
නවෝත්පාදනයන් ඔස්සේ ගොඩනැගුණු ව්යාපාර වෙත ප්රාග්ධනය, ක්ෂේත්රයේ ප්රමුඛයන්ගේ සබඳතා සහ ජාත්යන්තර අවස්ථා උදාකර දෙමින්, First Capital Startup Nation by Hatch Demo Day 2026 වැඩසටහනේදී නැගී එන ආරම්භක ව්යාපාර 10ක් සිය ව්යාපාරික සංකල්ප සාර්ථකව ඉදිරිපත් කරන ලදී.
ඔක්තෝබර් 1 වන දින Trace Expert City පරිශ්රයේදී පැවැති මෙම Demo Day හිදී, 2026 වැඩසටහනට සහභාගී වූ ව්යවසායකයින් සිය ව්යාපාරික ආකෘතීන් විනිශ්චය මණ්ඩලයක්, ආයෝජකයින්, ව්යාපාරික ක්ෂේත්රයේ ප්රමුඛයින්, මාධ්ය සහ මෙරට ආරම්භක ව්යාපාර පද්ධතියේ නියෝජිතයින් හමුවේ ඉදිරිපත් කළහ. ජනශක්ති සමූහයේ (JXG) සාමාජිකයෙකු වන First Capital Holdings PLC සමාගමේ ප්රාග්ධන වෙළෙඳපොළ පිළිබඳ සුවිශේෂී හැකියාවන්, මෙරට ආරම්භක ව්යාපාර පද්ධති ක්රියාකාරී Hatch ආයතනයේ පළපුරුද්ද සමඟ එක් කරමින්, නැගී එන ව්යාපාර වෙනුවෙන් වඩාත් සාර්ථක මංපෙත් විවර කිරීම සඳහා First Capital Startup Nation by Hatch වැඩසටහන ක්රියාත්මක කරනු ලබයි.
ශ්රී ලංකාව, නේපාලය, ඉන්දියාව සහ බංග්ලාදේශය යන රටවල් හතර ආවරණය කරමින්, මෙවර වැඩසටහන සිය කලාපීය නිරූපණය තවදුරටත් පුළුල් කර ඇත. දකුණු ආසියාව පුරා සිටින නැගී එන ව්යාපාරිකයින් එකම වේදිකාවකට එක්කරන මෙම වැඩසටහන හරහා, සිය දේශීය සීමාවන්ගෙන් ඔබ්බට ගොස් නව අවස්ථා, සබඳතා ජාලයන් මෙන්ම ජාත්යන්තර වෙළෙඳපොළට පිවිසීමට ද ව්යවසායකයින්ට ප්රබල පිටිවහලක් ලැබෙනු ඇත.
මෙම Demo Day අවස්ථාව හරහා සහභාගී වූ ව්යාපාරිකයින්ට සිය අදහස් හා නිෂ්පාදන හුදෙක් සංවර්ධන මට්ටමේ සිට වෙළෙඳපොළ අවස්ථා වෙත යොමු කිරීමට මහඟු පිටිවහලක් ලැබිණි. එමෙන්ම, ඔවුන්ගේ මීළඟ වර්ධන අදියරට සහය විය හැකි ආයෝජකයින්, ව්යාපාරික නායකයින් සහ ක්ෂේත්රයේ පාර්ශ්වකරුවන් සමඟ සෘජුව අදහස් හුවමාරු කර ගැනීමට ද අවස්ථාව හිමි විය. මෙහිදී සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, තෝරාගත් හොඳම ආරම්භක ව්යාපාර 3 සඳහා විශේෂිත ප්රාග්ධන ආයෝජන වටයකට පිවිසීමේ අවස්ථාව හිමි වූ අතර, එහිදී සෘජු ආයෝජන ලබාගැනීම වෙනුවෙන් සිය ව්යාපාරික සැලසුම් ඉදිරිපත් කිරීමට ඔවුන්ට ඉඩ සැලසේ.
මීට අමතරව, කලාපීය වශයෙන් ව්යාප්ත වීමට සූදානම් ශ්රී ලාංකේය ආරම්භක ව්යාපාර සඳහා ආයෝජනය කිරීම වෙනුවෙන්, රුපියල් බිලියන 3ක ‘HLAB’ සාමූහික අරමුදල හඳුන්වා දීමට ද Hatch ආයතනය මෙහිදී කටයුතු කළේය. First Capital Holdings PLC සමාගම රුපියල් මිලියන 300ක මූලික ප්රාග්ධන දායකත්වයක් සපයන මෙම අරමුදල, Lankan Angel Network සහ BOV Capital ආයතනයන්ගේ සහයෝගීතාවයෙන් ක්රියාත්මක වේ.
මේ පිළිබඳව අදහස් දක්වමින් First Capital Holdings PLC හි කළමනාකාර අධ්යක්ෂ/ප්රධාන විධායක නිලධාරී දිල්ෂාන් වීරසේකර මහතා මෙසේ පැවසීය. “ශ්රී ලංකාවේ ව්යවසායකත්ව වර්ධනයේ මීළඟ අදියර තීරණය වන්නේ අප නිර්මාණය කරන අලුත් අදහස් මතම පමණක් නෙවෙයි, එම අදහස් ප්රාග්ධනය, ක්ෂේත්රයේ විශේෂඥතාව සහ වෙළෙඳපොළ සමඟ සම්බන්ධ කිරීමට ඇති හැකියාව මතයි. First Capital Startup Nation by Hatch හරහා අප උත්සාහ කරන්නේ නැගී එන ව්යාපාරවලට අවශ්ය සම්පත් සහ සබඳතා ජාලයන් වෙත පහසුවෙන් ළඟාවීමට මගපෑදීමටයි. ජනශක්ති සමූහයේ සාමාජිකයෙකු ලෙස, ප්රාග්ධන වෙළෙඳපොළ පිළිබඳ First Capital සතු ගැඹුරු අවබෝධය භාවිත කරමින් ශ්රී ලංකාවේ අනාගත ව්යාපාරික පරම්පරාව සවිබල ගැන්වීමට ලැබීම පිළිබඳව අපි ඉතා සතුටු වෙනවා.”
මෙම උත්සවයේ ප්රධාන දේශනය පවත්වමින් ඩිජිටල් ආර්ථිකය පිළිබඳ ජනාධිපති ප්රධාන උපදේශක ආචාර්ය හාන්ස් විජයසූරිය මහතා මෙසේ පැවසීය. “ගෝලීය ඩිජිටල් ආයෝජන ආකර්ෂණය කරගැනීමට ශ්රී ලංකාව සතු පැහැදිලි හැකියාව ප්රධාන පදනම් දෙකක් මත ගොඩනැගී තිබෙනවා. එනම්, අප සතු උසස් තත්ත්වයේ මානව සම්පත සහ ජාත්යන්තර මට්ටමේ විශ්වාසනීය නියාමන රාමුවයි. 2030 වන විට ඇමෙරිකානු ඩොලර් බිලියන 15ක ඩිජිටල් ආර්ථිකයක් කරා යන ගමනේදී, ඇමෙරිකානු ඩොලර් බිලියන 25ක පමණ සමස්ත වටිනාකමක් නිර්මාණය වන අතර, එය ආයෝජකයින්ට මෙන්ම නවෝත්පාදකයින්ට ද සුවිශේෂී අවස්ථාවක්. ළඟදීම හඳුන්වා දීමට නියමිත ප්රාග්ධන සංචලතා පහසුකම් (Capital Mobility) හරහා, දේශීය ආරම්භක ව්යාපාරවලට සිය ප්රධාන මධ්යස්ථානය ශ්රී ලංකාව තුළ තබාගනිමින් කලාපීය වශයෙන් ව්යාප්ත වීමට මගපෑදෙනවා. එමෙන්ම, ඩිජිටල් ව්යාපාර වෙනුවෙන් වන ‘වර්චුවල් විශේෂ ආර්ථික කලාපයක්’ (Virtual SEZ) සහ විද්යුත් වත්කම් සේවා සපයන්නන් (Virtual Asset Service Providers) වෙනුවෙන් වන නියාමනයන් ද ඉදිරියේදී ක්රියාත්මක කිරීමට කටයුතු යොදා තිබෙනවා.”
මෙම වැඩසටහන මගින් ජාත්යන්තර තලයට පිවිසීමේ දොරටු ද විවර වේ. ඇමෙරිකාවේ Pegasus Ventures ආයතනය සංවිධානය කරන ‘Startup World Cup’ ගෝලීය තරගාවලියේ නිල කලාපීය හවුල්කරු ලෙස First Capital Startup Nation by Hatch ආයතනය කටයුතු කරයි. ඒ අනුව, මෙවර තරගාවලියේ ජයග්රාහී ආරම්භක ව්යාපාරයට ලබන නොවැම්බර් මාසයේදී ඇමෙරිකාවේ සැන් ෆ්රැන්සිස්කෝ නුවර පැවැත්වෙන ‘Startup World Cup’ අවසන් තරගාවලියට සහභාගී වීමේ අද්විතීය අවස්ථාව හිමිවනු ඇත.
මෙමගින්, තෝරාගනු ලබන ආරම්භක ව්යාපාරයට ජාත්යන්තර මට්ටමේ වේදිකාවකට පිවිසීමටත්, ගෝලීය ආයෝජකයින් සහ ව්යවසායකයින්ගෙන් සමන්විත පුළුල් ජාලයක් සමඟ සම්බන්ධ වීමටත්, First Capital Startup Nation by Hatch හරහා ජාත්යන්තර වශයෙන් ශ්රී ලංකාව නියෝජනය කිරීමටත් මහඟු පිටිවහලක් ලැබෙනු ඇත.
Hatch ආයතනයේ සම නිර්මාතෘ ජීවන් ඥානම් මහතා අදහස් දක්වමින් මෙසේ පැවසීය. “Demo Day යනු ව්යවසායකයින් හුදෙක් වැඩසටහනක් තුළ ව්යාපාරයක් ගොඩනැගීමේ සීමාවෙන් ඔබ්බට ගොස්, එය පුළුල් ව්යාපාරික ලෝකයට හඳුන්වා දෙන අවස්ථාවයි. ආයෝජකයින්, ව්යාපාරික ක්ෂේත්රයේ ප්රමුඛයින්, වටිනා උපදෙස් මෙන්ම ව්යාපාරික ගමන ඉදිරියට ගෙනයාමට අවශ්ය අවස්ථාවන් වෙත පහසුවෙන් ළඟාවීමට ඉඩ සැලසීම මෙහි ඇති විශේෂත්වයයි. ප්රාග්ධන ආයෝජන අවස්ථා සහ ජාත්යන්තරව තරග කිරීමේ හැකියාව සමඟින්, තමන් ගොඩනැගූ ව්යාපාරය මීළඟ උසස් තලයට ගෙනයාමට ව්යවසායකයින්ට දැන් ප්රායෝගික මගක් විවර වී තිබෙනවා.”
සහභාගී වූ ආරම්භක ව්යාපාර 10 විසින් තාක්ෂණය පදනම් කරගත් නව්ය ව්යාපාරික සංකල්ප රැසක් ඉදිරිපත් කළ අතර, එමගින් මීළඟ පරම්පරාවේ ශ්රී ලාංකේය ව්යවසායකයින්ගේ හැකියාවන් පිළිබඳව පැහැදිලි චිත්රයක් ආයෝජකයින් ඇතුළු සියලු පාර්ශ්වයන්ට ලබාදීමට සමත් විය. ව්යාපාර 3කට ප්රාග්ධන ආයෝජන අවස්ථා හිමිවීම සහ සමස්ත ජයග්රාහකයාට ජාත්යන්තරයට පිවිසීමට මගපෑදීම හරහා, ව්යවසායකත්වය, ප්රාග්ධනය, වෙළෙඳපොළ ප්රවේශය සහ ජාත්යන්තර අවස්ථාවන් එකිනෙක යා කරන ප්රායෝගික වැඩපිළිවෙළක් ක්රියාත්මක කිරීමට First Capital Startup Nation by Hatch 2026 සමත්ව ඇත.
මෙයට සහභාගී වූ ව්යවසායකයින්ට Demo Day යනු හුදෙක් සිය ව්යාපාරික අදහස් ගොඩනැගීමේ සීමාවෙන් ඔබ්බට ගොස්, එම අදහස් සාර්ථක හා මහා පරිමාණ ව්යාපාර බවට පත්කිරීමට අවශ්ය ප්රාග්ධනය, සබඳතා සහ අවස්ථාවන් කරා යොමුවන තීරණාත්මක සන්ධිස්ථානයකි.


