
ශ්‍රී ලංකා ණය තොරතුරු කාර්යාංශය සංවිධානය කළ වාර්ෂික ප්‍රධාන විධායක නිලධාරීන්ගේ සම්මේලනය සහ ආයතනික ශ්‍රේණිගත කිරීමේ සම්මාන උළෙල 2026 “ ජාතික ප්‍රගතිය සඳහා ණය තොරතුරු තාක්ෂණය” යන තේමාව යටතේ පසුගියදා සාර්ථකව පැවැත්විණි. මෙරට ණය තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ අනාගත ගමන්මග පිළිබඳව දැනුවත් කිරීම මෙහි ප්‍රධාන අරමුණ විය. මෙම අභිමානනීය උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා සහභාගී විය.
මෙම විශේෂ අවස්ථාවට බැංකු, බැංකු නොවන මූල්‍ය ආයතන, රක්ෂණ සමාගම්, විදුලි සංදේශ සහ ප්‍රධාන උපයෝගිතා සේවා සම්පාදකයින් ඇතුළු මූල්‍ය හා ආයතනික ක්ෂේත්‍රයේ ප්‍රධාන විධායක නිලධාරීන් සහ ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වය එක්ව සිටියහ.
මෙම විශේෂ අවස්ථාවට CRIB සභාපති කේ. ජී. පී. සිරිකුමාර මහතා සහ අධ්‍යක්ෂ/සාමාන්‍යාධිකාරී පුෂ්පික ජයසුන්දර මහතා ද සහභාගී වූ අතර, ඩිජිටල් ආර්ථිකය පිළිබඳ ජනාධිපති ප්‍රධාන උපදේශක ආචාර්ය හාන්ස් විජයසූරිය මහතා විසින් විශේෂ දේශනයක් ද මෙහිදී පවත්වන ලදී.
උත්සවසභාව ඇමතූ ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා, “නූතන මූල්‍ය පද්ධතියක පදනම වන්නේ විශ්වාසය, විනිවිදභාවය සහ තත්‍ය කාලීන දත්ත භාවිතයයි. ඩිජිටල් පරිවර්තනය, කෘතිම බුද්ධිය (AI) සහ විකල්ප දත්ත මූලාශ්‍ර ඔස්සේ CRIB වැනි ආයතන, දත්ත අසමමිතිය මගහරවා ගනිමින් ණය අවදානම් අවම කිරීමට පමණක් නොව, ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්, තරුණ ව්‍යවසායකයින් සහ ග්‍රාමීය ප්‍රජාව මූල්‍ය පද්ධතියට අන්තර්ග්‍රහණය කිරීමට ද සක්‍රීයව දායක වෙනවා. අපගේ මූල්‍ය ක්ෂේත්‍රය වැඩිවශයෙන් දත්ත මත පදනම් වන බැවින්, යහපාලනය, දත්ත රහස්‍යභාවය සහ වගකීම්සහගත AI ප්‍රමිතීන් පවත්වා ගැනීම දීර්ඝකාලීන මූල්‍ය ස්ථාවරත්වයට අත්‍යවශ්‍යයි.” පවසා සිටින ලදී.
CRIB සභාපති කේ. ජී. පී. සිරිකුමාර මහතා අදහස් දක්වමින්, “ශ්‍රී ලංකාවේ මූල්‍ය ක්ෂේත්‍රය, ඇපකර මත පදනම් වූ සාම්ප්‍රදායික ණය ලබා දීමේ ක්‍රමවේදයෙන් මිදී, අවදානම් මත පදනම් වූ ඇගයීම් දෙසට ගමන් කරමින් තිබෙනවා. මෙම පසුබිම තුළ බැංකු පද්ධතියේ ස්ථාවරත්වය රඳා පවතිනුයේ විශ්වාසදායක, උසස් තත්ත්වයේ දත්ත මතයි. CRIB ආයතනය බහු-ක්ෂේත්‍ර දත්ත පද්ධතියක් බවට පරිවර්තනය වීම තුළින්, මූල්‍ය ආයතනවලට වඩාත් සුදුසු සහ වගකීම්සහගත ණය තීරණ ගැනීමට මග පෑදෙන අතර, එය අවසානයේදී රටේ සමස්ත ආර්ථික වර්ධනය වේගවත් කිරීමට හේතු වේ.” යැයි සඳහන් කළේය.
මෙම උත්සවයේ සුවිශේෂිතම සංධිස්ථානයක් වූයේ ‘MyCRIB ජංගම යෙදුම’ නිල වශයෙන් එළිදැක්වීමයි. මෙය මෙරට ජනතාව මූල්‍ය පද්ධතියට අන්තර්ග්‍රහණය කිරීම සහ ණය සාක්ෂරතාව ඉහළ නැංවීම උදෙසා තැබූ දැවැන්ත පියවරකි. මෙම ඇප් එක මගින් පුද්ගලික ණය වාර්තා සහ ණය ලකුණු සඳහා තත්‍ය කාලීන, බාධාවකින් තොර ප්‍රවේශයක් හිමිවේ. පාරිභෝගිකයින්ට සෘජුවම භාවිත කළ හැකි ජංගම යෙදුමක් පිරිනමන ලොව ණය තොරතුරු කාර්යාංශ කිහිපය අතරට එක්වීමට CRIB ආයතනය මෙහිදී සමත් විය. මෙම යෙදුම හරහා තමන්ගේ ණය තොරතුරු ආරක්ෂිතව පරීක්ෂා කිරීම, ගැටලු නිරාකරණය කරගැනීම, තෙවන පාර්ශවයන් වෙත ණය වාර්තා ලබාදීම සහ අධ්‍යාපනික තොරතුරු මධ්‍යස්ථානයක් භාවිත කිරීමේ හැකියාව හිමිවේ.
CRIB හි අධ්‍යක්ෂ/සාමාන්‍යාධිකාරී පුෂ්පික ජයසුන්දර මහතා අදහස් දක්වමින් පවසා සිටියේ, “MyCRIB ජංගම යෙදුම එළිදැක්වීමත් සමඟින්, පාරිභෝගිකයින්ට ඔවුන්ගේ ණය වාර්තා සහ ණය ලකුණු සඳහා ආරක්ෂිත, එසැණින් ලැබෙන ප්‍රවේශයක් ලබා දෙන ලොව ණය තොරතුරු කාර්යාංශ කිහිපය අතරට CRIB එක්වෙනවා. අපගේ ජාතික ණය දත්ත පද්ධතිය ශක්තිමත් කිරීම තුළින්, සමස්ත ශ්‍රී ලංකාව පුරා තීරණ ගැනීමේ ක්‍රියාවලිය වැඩිදියුණු කෙරෙන විශ්වාසනීය, දත්ත මත පදනම් වූ තොරතුරුවලින් ණය දෙන ආයතන මෙන්ම පාරිභෝගිකයින් ද බලගැන්වීමට අපට හැකියාව ලැබී තිබෙනවා.”
ඩිජිටල් ආර්ථිකය පිළිබඳ ජනාධිපති ප්‍රධාන උපදේශක ආචාර්ය හාන්ස් විජයසූරිය මහතා සිය ප්‍රධාන දේශනයේදී මෙසේ අවධාරණය කර සිටියේ, “CRIB ආයතනය විසින් සිදුකර ඇත්තේ ‘අවදානම’ යන්න ‘විශ්වාසය’ බවට පරිවර්තනය කිරීමයි. පුරවැසි අත්දැකීම් ඩිජිටල් යටිතල පහසුකම් පද්ධතියකට ඇතුළත් කිරීම මගින්, අපි සාම්ප්‍රදායික ඇපකර මත පදනම් වූ ණය ක්‍රමවේදයෙන් මිදී දත්ත සහ AI මත පදනම් වූ විශ්වාසනීය ඇගයීම් දෙසට ගමන් කරමින් සිටිනවා. මෙය ක්ෂුද්‍ර හා කුඩා පරිමාණ ව්‍යාපාරිකයින්ට මෙන්ම සාමාන්‍ය පුරවැසියන්ට ද ආර්ථිකයේ ඉහළ තලය සමඟ සමගාමීව ගනුදෙනු කිරීමටත්, ශ්‍රී ලංකාවේ ඩිජිටල් ආර්ථිකය සැබෑ ලෙසම බලගැන්වීමටත් මග පාදයි.”
දත්ත පාලනය, දත්තවල නිවැරදිභාවය සහ ගුණාත්මකභාවය සම්බන්ධයෙන් ආයතනික විශිෂ්ටතාව ඇගයීමට ලක් කරමින්, CRIB ආයතනය විසින් ආයතනික ශ්‍රේණිගත කිරීමේ සම්මාන උළෙල ද මෙහිදී පවත්වන ලදී. උසස් දත්ත ගුණාත්මකභාවය, පාලනය, නියාමන අනුකූලතාව සහ ණය දත්ත කළමනාකරණයේ විශිෂ්ටත්වය පෙන්නුම් කළ ආයතන සඳහා සම්මාන ප්‍රදානය කිරීම එදින සිදු කරන ලදී.


