
දිත්වා සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ගංවතුර සහ දැඩි සුළං තත්ත්වයෙන් පීඩාවට පත් වූ පුද්ගලයන් හා ව්‍යාපාරිකයන්ට සහය වීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ මඟපෙන්වීම යටතේ විශේෂ සහන වැඩපිළිවෙළක් හඳුන්වා දීමට ශ්‍රී ලංකා ණය තොරතුරු කාර්යාංශය (CRIB) පියවර ගෙන ඇත.
මෙම වැඩපිළිවෙළ මඟින්, ආපදා තත්ත්වය හේතුවෙන් තාවකාලික මූල්‍ය දුෂ්කරතාවලට මුහුණ දෙන ණය ගනුදෙනුකරුවන්ගේ ණය වාර්තා, උපරිම වශයෙන් මාස හයක් දක්වා වන සහන කාලසීමාව තුළ අහිතකර බලපෑමකට ලක් නොවනු ඇත.
CRIB මඟින් ගෙන ඇති සහන පියවර යටතේ:
- පමාවන වාරික – ආපදාව හේතුවෙන් ගෙවීම් පමාවන අවස්ථාවලදී ඒවා ‘පසුගිය හිඟ මුදල්’ (Overdue) ලෙස වාර්තා කරනු නොලැබේ.
- ණය වාර්තා යාවත්කාලීන කිරීම: සහන සඳහා සුදුසුකම් ලත් පාරිභෝගිකයන්ට මූල්‍ය ආයතන මඟින් ලබාදෙන සහය පිළිබිඹු වන පරිදි ඔවුන්ගේ ණය වාර්තා යාවත්කාලීන කෙරේ.
- නැවත ආරම්භ කිරීමේ ණය: ව්‍යාපාර යළි නඟා සිටුවීම සඳහා ලබා දෙන නව ණය පහසුකම්, ප්‍රතිසාධන ක්‍රියාවලියේ කොටසක් ලෙස හඳුනා ගැනේ.
පීඩාවට පත් පාරිභෝගිකයන්ගේ ණය ශ්‍රේණිගත කිරීම් ආරක්ෂා කිරීමත්, එමඟින් ඉදිරියේදී ඔවුන්ට මූල්‍ය පහසුකම් ලබා ගැනීමට ඇති හැකියාව සුරැකීමත් මෙහි මූලික අරමුණ බව CRIB අවධාරණය කරයි. මෙම සහනයට අදාළ වාර්තා කිරීම් 2026 මාර්තු 01 සිට ක්‍රියාත්මක වේ.
නමුත්, මෙම සහන ක්‍රියාවලිය යටතේ වර්ගීකරණය කර ඇති ණය පහසුකම් නිසි ලෙස නොගෙවීම හේතුවෙන්, එම ණය පහසුකම් සාමාන්‍ය ක්‍රමවේදය යටතේ වාර්තා කිරීමට මූල්‍ය ආයතන පියවර ගනු ඇත. සහන ලබා ගැනීමට අපේක්ෂා කරන පාරිභෝගිකයන් තමන් ගනුදෙනු කරන බැංකුව හෝ මූල්‍ය ආයතනය සම්බන්ධ කර ගන්නා ලෙස දන්වා සිටියි.
CRIB අධ්යක්ෂ/සාමාන්‍යාධිකාරී පුෂ්පික ජයසුන්දර මහතා අදහස් දක්වමින්:
“සාධාරණ හා විනිවිදභාවයෙන් යුතු ණය තොරතුරු පද්ධතියක් පවත්වාගෙන යන අතරම, ජාතික ආර්ථිකය යළි නඟා සිටුවීමට සහ පුරවැසියන්ට ණය පහසුකම් ලබා ගැනීමේ අවස්ථා පුළුල් කිරීමට අප කැපවී සිටින බව මෙම පියවරයන්ගෙන් තහවුරු වේ.”
එමෙන්ම, වේගවත් සහ අඩු පිරිවැයකින් යුත් ණය පහසුකම් ලබා ගැනීමට සහ මූල්‍ය සමාජානුයෝජනය ප්‍රවර්ධනය කිරීමට සහාය වන අගය එකතු කළ සේවාවන් රැසක්ද මෙමඟින් සපයනු ලබයි.
1990 අංක 18 දරන ශ්‍රී ලංකා ණය තොරතුරු කාර්යාංශ පනතින් (1995 අංක 8 සහ 2008 අංක 42 දරන පනත් මඟින් සංශෝධිත) ස්ථාපිත කරන ලද CRIB ආයතනය, දකුණු ආසියානු කලාපයේ ප්‍රථම ණය තොරතුරු කාර්යාංශයයි. ශ්‍රී ලංකා මහ බැංකුවේ සහ මුදල් අමාත්‍යාංශයේ මූලිකත්වයෙන් ඇරඹි මෙම කාර්යාංශය, සියලුම ණය ලබාගන්නන්ගේ තොරතුරු සුරක්ෂිතව තබා ගන්නා ජාතික මධ්‍යස්ථානය ලෙස කටයුතු කරමින්, වඩාත් වේගවත් හා අඩු පිරිවැයකින් යුත් ණය පහසුකම් ලබා ගැනීමට සහ මූල්‍ය අන්තර්ගතභාවය (Financial Inclusion) ප්‍රවර්ධනය කිරීමට සහාය වන සේවාවන් රැසක් සපයනු ලබයි.


