හේලීස් සෝලා වේයන්ගොඩින් ජාතික විදුලි බල පද්ධතියට මෙගාවොට් 3ක් එක් කරයි!

Image 01 (LBN)

මෙගාවොට් 300 භූමිය මත ඉදි කරන ලද සූර්ය බලශක්ති ව්‍යාපෘති මාලාවේ පළමු ව්‍යාපෘතිය නිල වශයෙන් ජාතික විදුලිබල පද්ධතියක එක් වෙයි

ශ්‍රී ලංකාවේ අංක 01 සූර්ය බලශක්ති විසඳුම් සපයන්නා වන හේලීස් ෆෙන්ටන්ස් (Hayleys Fentons) හි සූර්ය බලශක්ති අංශය වන හේලීස් සෝලා (Hayleys Solar), සිය පුනර්ජනනීය බලශක්ති ගමනේ සුවිශේෂී සංධිස්ථානයක් සනිටුහන් කරමින් වේයන්ගොඩ මෙගාවොට් 3ක භූමිය මත ඉදිකළ සූර්ය බලශක්ති ව්‍යාපෘතිය (Veyangoda Ground-Mounted Solar Project), ගරු බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා නිල වශයෙන් විවෘත කළේය.




ශ්‍රී ලංකාව පුරා ක්‍රියාත්මක කරනු ලබන මෙගාවොට් 300ක දැවැන්ත භූමිය මත ඉදිකෙරෙන සූර්ය බලශක්ති ව්‍යාපෘති මාලාවේ පළමුවෙන්ම ජාතික විදුලිබල පද්ධතියට එක් කරන ව්‍යාපෘතිය මෙය වන අතර, එමඟින් විශාල පරිමාණයේ පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති සිදු කිරීමට Hayleys Solar සතු හැකියාව තවදුරටත් තහවුරු කෙරේ.

වසර 150කට ආසන්න අභිමානවත් ඉතිහාසයකට හිමිකම් කියන හේලීස් සමූහය (Hayleys Group), ක්ෂේත්‍ර 17ක් පුරා පැතිරුණු ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම විවිධාංගීකරණය වූ සමූහ ව්‍යාපාරයකි. හේලීස් සෝලා (Hayleys Solar) ආයතනය ක්‍රියාත්මක වනු ලබන්නේ එම සමූහයට අයත් හේලීස් ෆෙන්ටන්ස් (Hayleys Fentons) ආයතනය යටතේ ය.තිරසාර නවෝත්පාදනය සහ ජාතිය ගොඩනැඟීම උදෙසා හේලීස් සමූහය දක්වන කැපවීමට අනුකූලව, සිය පුනර්ජනනීය බලශක්ති ආයෝජන තවදුරටත් පුළුල් කිරීම මෙම වේයන්ගොඩ ව්‍යාපෘතිය මඟින් මැනවින් පිළිඹිබු වේ.

අත්තනගලු ඔයට ආසන්නව පිහිටා ඇති මෙම ව්‍යාපෘති භූමිය, අධික වර්ෂාපතන කාලවලදී මතුවිය හැකි ගංවතුර තත්ත්වයන් ඇතුළු පාරිසරික අභියෝගවලට සාර්ථකව මුහුණ දිය හැකි පරිදි විශේෂයෙන් සැලසුම් කර ඇත. වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ඓතිහාසික දත්ත ඇසුරින් සිදුකරන ලද සවිස්තරාත්මක අධ්‍යයනයකින් පසුව, ව්‍යාපෘතියේ සුරක්ෂිතභාවය සහ පැවැත්ම තහවුරු කිරීම සඳහා උසින් වැඩි කළ පදනම් කණු (Elevated mounting structures), ආරක්ෂිත උසකින් සවිකළ ඉන්වර්ටර් (Elevated inverters) සහ විශේෂිත කේබල් පද්ධති යොදාගැනීමට හේලීස් සෝලා කටයුතු කර තිබේ.

ශ්‍රී ලංකාවේ බලශක්ති පරිවර්තනය සඳහා පෞද්ගලික අංශයේ දායකත්වයේ ඇති වැදගත්කම පෙන්වා දෙමින් බලශක්ති අමාත්‍ය ගරු අනුර කරුණාතිලක මහතා මෙසේ පැවසීය:

“ශ්‍රී ලංකාව සඳහා සුරක්ෂිත සහ තිරසාර බලශක්ති අනාගතයක් ගොඩනැගීම සඳහා පෞද්ගලික අංශයේ වැඩි දායකත්වයක් ලබාගන්නා අතරම පුනර්ජනනීය බලශක්ති හැකියාවන් උපරිමයෙන් භාවිත කිරීම අවශ්‍ය වෙනවා. ආයෝජන, නවෝත්පාදන සහ දේශගුණික අභියෝගවලට ඔරොත්තු දෙන විසඳුම් එකට එකතු වී මෙවැනි ජාතික ප්‍රමුඛතාවයන්ට සහාය විය හැකි ආකාරය මෙවැනි ව්‍යාපෘති මඟින් මැනවින් තහවුරු වෙනවා. අපගේ පුනර්ජනනීය බලශක්ති ධාරිතාව ශක්තිමත් කරමින් වඩාත් තිරසාර ශ්‍රී ලංකාවක් නිර්මාණය කිරීමට දායක වන මෙවැනි මුලපිරීම් තවදුරටත් ඉදිරියට ගෙන යන ලෙස අපි ඉල්ලා සිටිනවා.”

 

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා මේ පිළිබඳ අදහස් දක්වමින් මෙසේ පැවසීය:

“වේයන්ගොඩ මෙම සූර්ය බලශක්ති ව්‍යාපෘතිය මඟින් පිළිඹිබු වන්නේ අපගේ පරිසරයේ පවතින සැබෑ තත්ත්වයන්ට සහ අභියෝගවලට සාර්ථකව මුහුණ දිය හැකි පුනර්ජනනීය බලශක්ති විසඳුම් නිර්මාණය කිරීමට අප සතු හැකියාවයි. දේශගුණික විපර්යාසයන්ට ඔරොත්තු දෙන ඉංජිනේරු තාක්ෂණය සහ නව ඉඩම් භාවිත ක්‍රමවේද එකට ඒකාබද්ධ කිරීමෙන්, අභියෝගාත්මක භූමි තත්ත්වයන්ට සාර්ථකව මුහුණ දීමට මෙන්ම පවතින ඉඩමෙන් උපරිම ඵලදායිතාවයක් ලබාදෙන සූර්ය බලශක්ති පද්ධතියක් නිර්මාණය කිරීමට අපට හැකි වුණා.”

මෙම ව්‍යාපෘතිය මෙගාවොට් 3ක AC ධාරිතාවයකින් සහ මෙගාවොට් පැය 4,143.36ක DC ධාරිතාවයකින් සමන්විත වන අතර, ඒ සඳහා දෙපැත්තෙන්ම විදුලිය උත්පාදනය කළ හැකි වොට් 640 ඉහළ කාර්යක්ෂමතාවයෙන් යුතු (Bifacial) සූර්ය පැනල භාවිත කර ඇත. මෙමඟින් වසරකට  විදුලි ඒකක කිලෝවොට්පැය (kWh) 6,351,770.88ක් පමණ ජාතික විදුලි බල පද්ධතියට එකතු කිරීමට අපේක්ෂිත අතර, වසරකට වායුගෝලයට එකතු වන කාබන්ඩයොක්සයිඩ් (CO₂) ප්‍රමාණය ටොන් 4,339.53කින් පමණ අවම කිරීමටද දායක වේ.

පොළොවේ සිට මීටර් 2.7ක පමණ (අඩි 9කට ආසන්න) උසකින් පැනල සවිකර තිබීම නිසා, පැනලවලට පහළින් ඇති භූමියද ඵලදායී ලෙස භාවිත කිරීමට අවස්ථාව සැලසී ඇත. නව්‍ය ‘කෘෂි-සූර්ය බලශක්ති සංකල්පයට’ (Agrivoltaics) අනුකූලව, මෙම භූමිය තුළ බලශක්ති උත්පාදනයට අමතරව නයිමිරිස් සහ වම්බටු වැනි එළවළු වගාවන් සඳහාද ඉඩකඩ සලසා දී තිබීම විශේෂත්වයකි.

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂක – බලශක්ති, රොෂේන් පෙරේරා මහතා මේ පිළිබඳ අදහස් දක්වමින් මෙසේ සඳහන් කළේය:

“එකම ඉඩමකින් ප්‍රතිලාභ කිහිපයක් ලබාගන්න පුළුවන් හොඳම උදාහරණයක් තමයි මේ වේයන්ගොඩ ව්‍යාපෘතිය. පැනල උසින් සවිකර තිබීම නිසා ගංවතුරෙන් සිදුවන හානි අවම වන අතරම, හොඳින් වාතය සංසරණය වීම නිසා පද්ධතිය සිසිල් වී එහි කාර්යක්ෂමතාවද ඉහළ යනවා. එමෙන්ම Bifacial තාක්ෂණය හරහා පොළොවෙන් පරාවර්තනය වන හිරු එළියෙන් පවා විදුලිය නිපදවිය හැකියි. මෙයට එකතු කළ කෘෂි-සූර්ය බලශක්ති සංකල්පය මඟින් පුනර්ජනනීය බලශක්ති උත්පාදනය සහ කෘෂිකර්මාන්තය එකට සාර්ථකව ඉදිරියට ගෙන යා හැකි බව පැහැදිලි වෙනවා.”

ශ්‍රී ලංකාව තිරසාර බලශක්ති අනාගතයක් කරා ගෙන යන ගමන තවදුරටත් ශක්තිමත් කරමින්, දේශගුණික අභියෝගවලට ඔරොත්තු දෙන, තිරසාර සහ නව්‍ය පුනර්ජනනීය බලශක්ති විසඳුම් ඉදිරියටම ගෙන යාමට Hayleys Solar මෙසේ නිරන්තරයෙන් කැපවී සිටියි.

මෙම සූර්ය බලශක්ති ව්‍යාපෘතිය පිළිබඳ වැඩිදුර තොරතුරු ලබා ගැනීමට 011 2 102 102 අංකය ඔස්සේ Hayleys Solar ඇමතීමට හෝ www.hayleyssolar.com වෙබ් අඩවියට පිවිසීමට හැක.



ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව