DFCC බැංකුව, LankaSign ආයතනය සමඟ ගිවිසුම්ගත වීමත් සමඟින් බැංකු ගණුදෙනු සඳහා Lankasign හරහා ඩිජිටල් අත්සන් භාවිතය ක්‍රියාවට නංවයි.

DFCC (2)

 



 

 

DFCC බැංකුව නවීනතම ඩිජිටල් තාක්ෂණය ඔස්සේ ගනුදෙනුකරුවන්ට වැඩි පහසුවක් සහ වඩාත් කාර්යක්ෂම සේවාවක් සැලසීමේ අරමුණින් LankaSign හරහා යෙදූ ඩිජිටල් අත්සන් පිළිගැනීමට තීරණය කර ඇති බව පසුගියදා නිවේදනය කළේ ය. ඒ අනුව DFCC බැංකුව ශ්‍රී ලංකාවේ මෙම සේවාව ලබාදෙන ප්‍රථම බැංකු කිහිපය අතරට එක් වී සිටී.

ලෝකය වැඩි වැඩියෙන් ඩිජිටල් තාක්ෂණය වෙත යොමුවෙමින් සිටින මෙවන් යුගයක, සුරක්ෂිත සහ විශ්වාසනීය ඩිජිටල් අත්සන් භාවිතය තුළින් බැංකු ගණුදෙනු කිරීමේ නව ක්‍රමවේදයන් අත්‍යවශ්‍ය වී තිබේ. මෙම අවශ්‍යතාව හඳුනාගනිමින් DFCC බැංකුව LankaSign යෙදවුම හරහා මෙම ක්‍රමවේදය ක්‍රියාවට නැංවීමට පසුගියදා කටයුතු කළේ ය. මෙරට පුරෝගාමී සහ ප්‍රමුඛතම ගෙවීම් ජාලය වන LankaPay විසින් LankaSign බලගන්වනු ලබයි.

මින් ඉදිරියට LankaSign හි ලියාපදිංචි වී සිටින DFCC බැංකුවේ ගනුදෙනුකරුවන්ට, බැංකුව වෙත ඉදිරිපත් කරනු ලබන සියලුම ලිපිලේඛන සහ ඉල්ලීම් සඳහා ඩිජිටල් අත්සන භාවිතා කිරීමට හැකියාව ලැබේ. මෙමගින් බැංකුකරණ ක්‍රියාවලීන් වඩාත් සරල වීම සහ කඩදාසි භාවිතය අවම වීම මෙන්ම ඉලෙක්ට්‍රොනික ගනුදෙනුවල විශ්වාසනීයත්වය ඉහළ යාමද සිදු වේ. එමෙන්ම ඩිජිටල් අත්සන් භාවිතා කරන විට ගනුදෙනුකරුවන්ට තම ගනුදෙනු සහ ගිණුම් ආදිය බාහිර පුද්ගලයන්ගේ ග්‍රහණයට හෝ වෙනස් කිරීම්වලට ලක් නොවන බවට විශ්වාසයෙන් යුතුව අදාළ ගනුදෙනු සිදුකළ හැක.

“තිරසාරත්වය සහ ඩිජිටල් නවෝත්පාදනය සම්බන්ධයෙන් පෙරමුණ ගැනීමට අප සෑම විටම උත්සාහ කරනවා. LankaSign යෙදවුම හරහා යෙදූ ඩිජිටල් අත්සන් පිළිගැනීම යනු ගනුදෙනුකරුවන්ට වඩාත් පහසු හා සුරක්ෂිත බැංකු සේවා අත්දැකීමක් විඳගැනීමට ලැබෙන අවස්ථාවක්. එමෙන්ම මෙමගින් කඩදාසි භාවිතය අවම වන නිසා, එය පරිසරය රැකගැනීම සම්බන්ධයෙන් අප දරන ආකල්පවලට සමගාමී පියවරක් ලෙසත් හැඳින්විය හැකියි.” DFCC බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී තිමල් පෙරේරා මහතා පැවසී ය.

මෙබඳු පියවර මගින් පෙනී යන්නේ DFCC බැංකුව දිගින් දිගටම තාක්ෂණික නවෝත්පාදනය හා තිරසාරත්වය සම්බන්ධයෙන් පෙරමුණ ගැනීමට දක්වන උනන්දුවයි. තවමත් මෙරට Green Climate Fund (GCF) සාමාජිකත්වය හිමි ප්‍රථම සහ එකම බැංකුව DFCC බැංකුව වීම විශේෂත්වයකි.

“තිරසාරත්වය සහ ඩිජිටල් තාක්ෂණය ඔස්සේ බලගැන්වෙන අනාගතයක් නිර්මාණය කිරීම අපගේ අරමුණයි. එවැනි අනාගතයක් තුළ නිෂ්පාදන හා සේවාවන් සියල්ල ඉතාමත් පහසුවෙන් හා සුරක්ෂිත ලෙස භාවිතා කිරීමට හැකි වනවා. අප දකින්නේ විශිෂ්ට අත්දැකීම් සහ තිරසාර මූල්‍ය සේවාවන් යනු එකම කාසියක දෙපැත්ත ලෙසයි. මින් එක් අරමුණක් හඹා යාම තුළින් අනෙක් අරමුණද ඉටුකරගැනීමට පුළුවන්. මේ සියල්ල ඔස්සේ ඩිජිටල් බැංකුකරණයේ නව යුගයක් උදාවනු දැකීම අපගේ ප්‍රර්ථනාවයි.” DFCC බැංකුවේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී අසංග උඩුවෙල මහතා පැවසී ය.

DFCC බැංකුව දීර්ඝ කාලයක පටන් මෙරට තිරසාර ප්‍රයත්නයන් සම්බන්ධයෙන් පෙරමුණ ගෙන සිටී. 2020 වසරේදී මෙරට තුළ නිල වශයෙන් තිරසාර ක්‍රමෝපායක් ප්‍රකාශයට පත්කළ ප්‍රථම බැංකුව බවට පත් වූ DFCC බැංකුව, මෑතකදී හරිත ස්ථාවර තැන්පතු ක්‍රමයක්ද හඳුන්වා දුන්නේ ය. 1988 වසරේ සිටම පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති රාශියක් සඳහා මූල්‍ය පහසුකම් සපයමින් එම බැංකුව, රටේ තිරසාර පරිවර්තනය ශක්තිමත් කිරීමට දායක වී තිබේ.

LankaSign යෙදවුම සමඟ ලියාපදිංචි වී DFCC බැංකුව මගින් ලබාදෙන මෙම සුවිශේෂී නව සේවාව භාවිතා කරන ආකාරය පිළිබඳව වැඩිදුර තොරතුරු දැනගැනීම සඳහා 0112350000 අංකයෙන් DFCC බැංකුවේ පැය 24 පුරා ක්‍රියාත්මක පාරිභෝගික සහය සේවාව අමතන්න.

 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

13 + two =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව