DFCC ආලෝකා මෙරට ව්‍යවසායිකාවන්ගේ විශිෂ්ටත්වය සමරයි

WhatsApp Image 2024-08-07 at 14.36.46 (LBN)

DFCC බැංකුව කාන්තාවන් වෙනුවෙන්ම හඳුන්වා දී ඇති ‘DFCC ආලෝකා’ බැංකුකරණ විසඳුම යටතේ ලෝක කාන්තා දිනය වෙනුවෙන් විශේෂ සැමරුම් වැඩසටහනක් සංවිධානය කරන ලදි. “DFCC Aloka Celebrates Women Entrepreneurial Excellence” යන තේමාව යටතේ 2024 මාර්තු 26 වන දින DFCC බැංකුවේ ප්‍රධාන කාර්යාලයේ ශ්‍රවණාගාරයේදී පැවැත්වුණු එම වැඩසටහනේ අරමුණ වූයේ මෙරට ව්‍යවසායිකාවන්ට උපහාර දැක්වීම සහ ඔවුන්ගේ අනාගත සාර්ථකත්වය උදෙසා අත්වැලක් වීම ය.

 


 

උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස ශ්‍රී ලංකාවේ ඇමරිකා එක්සත් ජනපද තානාපතිනිය වන ජූලී චන්ග් මහත්මිය සහභාගී වූ අතර, DFCC බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයන්, එහි ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වයේ නියෝජිතයන්, කාර්ය මණ්ඩලයේ සාමාජික සාමාජිකාවන්, කාන්තා කර්මාන්ත හා වාණිජ මණ්ඩලයේ සභාපතිනිය වන අනෝජි ද සිල්වා මහත්මිය ප්‍රමුඛව එහි පාලන මණ්ඩලයේ නියෝජිතයන් සහ DFCC බැංකුව සමග ගනුදෙනු කරන ව්‍යවසායිකාවන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්වූහ. මීට අමතරව ප්‍රකට ව්‍යවසායිකාවන් වන ඔටාරා ගුණවර්ධන, ටානියා පොළොන්නෝවිට සහ නයනා කරුණාරත්න, DFCC බැංකුවේ සභාපති ජේ. දුරෙයිරත්නම් සහ ප්‍රධාන විධායක නිලධාරී තිමල් පෙරේරා යන මහත්ම මහත්මීහුද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

මෙහිදී අදහස් දැක්වූ ශ්‍රී ලංකාවේ ඇමරිකා එක්සත් ජනපද තානාපතිනිය වන ජූලි චන්ග් මහත්මිය, මෙරට කාන්තාවන්ගේ මූලිකත්වයෙන් සිදුවන සංවර්ධන මෙහෙවර තුළ DFCC ආලෝකා මගින් ඉටුවන භූමිකාව පෙන්වා දුන් අතර, DFCC ආලෝකා යනු මෙරට ව්‍යවසායිකාවන්ට අත්වැලක් වීම සඳහා ඇමරිකා එක්සත් ජනපදය විසින් සහයෝගය ලබාදෙන වැඩසටහන් අතරින් එකක් බවද පැවසුවා ය. “ඔබ අලුත් තැනකට, අතීතයේ කාන්තාවන් පැමිණීමට අපොහොසත් වූ තත්ත්වයකට ළඟා වූ විට, ඔබට එතැන සිටින්නට නොහැකි යයි කියා කිසිවෙකුටත් කියන්නට එපා. ඒ වෙනුවට ප්‍රශ්න අසන්න; අවදානම් දරන්න; අලුත් දේවල් ඉගෙනගන්න; ඉදිරියටම යන්න. ඔබේ ආලෝකය ඔබ යන සෑම තැනකම රැගෙන යන්න. ලෝකය වෙනස් වන්නේ ඔබ එය ඉදිරියට තල්ලු කරමින්, එයට අභියෝග කරමින්, ඉහළටම යන්නට සිහින දකිනවා නම් පමණයි. ඔබ අධිෂ්ඨානයෙන් යුතුව ලෝකයේ නිම්වළලු පුළුල් කරන්නට කැපවෙනවා නම්, අපගේ පමණක් නොව අපගේ දූ පුතුන්ගේත් අනාගත දෛවය වෙනස් කරන්නට ඔබට හැකි වේවි.” ජූලී චන්ග් මහත්මිය වැඩිදුරටත් පැවසුවා ය.

සංවාදමය වැඩසටහනක් සහ දේශන මාලාවක් කේන්ද්‍ර කරගනිමින් සංවිධානය කර තිබූ මෙම වැඩසටහන තුළදී මෙරට ව්‍යවසායිකාවන් මෙතෙක් අත්කරගෙන ඇති ජයග්‍රහණ සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමුකෙරිණි. එමෙන්ම එහිදී ඔවුන්ට අභියෝගවලට මුහුණ දීමට ඇති හැකියාව, ඔවුන්ගේ නවෝත්පාදන සහ ඔවුන් ව්‍යාපාර ලෝකයටත් සමාජයටත් ලබාදෙන මහඟු දායකත්වය ඇතුළු කරුණු රැසක්ද අවධාරණය කරන ලදි. ව්‍යාපාර කටයුතුවලදී කාන්තාවන් මුහුණ දෙන අභියෝග සම්බන්ධයෙන් සංවාදමය වැඩසටහනේදී ප්‍රධාන වශයෙන් අවධානය යොමුවුණු අතර, එහිදී මූල්‍යමය සවිබල ගැන්වීම සම්බන්ධ ක්‍රමෝපායන් ඉදිරිපත් කිරීම මෙන්ම නිසි මගපෙන්වීම හා සම්බන්ධතාවල වැදගත්කම පෙන්වාදීමද සිදුකෙරිණි. එමෙන්ම මෙරට ව්‍යවසායිකාවන් සවිබල ගැන්වීම සඳහා DFCC ආලෝකා මගින් ඉටුවන මෙහෙවර අවධාරණය කිරීමටද DFCC බැංකුවේ මෙහිදී කටයුතු කළේ ය. උත්සවයේදී DFCC ආලෝකා සම්බන්ධයෙන් ප්‍රධාන දේශනය සිදුකළ DFCC බැංකුවේ ජ්‍යෙෂ්ඨ උප සභාපති සහ පාරිභෝගික බැංකුකරණ හා කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සේවා අංශ ප්‍රධානී ආසිරි ඉද්දමල්ගොඩ මහතා, ශ්‍රී ලංකාවේ ආර්ථික පුනර්ජීවනය තුළ කාන්තා ව්‍යවසායකත්වය මගින් ඉටුවන කේන්ද්‍රීය මෙහෙවර සම්බන්ධයෙන් DFCC බැංකුව දරන ආකල්ප පැහැදිලි කළේ ය.

මෙහිදී අදහස් දැක්වූ DFCC බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී තිමල් පෙරේරා මහතා පැවසුවේ, DFCC බැංකුව සෑම විටම බැංකුව තුළ සහ බාහිර සමාජයේ සිටින කාන්තාවන්ට අත්වැලක් වීමට සූදනමින් සිටින බවයි. “ආයතනික මට්ටමින් ගත් විට අප පැහැදිලි කාර්යසාධන දර්ශක සහිතව කාන්තාව සවිබල ගැන්වීම සඳහා වැඩසටහන් මාලාවක්ම ක්‍රියාවට නංවා තිබෙනවා. බාහිර සමාජය සම්බන්ධයෙන් අපගේ දැක්ම වන්නේ ශක්තිමත් හා ස්වාධීන කාන්තා ව්‍යවසායකත්වයක් තුළින් පන්නරය ලබන සෞභාග්‍යමත් අනාගතයක්. DFCC ආලෝකා මගින් නිරූපණය වන්නේ මෙම දැක්මයි. DFCC ආලෝකා වෙතින් කාන්තාවන්ට හුදෙක් මූල්‍යමය සේවාවන් පමණක් නොව, ඊට වඩා බෙහෙවින් පුළුල් පරාසයක පැතිරුණු පරිපූර්ණ සේවාවන් එකතුවක් ලැබෙනවා. ණය සඳහා විශේෂ පොලී අනුපාත, ව්‍යාපාර සඳහා මගපෙන්වීම්, උපදේශන සේවා සහ ව්‍යාපාරික ලෝකයේ සාමාජික සාමාජිකාවන් සමග සම්බන්ධ වීමේ අවස්ථාවන් ඇතුළු විශේෂ ප්‍රතිලාභ රාශියක් මීට ඇතුළත්. DFCC බැංකුවේ සේවය කරන කාන්තාවන් මෙන්ම සමාජයට යහපත් බලපෑමක් සිදුකරමින් සිටින සියලුම කාන්තාවන් වෙනුවෙන් මේ වැඩසටහන සංවිධානය කිරීමට ලැබීම පිළිබඳව අප බෙහෙවින් සතුටු වනවා.” තිමල් පෙරේරා මහතා වැඩිදුරටත් පැවසී ය.

DFCC ආලෝකා යනු සියලු තරාතිරම්වලට සහ ආදායම් මට්ටම්වලට අයත් කාන්තාවන්ගේ විවිධාකාර වූ මූල්‍ය අවශ්‍යතාවන් සපුරාලන සුවිශේෂී බැංකුකරණ විසඳුමකි. ශිෂ්‍යාවන්, රැකියාවන්හි නියැළෙන කාන්තාවන්, ව්‍යවසායිකාවන් සහ ජ්‍යෙෂ්ඨ පුරවැසි කාන්තාවන් ඇතුළු සියලුම කාණ්ඩවලට අයත් කාන්තාවන් මුහුණ දෙන විශේෂ වූ අභියෝග හඳුනාගෙන, එම අභියෝග ජයගැනීමට අත්වැලක් වන පරිදි සහ, ඔවුන්ගේ ජීවිතයන්හි විවිධ අවධිවලදී පැනනගින විවිධාකාර වූ අවශ්‍යතාවන් සහ ජීවන රටා අපේක්ෂාවන් මනාව සපිරෙන පරිදි DFCC ආලෝකා සේවාවන් එකතුව සැලසුම් කර තිබේ.

මූල්‍යමය සහය ලබාදීමට අමතරව DFCC බැංකුව, කාන්තාවන්ගේ මූල්‍ය සාක්ෂරතාව වැඩිදියුණු කරමින්, ඔවුන්ට දැනුවත් ලෙස මූල්‍යමය තීරණවලට එළඹීමට අවස්ථාව සලසා දීමේ වැඩසටහන්වලට සක්‍රීයව දායක වෙයි. දැනුම යනු සවිබල ගැන්වීමේ මෙහෙවර තුළ අත්‍යවශ්‍ය සාධකයක් බව හඳුනාගෙන, කාන්තාවන්ට තම මූල්‍ය කටයුතු තමන්ට අවශ්‍ය පරිදි පාලනය කරමින් තම අරමුණු ළඟා කරගැනීමට අත්වැලක් වීමට DFCC ආලෝකා කැප වී සිටී.

 


 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව