කොමර්ෂල් බැංකුව ලෝකයේ ප්‍රමුඛතම බැංකු 1000 ලැයිස්තුවේ ශ්‍රී ලංකාවේ අංක 1 බැංකුව ලෙස යළි තහවුරු වෙයි

Sanath

ලොව ප්‍රමුඛතම මූල්‍ය ආයතනයක් ලෙස කොමර්ෂල් බැංකුව සිය ස්ථානය යළිත් තහවුරු කරමින් එක්සත් රාජධානියේ ‘ද බෑන්කර්’ සඟරාව විසින් ප්‍රකාශයට පත් කරන ලොව ප්‍රමුඛතම බැංකු 1000 ලැයිස්තුවේ 2026 සංස්කරණයේ ශ්‍රී ලංකාවේ අංක 1 බැංකුව ලෙස ශ්‍රේණිගත කර ඇත.

මූල්‍ය ශක්තිමත්භාවය ඇගයීම සඳහා ‘ද බෑන්කර්’ සඟරාව ප්‍රධාන නිර්ණායකයක් ලෙස භාවිත කරන පළමු පෙළ (Tier I) ප්‍රාග්ධනයෙහි සියයට 12.1ක වර්ධනයක් වාර්තා කරමින් ශ්‍රී ලංකාවේ අනෙකුත් බැංකු අභිබවා අංක 1 ස්ථානය හිමිකර ගැනීමට කොමර්ෂල් බැංකුව සමත් විය. විශේෂයෙන්ම මෙලෙස ලොව පිළිගත් ප්‍රමුඛතම බැංකු ශ්‍රේණිගත කිරීමේ ලැයිස්තුවට කොමර්ෂල් බැංකුව ඇතුළත් වූ 14 වැනි අවස්ථාව මෙය වන අතර එය ශ්‍රී ලාංකික මූල්‍ය ආයතනයක් විසින් ලබාගත් වැඩිම ඇතුළත් වීම් සංඛ්‍යාවද වෙයි. එමෙන්ම මෙම ප්‍රමුඛතම ගෝලීය බැංකු 1000 ලැයිස්තුවට ඇතුළත් වූ ශ්‍රී ලංකාවේ පළමු බැංකුව ලෙස කොමර්ෂල් බැංකුව මෙරට බැංකු ක්ෂේත්‍රය තුළ නව ප්‍රමිතියක් ද ඇති කර ඇත.



මෙම ජයග්‍රහණය පිළිබඳ අදහස් දක්වමින් කොමර්ෂල් බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී සනත් මනතුංග මහතා මෙසේ අදහස් දැක්වීය. “මෙවැනි ගෝලීය ශ්‍රේණිගත කිරීමකදී ශ්‍රී ලංකාවේ අංක 1 බැංකුව ලෙස පිළිගැනීම අපට විශාල ගෞරවයක් වන අතර එය අපගේ ශක්තිමත් ප්‍රාග්ධන කළමනාකරණය, වෙනස් වන වෙළෙඳපොළ තත්ත්වයන්ට සාර්ථකව මුහුණ දීමේ හැකියාව සහ දිගුකාලීන වටිනාකමක් නිර්මාණය කිරීමේ කැපවීම පිළිබිඹු කරයි. මෙම ඇගයීම අනාගත බැංකුකරණය සඳහා ශක්තිමත් පදනමක් ගොඩනැඟීමට අපගේ කැපවීම තවදුරටත් තහවුරු කරයි.”

ඔහු වැඩිදුරටත් පවසා සිටියේ “ද බෑන්කර් සඟරාව වාර්ෂිකව ප්‍රකාශයට පත් කරන ලෝකයේ ප්‍රමුඛතම බැංකු 1000 ලැයිස්තුව බැංකු ක්ෂේත්‍රයේ ඉහළම පිළිගැනීම හිමි ශ්‍රේණිගත කිරීමයි. එම ලැයිස්තුවට 14 වැනි වරටත් ඇතුළත් වීම අපගේ ශක්තිය සහ ස්ථාවරත්වය පිළිබඳ වැදගත් සාක්ෂියකි. කොමර්ෂල් බැංකුව සමඟ ගනුදෙනු කරන සියලුම පාරිභෝගිකයන්ටද මෙය ඔවුන් තැබූ විශ්වාසය තහවුරු කරන ඇගයීමක්,” බවයි.

ලොව විශාලතම බැංකු 5,000කට අධික සංඛ්‍යාවක දත්ත සමුදායකින් සම්පාදනය වන ‘ද බෑන්කර් ’සඟරාවේ ප්‍රමුඛතම බැංකු 1000 ශ්‍රේණිගත කිරීම බැංකුවල ශක්තිය හා ස්ථාවරත්වය මැන බැලීමේ වඩාත්ම පිළිගත් ජාත්‍යන්තර මිණුම් දණ්ඩක් ලෙස සැලකේ. මෙම ශ්‍රේණිගත කිරීම ප්‍රධාන වශයෙන් පළමු පෙළ ප්‍රාග්ධනය මත පදනම් වන අතර අනෙකුත් කාර්යසාධන දර්ශක රැසක් ද සැලකිල්ලට ගනු ලබයි.

මෙවර ශ්‍රේණිගත කිරීම පිළිබඳ අදහස් දක්වමින් ‘ද බෑන්කර්’ සඟරාව සඳහන් කළේ ශක්තිමත් ප්‍රාග්ධනය හේතුවෙන් ලෝක බැංකු ක්ෂේත්‍රය තවදුරටත් ස්ථාවර තත්ත්වයක පවතින බවයි. එමෙන්ම පළමු පෙළ ප්‍රාග්ධනය සහ වත්කම් අතර අනුපාතය පසුගිය වසර කිහිපය තුළ ඉහළ මට්ටමක පවතින බවද එහි සඳහන් වන අතර කෙසේ වෙතත් භූදේශපාලනික වෙනස්කම් සහ කෘත්‍රිම බුද්ධිය වැනි නව තාක්ෂණික අභියෝගවලට සාර්ථකව මුහුණ දීම සඳහා බැංකු ශක්තිමත් ප්‍රාග්ධනයක් සමඟ නව හැකියාවන් ද වර්ධනය කරගත යුතු බව ද සඟරාව පෙන්වා දෙයි.

ඇමරිකානු ඩොලර් බිලියන 1 ඉක්මවන වෙළඳපල ප්‍රාග්ධනීකරණයක් සහිත පළමු ශ්‍රී ලාංකික බැංකුව කොමර්ෂල් බැංකුව වන අතර, ලොව හොඳම බැංකු 1000 අතරට ඇතුළත් වූ පළමු බැංකුව ද වේ. ශ්‍රී ලංකාවේ සියලුම බැංකු අතරින් ඉහළම ප්‍රාග්ධන පදනමක් ඇති කොමර්ෂල් බැංකුව, ශ්‍රී ලංකාවේ පුද්ගලික අංශයේ විශාලතම ණය දෙන්නා වේ. බිස්නස් ටුඩේ සඟරාවේ හි ඉහළම ආයතන 40 අතර අංක 1 ශ්‍රේණිගත කර ඇති කොමර්ෂල් බැංකුව ශ්‍රී ලංකාවේ වඩාත්ම ගෞරවනීය සහ වඩාත්ම සම්මානලාභී බැංකුව ලෙස පිළිගැනේ. ඩිජිටල් නවෝත්පාදනයේ ප්‍රමුඛයා වන කොමර්ෂල් බැංකුව ශ්‍රී ලංකාවේ පරිසරයට කාබන් මුදාහැරීම 100% තුලනය කළ ප්‍රථම බැංකුව ද වේ.

දිවයින පුරා උපායමාර්ගිකව පිහිටා ඇති ශාඛා 270කට අධික සංඛ්‍යාවක් සහ පුළුල් ස්වයංක්‍රීය යන්ත්‍ර ජාලයක් ක්‍රියාත්මක කරන කොමර්ෂල් බැංකුව බංග්ලාදේශයේ ශාඛා 21 ක්, මාලදිවයිනේ බහුතර කොටස් හිමිකාරිත්වයක් සහිත පූර්ණ මට්ටමේ පළමු පෙළ බැංකුවක්, මියන්මාරයේ ක්ෂුද්‍ර මූල්‍ය සමාගමක් සහ ඩුබායි ජාත්‍යන්තර මූල්‍ය මධ්‍යස්ථානය DIFC තුළ නියෝජිත කාර්යාලයක් සමඟින් ශ්‍රී ලාංකික බැංකු අතර පුළුල්ම ජාත්‍යන්තර පියසටහනක් තබා ඇත. මීට අමතරව බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය දරන CBC ෆිනෑන්ස් පීඑල්සී සහ කොමර්ෂල් ඉන්ෂුවරන්ස් බ්‍රෝකර්ස් සමාගම තම ශාඛා ජාල හරහා පුළුල් පරාසයක මූල්‍ය සේවා සපයයි.



ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව