම් තුළින් ව්‍යාපාර දියුණුවට අඛණ්ඩ සහාය
  • බිම් මට්ටමේ ආර්ථිකය නගා සිටුවීම වෙනුවෙන් වූ සිය කැපවීම යළිත් අවධාරණය කරයි

2021 සැප්තැම්බර් මාසයෙන් අවසන් වූ මාස 9ක කාල සීමාව සඳහා රුපියල් බිලියන 12.2ක බදු පසු ලාභයක් වාර්තා කිරීමට හැටන් නැෂනල් බැංකුව (HNB) සමත් වූයේ නම්‍යශීලී ව්‍යාපාරික ආකෘතියක් හා අඛණ්ඩ තිරසාර ව්‍යාපාර ආකෘතියක් වෙනුවෙන් වූ සිය කැපවීම යළි යළිත් අවධාරණය කරමිනි. මේ අතර අදාල කාල සීමාව සඳහා HNB සමූහය රුපියල් බිලියන 13.4 බදු පසු ලාභයක් වාර්තා කිරීමට සමත්ව ඇත.

පසුගිය මාස 12ක කාලය තුළ රුපියල් බිලියන 118ක වර්ධනයක් සමඟ සිය ණය කළඹ 15%ක පමණ සාර්ථක වර්ධනයක් අත්කර ගැනීමට HNB සමත් වී තිබේ. විශේෂයෙන් 2021 අගෝස්තු මාසයේදී සිදු කළ සංශෝධනයන් තුළින් ප‍්‍රතිපත්ති අනුපාතයන් හි ඉහළ යාමෙන් පසු ප‍්‍රමුඛ ණය අනුපාතය (PLR) ද ඉහළ යන ලදී. කෙසේවෙතත් මෙම වසරේ ජනවාරි සිට සැප්තැම්බර් දක්වා කාලය තුළ සාමාන්‍ය ප‍්‍රමුඛ ණය දීමේ අනුපාතය 2020 වසරේ අදාළ කාල පරිච්ජේදය තුළ පැවති සාමාන්‍ය අනුපාතයට වඩා දළ වශයෙන් පදනම් ලක්ෂ 300කින් පහළ යාමක් පෙන්නුම් කරයි. එහි ප‍්‍රතිඵලයක් ලෙස පසුගිය වසරට සාපේක්ෂව මාස 9ක කාලය සඳහා වූ පොලී ආදායම 8.9%කින් පහළ ගොස් රුපියල් බිලියන 72.5 ක් බවට පත් විය.

සැප්තැම්බර් මාසය වන විට රුපියල් බිලියන 52.9කින් ඉහළ ගොස් රුපියල් බිලියන 436.6ක් දක්වා වර්ධනය වූ CASA හි ක‍්‍රියාකාරීත්වය හේතුවෙන් තැන්පතුවල සාමාන්‍ය පිරිවැයෙහි සමානත්වයක් දැකිය හැකි වූ අතර ඒ හේතුවෙන් පසුගිය වසරට සාපේක්ෂව පොළී වියදම 19.3%කින් අඩු වී රුපියල් බිලියන 37ක් විය. එහි ප‍්‍රතිඵලයක් ලෙස ශුද්ධ පොළී ආදායම (NII) 5.2%කින් වර්ධනය වී රුපියල් බිලියන 35.6ක් බවට පත් වී ඇත. 2020 සැප්තැම්බර් මාසයේ සිට මාස 12ක් පුරා සමස්ත තැන්පතුවල වර්ධනය 15%ට අඩු අගයක් පවත්වා ගෙන යාමට බැංකුව සමත්ව ඇති අතර මේ සඳහා ජංගම ගිණුම් හා ඉතුරුම් ගිණුම් පොළිය අතර වෙනස මනාව කළමනාකරණය කර ගැනීමද ඉවහල් වී ඇත.

තෙවන කාර්තුවේ මූල්‍ය ප‍්‍රතිඵල සම්බන්ධයෙන් අදහස් දැක්වූ HNB සභාපතිනී අරුණි ගුණතිලක මහත්මිය සඳහන් කර සිටියේ ‘‘සීඝ‍්‍රයෙන් වෙනස් වෙමින් පවතින සාර්ව ආර්ථික තත්වයන් තුළ HNB විසින් අඛණ්ඩව එකම අරමුණක් හා ස්ථාවරත්වයක් ප‍්‍රදර්ශනය කිරීමට සමත්වීම පිළිබඳව ඉතාමත් සතුටුයි. අපගේ විශ්වාසවන්ත ගනුදෙනුකරුවන්ගේ අඛණ්ඩ දායකත්වය හා විවිධ අභියෝග ජය ගැනීම වෙනුවෙන් වන HNB කණ්ඩායමේ උත්සාහය හා කැපවීම සම්බන්ධයෙන් ඔවුන් සියලූ දෙනාට මගේ ස්තුතිය මේ මොහොතේ පුද කර සිටිනවා.’’ යනුවෙනි.

ශ‍්‍රී ලංකාව යළි යථා තත්වට පත්වීමේ මාවතට අවතීර්ණ වීමේදී සාර්ව ගැටළු විසඳීමට මෙන්ම ස්ථාවරත්ව හා තිරසාර ආර්ථික වර්ධනය වෙනුවෙන් ඔවුන්ගේ සහයෝගය ඉහළ නැංවීම සඳහා බැංකු ක්ෂේත‍්‍රයට හිතකර පරිසරයක් නිර්මාණය කිරීමට අවශ්‍ය පියවර ගනිමින් සිටින බව මගේ විශ්වාසයයි. එසේම අපගේ ගනුදෙනුකරුවන් වෙනුවෙන් අවශ්‍ය සහයෝගය ලබා දීමට මෙන්ම රටේ සංවර්ධනය වෙනුවෙන් දායක වීමට HNB අඛණ්ඩව කටයුතු කරන බවද මෙහිදී සඳහන් කළ යුතුයි.’’ යනුවෙන් ඇය වැඩිදුරටත් පැවසුවාය.

පසුගිය කාලය පුරා සිදු වූ රට වසා තැබීමේ තත්වයන් හේතුවෙන් 2021 වසරේ ව්‍යාපාරික කටයුතු වලට වරින් වර බාධා එල්ල වුවද, ගාස්තු හා කොමිස් ආදායම 22.8%කින් ඉහළ නංවා ගනිමින් රුපියල් බිලියන 6.7ක් දක්වා වර්ධනය කර ගැනීමට බැංකුව සමත් වූ අතර විශේෂයෙන්ම ඩිජිටල් ව්‍යාපාරික සේවාවන් මත පදනම් වූ ගාස්තු හා කොමිස් සමග කාඞ්පත් හා වෙළෙඳ ව්‍යාපාර ද ශක්තිමත් වර්ධනයක් පෙන්නුම් කරන ලදී.

මෙම මූල්‍ය ප‍්‍රතිඵල පිළිබඳව අදහස් දැක්වූ HNB කළමනාකාර අධ්‍යක්ෂ/ප‍්‍රධාන විධායක නිළධාරී ජොනතන් අලස් මහතා සඳහන් කර සිටියේ ‘‘දිගු කාලයක් පුරා පැවති දැඩි අවිනිශ්චිත කාල පරිච්ෙඡ්දයක් තුළ ශ‍්‍රී ලංකාව් බැංකු ක්ෂේත‍්‍රයේ ඔරොත්තු දීමේ හැකියාව මනාව පෙන්නුම් කර තිබෙනවා. දේශීය වශයෙන් ඉතා වැදගත් කාර්යභාරයක් ඉටු කරන සුවිශේෂී වානිජ බැංකුවක් ලෙස ඉහළ වත්කම් තත්වයක්, ප‍්‍රාග්ධන හා ද්‍රවශීලතා මට්ම් වාර්තා කරමින් යහපත් හා තිරසාර ප‍්‍රතිලාභ ලබා දෙමින් HNB නිරන්තරයෙන් පුරෝගාමී මෙහෙවරක යෙදෙන බවත් මෙහිදී සඳහන් කළ යුතුයි’’ යනුවෙනි.

 

 

 



 

 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව