මූලික අයවැයට ඇතුළත් නොවන විශ්‍රාමික දිවියේ සෞඛ්‍ය වියදම්

Capture

විශ්‍රාම දිවිය සැලසුම් කිරීමේදී බොහෝ දෙනෙකු සිය දෛනික වියදම් පිළිබඳව පමණක් දැඩි අවධානය යොමු කළද, අනපේක්ෂිත රෝගාබාධ සහ ඉහළ යන වෛද්‍ය වියදම් සඳහා මූල්‍යමය සැලසුමක් ඇති කර ගැනීමට එතරම් උනන්දු නොවෙයි.

විශ්‍රාමික ජීවිතයේදී සෞඛ්‍ය සේවා සඳහා වන වියදම් අහඹුවක් නොව, එය බොහෝ දෙනෙකුට අනිවාර්යයෙන්ම මුහුණ දීමට සිදුවන විශාල මූල්‍ය අර්බුදයකි. සුළු සෞඛ්‍ය අපහසුතාවයකදී සාමාන්‍ය වෛද්‍යවරයෙකුගේ සිට විශේෂඥ වෛද්‍ය ප්‍රතිකාර, පරීක්ෂණ සහ දිගුකාලීන ඖෂධ සඳහා දැවැන්ත මුදලක් වැයවීමෙන් විශ්‍රාමිකයන්ගේ මූල්‍ය සුරක්ෂිතතාව බරපතළ අභියෝගයකට ලක්වනු ඇත.




විශ්‍රාම සැලසුම් කිරීමේදී බොහෝ දෙනා නොසලකා හරින ප්‍රධාන වියදම සෞඛ්‍ය සේවා වියදම්ය. දශක තුනක අත්දැකීම් ඇති සෙලින්කෝ ලයිෆ් සමාගම පෙන්වා දෙන්නේ, විශ්‍රාමිකයන්ගේ සෞඛ්‍ය වියදම් සහ ඒ සඳහා ඇති මූල්‍ය සූදානම අතර පරතරය දිනෙන් දින වැඩිවෙමින් පවතින බවයි.

සෙලින්කෝ ලයිෆ් හි ජ්‍යෙෂ්ඨ සහකාර සාමාන්‍යාධිකාරී/අලෙවිකරණ ප්‍රධානී, ඩිරන්ජන් කනගසබේ මහතා ප්‍රකාශ කළේ බොහෝ දෙනෙක් සෞඛ්‍ය සේවාවේ වැදගත්කම  අවබෝධ කරගත්තද ඒ සඳහා ප්‍රායෝගිකව මූල්‍යමය සැලසුම් සකස් කරන්නේ ඉතාමත් කලාතුරකින් බවයි.  වසර ගණනාවක් පුරා රක්ෂණ ඔප්පුහිමියන් දහස් ගණනක් ඇසුරින් අප ලැබූ අත්දැකීම් අනුව, විශ්‍රාම දිවියේදී මුහුණ දීමට සිදුවන විශාලතම මූල්‍යමය ගැටළුව වන්නේ හුදෙක් මූල්‍යමය ඉතිරිකිරීම් අවසන් වීම නොව කලින් බලාපොරොත්තු නොවූ රෝගාබාධවලට හෝ දිගුකාලීන සෞඛ්‍ය ගැටලුවලට අධික වියදමක්  දැරීමට සිදුවීමයි. එමෙන්ම මෙරට තුළ ක්‍රියාත්මක වන රාජ්‍ය සෞඛ්‍ය පද්ධතිය කාර්යක්ෂම වුවද, දශක ගණනාවක් තිස්සේ නිදන්ගත රෝගවලින් පෙළෙන වයෝවෘද්ධ ජනගහනයක් නඩත්තු කිරීමට එම සේවාව ප්‍රමාණවත් නොවන බව ඔහු පෙන්වා දුනි. එසේ නම් එම හිස්තැන පිරවීම තමන් සතු වගකීමක්  බවත් ඒ සඳහා කල්තියා සැලසුම් කරන තරමටම ජීවිතය කළමනාකරණය කර ගැනීම ඉතා පහසු වන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.

සෞඛ්‍ය පද්ධතියේ සූදානමටත්  වඩා වේගයෙන් වයසට යන ශ්‍රී ලංකාවේ ජනගහනය 

2042 වන විට ශ්‍රී ලාංකිකයන් හතර දෙනෙකුගෙන් එක් අයෙකු වයස අවුරුදු 60 ඉක්මවූ අයෙකු වනු ඇත. මෙලෙස ආයු අපේක්ෂාව ඉහළ යාමත් සමඟ සාමාන්‍යයෙන් වසර 17ක විශ්‍රාමික ජීවිතයක් ගත කිරීමට සිදුවන අතර, වයසත් සමඟ සෞඛ්‍ය අවශ්‍යතා සහ වෛද්‍ය වියදම් ද සැලකිය යුතු ලෙස ඉහළ යනු ඇත.

ශ්‍රී ලංකාවේ සංක්‍රාමික නොවන රෝග හේතුවෙන් සිදුවන මරණ සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇත. විශේෂයෙන් දියවැඩියාව, හෘද රෝග, අධි රුධිර පීඩනය, වකුගඩු රෝග සහ පිළිකා වැනි රෝග සඳහා දිගුකාලීන ප්‍රතිකාර අවශ්‍ය වන අතර, ඒ සඳහා විශ්‍රාමිකයින්ට දිගුකාලීන පිරිවැයක් දැරීමට සිදුවනු ඇත.

2025 දෙසැම්බර් මාසයේ යාවත්කාලීන කළ ලෝක බැංකු දත්ත වලට අනුව, ශ්‍රී ලංකාව සිය දළ දේශීය නිෂ්පාදිතයෙන් 4.4%ක් පමණ සෞඛ්‍ය වියදම් සඳහා වෙන් කරන අතර, එය ලෝක සාමාන්‍යය අගය වන 6.74% ට වඩා බෙහෙවින් අඩුය. රජයේ පොදු සෞඛ්‍ය වියදම වනුයේ මහා රජයේ වියදමින් 8% සිට 9% දක්වා ප්‍රමාණයක් පමණි. රාජ්‍ය සෞඛ්‍ය පද්ධතියෙන්  ලබාදෙන සේවාවන්  සහ වයෝවෘද්ධ ජනතාවට අවශ්‍ය සේවාවන්  අතර පවතින පරතරය  තවමත් දක්නට ඇති අතර අනාගතයේදී මෙම පරතරය සැලකිය යුතු ලෙස තවතවත් පුළුල් වනු නොඅනුමානයි.

විශ්‍රාමිකයෙකු සඳහා නොමිලේ හිමිවන සෞඛ්‍ය සේවාව යනුවෙන් අදහස් වන්නේ කුමක්ද

ශ්‍රී ලංකාවේ නොමිලේ රාජ්‍ය සෞඛ්‍ය සේවාව අගය කළ යුතු නමුත්, වර්තමානයේ එය බරපතළ අභියෝග රැසකට මුහුණ දෙමින් සිටියී.

ප්‍රතිපත්ති අධ්‍යයන ආයතනයේ දත්ත අනුව, ශ්‍රී ලංකාවේ ප්‍රාථමික සෞඛ්‍ය සේවා ප්‍රවේශය 2019 සිට 2022-2023 දක්වා අඩුවී ඇති අතර, එහි වැඩිම බලපෑම ගම්බද ජනතාවට එල්ල වී ඇත. නිවාසවල සෞඛ්‍ය වියදම් ඉහළ යාම, ඖෂධ හිඟය, දිගු පෝලිම් සහ විශේෂඥ වෛද්‍යවරුන්ගේ හිඟය සෞඛ්‍ය පද්ධතියේ පවතින අභියෝග වේ. විශේෂයෙන් නිදන්ගත රෝගවලින් පෙළෙන වැඩිහිටියන්ට මෙම තත්ත්වය හේතුවෙන් අනපේක්ෂිත ලෙස විශාල මුදලක් තම ඉතිරිකිරීම්වලින් වැය කිරීමට සිදුවේ.

අධ්‍යයනවලට අනුව, ශ්‍රී ලාංකික නිවාසවලින් 60%කට වැඩි ප්‍රමාණයක් දැනටමත් පෞද්ගලික සෞඛ්‍ය සේවා සඳහා වියදම් කරයි. නිදන්ගත රෝගවලින් පෙළෙන වැඩිහිටියන් සිටින පවුල්වල මෙම මූල්‍ය බර තවත් ඉහළ යන අතර රාජ්‍ය සෞඛ්‍ය පද්ධතියේ පවතින පීඩනය සහ ඉහළ යන පෞද්ගලික වෛද්‍ය වියදම් හේතුවෙන් විශ්‍රාමිකයන්ගේ මූල්‍ය සුරක්ෂිතභාවය දැඩි අභියෝගයකට ලක්ව තිබේ. මෙය බොහෝ විශ්‍රාමිකයන් මුහුණ දෙන සැබෑ ආර්ථක අභියෝගයයි.

නිදන්ගත රෝග හේතුවෙන් විශ්‍රාමිකයන් මුහුණ දෙන නිහඬ ආර්ථික අභියෝගය 

දෙවන වර්ගයේ දියවැඩියාව වැනි නිදන්ගත රෝගයකින් පෙළෙන විශ්‍රාමිකයෙකුට එක්වරක් පමණක් නොව, දිගුකාලීන වෛද්‍ය වියදම් රැසකට මුහුණ දීමට සිදුවේ. මාසික ඖෂධ, නිරන්තර රුධිර පරීක්ෂණ, විශේෂඥ වෛද්‍ය උපදෙස්, වාර්ෂික සෞඛ්‍ය පරීක්ෂණ සහ හදිසි රෝහල්ගත වීම් ඒ අතර වේ. එක් එක් වියදම කළමනාකරණය කළ හැකි වුවද, වසර 15කට වැඩි කාලයක් පුරා එකතුවන විට එය විශ්‍රාමිකයෙකුට දැඩි මූල්‍ය බරක් බවට පත්වේ.

එමෙන්ම, මෙය EPF අරමුදල් සහ පවුලේ සාමාජිකයන්ගේ සහාය මත රඳා පවතින ඔවුන්ගේ දිගුකාලීන ඉතිරිකිරීම්වලට දැඩි බලපෑමක් එල්ල කරමින්, බරපතළ ආර්ථික අර්බුදයකට ද හේතු විය හැකිය.

පවුලේ සහයෝගය තවදුරටත් නොමැති විම

වෛද්‍ය වියදම් සාමාන්‍ය උද්ධමනයට වඩා වේගයෙන් ඉහළ යාම විශ්‍රාමිකයන්ට ඇති මූල්‍ය අවදානම තවත් වැඩි කරයි. අද වැය වන සෞඛ්‍ය වියදම අනාගතයේදී එම මට්ටමේ ම පවතිනු ඇතැයි අපේක්ෂා කළ නොහැක. වර්තමාන මිල ගණන් මත පමණක් සැලසුම් කරන විශ්‍රාමිකයන්ට, සැබෑ සෞඛ්‍ය වියදම් සහ තමන් සූදානම් කළ මුදල අතර විශාල පරතරයකට මුහුණ දීමට සිදුවිය හැකිය. එබැවින්, විශ්‍රාම සැලසුම් කිරීමේදී සෞඛ්‍ය වියදම්වල අනාගත මූල්‍ය වෙනස් වීම් ද සැලකිල්ලට ගැනීම අත්‍යවශ්‍ය වේ.

වර්තමානයේ පවුලේ සාමාජිකයන්ගේ සහාය මත පමණක් විශ්‍රාමික ජීවිතය ගත කිරීම දුෂ්කර වී ඇත. ආර්ථික අර්බුදය, ජීවන වියදම් ඉහළ යාම සහ තරුණ පරපුරේ විදේශගත වීම හේතුවෙන් පවුල් රැකවරණය තවදුරටත් ස්ථිර සහතිකයක් නොවේ. විශේෂයෙන් ග්‍රාමීය විශ්‍රාමිකයන්ට සීමිත සෞඛ්‍ය පහසුකම් හේතුවෙන් නගර වෙත ගමන් කිරීමට සිදුවන අතර, ප්‍රවාහන, නවාතැන් සහ අමතර වියදම් ද දැරීමට සිදුවේ. මේ නිසා ඔවුන්ගේ සෞඛ්‍ය සහ මූල්‍ය සුරක්ෂිතභාවය තවත් අභියෝගයට ලක් කරයි.

අනපේක්ෂිත සෞඛ්‍ය වියදම් සඳහා පූර්ව සැලසුම

වයස්ගත වීමත් සමඟ ඇතිවන සෞඛ්‍ය වියදම් බොහෝ විශ්‍රාම සැලසුම්වල ප්‍රමාණවත් ලෙස සැලකිල්ලට නොගැනීම තවත් ප්‍රධාන කරුණකි. වයස වැඩිවීමත් සමඟ නිදන්ගත රෝග, දිගුකාලීන ඖෂධ, විශේෂඥ ප්‍රතිකාර සහ රෝහල්ගත වීමේ අවශ්‍යතා වැඩි වේ. එහෙත්, බොහෝ දෙනා මේ සඳහා වෙනම මූල්‍ය සූදානමක් නොමැතිව රාජ්‍ය සෞඛ්‍ය සේවාව හෝ පවුලේ සහාය මත යැපෙති. වර්තමාන ආර්ථික හා සමාජ තත්ත්වයන් හමුවේ එම ක්‍රමය තවදුරටත් ස්ථාවර විසඳුමක් නොවන බැවින්, විශ්‍රාමය දිවියට පෙර සෞඛ්‍ය වියදම් සඳහා නිසි සැලසුමක් සකස් කිරීම අත්‍යවශ්‍ය වේ.

සෞඛ්‍ය සේවා වියදම් සඳහා වෙනම සැලසුමක් නොමැති විශ්‍රාම සැලැස්මක් සම්පූර්ණ එකක් ලෙස සැලකිය නොහැක. විශ්‍රාම දිවියේ ආදායම් අවශ්‍යතා සහ සෞඛ්‍ය වියදම් එකිනෙකට වෙනස් අභියෝග වන බැවින්, ඒ සඳහා වෙනස් සැලසුම් අවශ්‍ය වේ. එබැවින් සෞඛ්‍ය ආරක්ෂාව සහ මූල්‍ය සුරක්ෂිතභාවය සඳහා කල්තියා සැලසුම් කිරීම අත්‍යවශ්‍ය වන අතර මේ පිළිබඳ ජනතාව දැනුවත් කිරීම සඳහා සෙලින්කෝ ලයිෆ් විසින් 2026 වසර පුරා ජාතික විශ්‍රාමික දැනුවත් කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරමින් සිටීයි.

විශ්‍රාම දිවියේ සෞඛ්‍ය සේවා අවශ්‍යතා සඳහා සැලසුම් කළ යුත්තේ රෝග විනිශ්චයක් ලැබුණු අවස්ථාවේදී නොවේ. එය අප නිරෝගීව සිටින කාලයේදීම ආරම්භ කළ යුතු අනාගත සැලසුමක් බව මෙමගින් පැහැදිලි වේ.


ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව