HNB සිය ඉදිරි මෙහෙයුම් සාර්ථකව පවත්වාගෙන යාමට නව අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් දෙදෙනෙක් පත් කරයි

HNB Non Executive Directors (LBN)

ශ‍්‍රී ලංකාවේ පුද්ගලික අංශයේ ප‍්‍රමුඛතම පාරිභෝගික බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව සිය අධ්‍යක්ෂ මණ්ඩලය සඳහා බැංකු ක්ෂේත‍්‍රයේ කීර්තිමත් ප‍්‍රවීණයින් දෙදෙනෙකු පත් කළ බව පසුගියදා නිවේදනය කළේය. HNB හි ස්වාධීන විධායක නොවන අධ්‍යක්ෂවරුන් ලෙස එසේ පත්කරනු ලැබුවේ එස්. රෙන්ගනාදන් සහ නන්ද ප‍්‍රනාන්දු යන මහත්වරුන්ය.

 



 

ශ‍්‍රී ලාංකේය බැංකු ක්ෂේත‍්‍රයේ සුවිසල් පරිවර්තනයකට නායකත්වය දුන් රෙන්ගනාදන් මහතා දශක 4කට වැඩි පළපුරුද්දක් සහිත විශිෂ්ට වෘත්තිකයෙකි. කොමර්ෂල් බැංකුවේ හිටපු කළමනාකාර අධ්‍යක්ෂ/ප‍්‍රධාන විධායක නිලධාරීවරයා වූ ඒ මහතා ජාත්‍යන්තර අත්පත් කර ගැනීම් හා ව්‍යාප්තිය සම්බන්ධයෙන් ප‍්‍රසිද්ධියක් උසුලන්නෙකි. මීට පෙර ඒ මහතා සීමාසහිත ලංකා මූල්‍ය සේවා කාර්යංශයේ සහ ශ‍්‍රී ලංකා බැංකු සංගමය (ගැරන්ටි) ලිමිටඞ් හි අධ්‍යක්ෂවරයකු ලෙසද කටයුතු කර ඇත.

ලංකා සේව්‍ය සම්මේලනයේ කවුන්සිල සාමාජිකයෙකු මෙන්ම බි‍්‍රතාන්‍ය සමඟ ව්‍යාපාර සඳහා වන කවුන්සිලයේ විධායක සභිකයකු ද වන ඒ මහතා ශ‍්‍රී ලංකා ජාත්‍යන්තර වාණිජ මණ්ඩලයේ උප සභාපතිවරයා ලෙසත් ලංකා වාණිජ මණ්ඩලයේ විධායක සභිකයකු ලෙසත් කටයුතු කර ඇත. මේ වන විට ජාත්‍යන්තර වාණිජ මණ්ඩලයේ ශ‍්‍රී ලංකා ප‍්‍රතිපත්ති උපදේශක කමිටුවේ සාමාජිකයකු ලෙසත්, ශ‍්‍රී ලංකා අධ්‍යක්ෂවරුන්ගේ ආයතනයේ සාමාජිකයකු ලෙසත් කටයුතු කරන ඒ මහතා ශ‍්‍රී ලංකා ඉන්දියානු සංගමයේ උප සභාපතිවරයා ලෙසද කටයුතු කරනු ලබයි.

එක්සත් රාජධානියේ වරලත් කළමනාකරණ ගණකාධිකාරී ආයතනය (FCMA), වරලත් ගෝලීය කළමනාකරණ ගණකාධිකාරී ආයතනය CGMA), එක්සත් රාජධානියේ ලන්ඩන් බැංකුකරණ හා මූල්‍ය ආයතනයේ මෙන්ම ශ‍්‍රී ලංකා බැංකරුවන්ගේ ආයතනයේ සාමාජිකයකු වන රෙන්ගනාදන් මහතා දේශීය හා ජාත්‍යන්තර වශයෙන් සුවිශේෂී නායකත්ව, කළමනාකරණ හා බැංකු පුහුණුවීම් ලබා ගෙන ඇත.

රෙන්ගනාදන් මහතා සන්ෂයින් හෝල්ඩිංග්ස්, සන්ෂයින් හෙල්ස්කෙයාර්, Agility Innovations (පුද්) සමාගම, ජනශක්ති ඉන්ෂුවරන්ස්, සිලෝන් හොස්පිටල්ස්, Lina Spiro  (පුද්) සමාගම, Healthguard (පුද්) සමාගම යන ආයතනවල ස්වාධීන විධායක නොවන අධ්‍යක්ෂවරයකු ලෙස ද කටයුතු කරන අතර දම්රෝ හෝල්ඩිංග්ස් ලිමිටඞ් හි මෙන්ම Marino Leisure හෝල්ඩිංග්ස් ලිමිටඞ් හි සභාපතිවරයා ලෙසද කටයුතු කරයි.

සම්පත් බැංකුවේ හිටපු කළමනාකාර අධ්‍යක්ෂවරයා ලෙස සුවිසල් දැක්මකින් යුතුව කටයුතු කිරීම සම්බන්ධයෙන් කීර්තියක් අත්පත් කරගෙන ඇති නන්ද ප‍්‍රනාන්දු මහතා HNB හි ස්වාධීන හා විධායක නොවන අධ්‍යක්ෂවරයකු ලෙස පත්වෙමින් තමන් සතු දැනුම සහ අත්දැකීම් HNB හි සාර්ථකත්වය වෙනුවෙන් ආයෝජනය කරනු ඇත. නව්‍යකරණ බැංකු තාක්ෂණයන් හා පාරිභෝගික සේවා ක‍්‍රියාත්මක කිරීම වෙනුවෙන් මූලිකත්වය ගෙන කටයුතු කර ඇති නන්ද ප‍්‍රනාන්දු මහතා ශ‍්‍රී ලංකා බැංකුකරුවන්ගේ ආයතනයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයෙකු වන අතර ඉන්දියාවේ සිකිම් මනිපායි විශ්වවිද්‍යාලයෙන් ව්‍යාපාර පරිපාලනය පිළිබඳව ශාස්ත‍්‍රපති උපාධියක්ද හිමිකර ගෙන ඇත.

මේ වන විට මූල්‍ය සැලසුම්කරණ හා උපදේශන සේවා සැපයීම සිදු කරන සමාගමක් වන Professional Business Consultants හි කළමනාකාර අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කරන නන්ද ප‍්‍රනාන්දු මහතා Haycarb PLC, Dipped Products PLC, Hayleys Fabric PLC, Lanka Bangla Finance PLC සහ Lanka Bangla Securities PLC හි අධ්‍යක්ෂවරයකුද වේ.

මෙම අධ්‍යක්ෂ මණ්ඩල පත්වීම් සමඟින් බැංකුවක් ලෙස HNB හි නායකත්වය තවදුරටත් ඉහළ නැංවීමට මෙන්ම විශිෂ්ටත්වය හා නවෝත්පාදනය වෙනුවෙන් බැංකුවේ කැපවීම ශක්තිමත් කිරීමටත් හැකියාව උදා වනු ඇත.

 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව