අමානා බැංකුව පොලී රහිත, සංවර්ධනය කේන්ද්‍ර කරගත්, මානුෂ හිතවාදී බැංකුකරණයේ 15 වසරක ගමන් මඟ අභිමානයෙන් සමරයි

Capture

සම්පූර්ණයෙන්ම පොලී රහිත බැංකුකරණ ආකෘතියක් යටතේ ක්‍රියාත්මක වන ශ්‍රී ලංකාවේ ප්‍රථම හා එකම බලපත්‍රලාභී වාණිජ බැංකුව වන අමානා බැංකුව, 2026 අගෝස්තු 01 දින සිය 15 වැනි සංවත්සරය අභිමානයෙන් සනිටුහන් කළේය. 2011 වසරේ සිය සේවාවන් ආරම්භ කළ දා සිට, රටේ මෑත ඉතිහාසයේ වඩාත්ම අභියෝගාත්මක කාලපරිච්ඡේද කිහිපයක් සාර්ථකව ජයගනිමින්, ගනුදෙනුකරුවන්ගේ විශ්වාසය, පිළිගැනීම සහ සහයෝගය දිනාගනිමින් අමානා බැංකුව කැපීපෙනෙන වර්ධනයක් අත්කරගෙන ඇත. වර්තමානය වන විට අමානා බැංකුව දිවයින පුරා පිහිටි ශාඛා සහ ස්වයං බැංකුකරණ මධ්‍යස්ථාන ඇතුළු පාරිභෝගික සේවා ස්ථාන 80 කට අධික සංඛ්‍යාවක් ඔස්සේ ගනුදෙනුකරුවන් 500,000 කට අධික පිරිසකට සේවාවන් සපයයි. සංවර්ධනය කේන්ද්‍ර කරගත්, මානුෂ හිතවාදී බැංකුකරණ ප්‍රවේශයක් තුළින් ගනුදෙනුකරුවන්ගේ දියුණුවට අත්වැලක් වෙමින් ඔවුන්ගේ ජීවිත සවිබල ගැන්වීම සඳහා බැංකුව දරන උත්සාහය සාර්ථක වී ඇති බව, මේ දක්වා වාර්තා කරගෙන ඇති ප්‍රගතිය මඟින් මැනැවින් පිළිබිඹු වේ.




මෙම ශක්තිමත් පදනම තුළින් පන්නරය ලබමින් අමානා බැංකුව සාර්ථක මූල්‍ය කාර්යසාධනයක් සහ තිරසාර වර්ධනයක් අඛණ්ඩව වාර්තා කරමින් ශ්‍රී ලංකාවේ බැංකු ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම බැංකුවක් ලෙස තමන්ට හිමි පිළිගැනීම තවදුරටත් තහවුරු කරගැනීමට සමත් වී ඇත. මෑතකදී බැංකුවේ වත්කම්වල මුළු වටිනාකම රුපියල් බිලියන 200 සීමාව ඉක්මවා ගිය අතර, ඒ අනුව අමානා බැංකුව මෙම සන්ධිස්ථානය වෙත ඉක්මනින්ම ළඟා වූ ශ්‍රී ලාංකික බැංකු අතරින් එකක් බවටද පත්විය. එමෙන්ම තැන්පතු සහ මූල්‍ය පහසුකම් යන අංශ දෙකෙන්ම ක්ෂේත්‍රයේ සාමාන්‍ය වර්ධන වේගය ඉක්මවා යමින්, බැංකු ක්ෂේත්‍රයේ ශක්තිමත්ම ජංගම හා ඉතුරුම් ගිණුම් අනුපාතය (CASA ratio) සහ අවම අක්‍රීය ණය අනුපාතයක් (Non-performing advances ratio) පවත්වාගෙන යාමටද අමානා බැංකුව සමත් වී ඇත. ශක්තිමත් අවදානම් කළමනාකරණ රාමුවක්, යහපත් ආයතනික පාලනයක් සහ ගනුදෙනුකරුවන්ට මුල් තැන දෙන ආයතනික සංස්කෘතියක් මත පදනම්ව, සිය ණය සේවා එකතුවේ ගුණාත්මකභාවයට හානියක් නොවන පරිදි තිරසාර වර්ධනයක් ළඟා කර ගැනීමට බැංකුවට හැකියාව ලැබී ඇති බව මෙම ජයග්‍රහණවලින් මැනැවින් පිළිබිඹු වේ. එමෙන්ම පසුගිය වසර 8 පුරා අඛණ්ඩව ලාභ වාර්තා කිරීමත් ලාභාංශ ප්‍රකාශයට පත් කිරීමත් බැංකුව අත්කරගත් තවත් සුවිශේෂී ජයග්‍රහණයකි.

පාරිභෝගික බැංකුකරණය සහ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර කේන්ද්‍ර කරගත් බැංකුවක් ලෙස අමානා බැංකුව ව්‍යවසායකයන්, ව්‍යාපාර සහ පවුල්වල ප්‍රගතිය වෙනුවෙන් කැපීපෙනෙන කාර්යභාරයක් ඉටු කර තිබේ. සිය වත්කම් මත පදනම් වූ සුවිශේෂී බැංකුකරණ ආකෘතිය (Asset-backed banking model) හරහා, සැබෑ ආර්ථික ක්‍රියාවලිය වෙත සෘජුවම මූල්‍ය පහසුකම් පිරිනමමින්, ඵලදායී ආර්ථික ක්‍රියාකාරකම් ප්‍රවර්ධනය කිරීම, ව්‍යාපාර සහ කර්මාන්ත ශක්තිමත් කිරීම, රැකියා උත්පාදනය දිරිගැන්වීම සහ ජනතාවගේ ජීවනෝපායන් නංවාලීම ඔස්සේ ශ්‍රී ලංකාවේ තිරසාර ආර්ථික සංවර්ධනයට ප්‍රශංසනීය දායකත්වයක් ලබාදීමට අමානා බැංකුව සමත් වී ඇත.

අමානා බැංකුවේ ඉදිරි ගමනෙහි එක් අතිශය වැදගත් සාධකයක් වන්නේ Islamic Development Bank (IsDB) සමූහය බැංකුව කෙරෙහි රඳවා ඇති අඛණ්ඩ විශ්වාසයයි. එම සමූහය පෞද්ගලික අංශයට අනුබද්ධ Islamic Corporation for the Development of the Private Sector (ICD) හරහා අමානා බැංකුවේ ප්‍රධාන ක්‍රමෝපායික කොටස් හිමියා ලෙස කටයුතු කරයි. ශ්‍රී ලංකාව IsDB සමූහයේ සාමාජික රටක් නොවන පසුබිමක් තුළ අමානා බැංකුව වෙනුවෙන් සිදුකර ඇති මෙම ආයෝජනය, විවිධාංගීකරණය වූ වෙළෙඳපොළක ආචාරධාර්මික හා වටිනාකම් මත පදනම් වූ බැංකුකරණය සාර්ථකව ක්‍රියාත්මක කළ හැකි බවත්, ඒ ඔස්සේ ජාතික සංවර්ධනයට අර්ථවත් දායකත්වයක් ලබාදිය හැකි බවත් පෙන්නුම් කරන ලොව පිළිගත් සාර්ථකත්වයේ ආදර්ශයක් ලෙස දැක්විය හැක.

අමානා බැංකුව ආරම්භයේ සිට මේ දක්වා තමන් අත්කරගත් ප්‍රගතිය වෙනුවෙන් දේශීය හා ජාත්‍යන්තර සම්මාන රැසකින් පිදුම් ලබා ඇත. ආරම්භක අවධියේදී ඇමරිකා එක්සත් ජනපදයේ Global Finance Magazine විසින් ‘විශිෂ්ටතම නැඟී එන ඉස්ලාමීය බැංකුව’ ලෙස නම් කරනු ලැබීමේ සිට, මෑතකදී The Asian Banker විසින් ‘ලොව ශක්තිමත්ම ඉස්ලාමීය බැංකු 50’ අතරට නම්කරනු ලැබීම දක්වාත්, Islamic Development Bank Group විසින් ගෝලීය වශයෙන් ආයෝජනය කර ඇති සමාගම් 30 කට අධික සංඛ්‍යාවක් අතරින් ‘ICD ආයෝජන හිමි සමාගම් අතර වඩාත්ම බලපෑම් සහගත සමාගම’ ලෙස ඇගයීමට ලක්කිරීම දක්වාත් හිමි වූ සියලු සම්මාන හා ඇගයුම් අමානා බැංකුව අත්කරගෙන තිබෙන ප්‍රගතිය කෙබඳුද යන්න මැනැවින් පිළිබිඹු කරයි.

ශ්‍රී ලංකාවේ බැංකු ක්ෂේත්‍රය තුළ අත්කර ගනිමින් සිටින සාර්ථකත්වය වෙනුවෙන්, PwC විසින් විනිශ්චය කරන ලද ICC Emerging Asia Banking Awards හිදී අමානා බැංකුව අඛණ්ඩව දෙවන වරටත් ‘ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම බැංකුව’ ලෙස ඇගයීමට පාත්‍ර විය. එමෙන්ම ශ්‍රී ලංකාවේ ඉස්ලාමීය බැංකුකරණ හා මූල්‍ය සේවා ක්ෂේත්‍රය තුළ ඉටුකරන පුරෝගාමී භූමිකාව සහ නායකත්වය තවදුරටත් තහවුරු කරමින්, Islamic Finance Forum South Asia (IFFSA) Awards හිදී ‘දශකයේ බැංකුව’ ලෙස නම්කරනු ලැබීම ඇතුළුව සම්මාන හා ඇගයුම් රැසක් අමානා බැංකුව වෙත හිමි විය. තවද IFFSA Awards සහ Sri Lanka Islamic Banking and Finance Industry (SLIBFI) Awards යන සම්මාන උළෙල දෙකෙහිදීම ‘විශිෂ්ටතම බැංකුව’ (Best Bank), ‘විශිෂ්ටතම මූල්‍ය ආයතනය’ (Best Finance Entity) සහ ‘විශිෂ්ටතම මූල්‍ය ගනුදෙනු’ (Best Finance Deals) යන අංශ යටතේ අවස්ථා කිහිපයකදීම අමානා බැංකුව වෙත සම්මාන හිමි වී ඇත.

බැංකුකරණයට අමතරව අමානා බැංකුව සිය ප්‍රමුඛතම ප්‍රජා සත්කාර වැඩසටහන වන OrphanCare භාරය ඔස්සේ සමාජයේ යහපත වෙනුවෙන් අර්ථවත් මෙහෙවරක් ඉටුකරමින් සිටී. මෙය එක්සත් ජාතීන්ගේ තිරසාර සංවර්ධන ඉලක්ක අතර 10 වන ඉලක්කය වන ‘අසමානතා අවම කිරීම’ මඟින් නිරූපණය වන වටිනාකම් ඔස්සේ, එක්සත් ජාතීන්ගේ ළමා අයිතිවාසිකම් සම්මුතියේ 2 වැනි වගන්තිය මඟින් සහතික කර ඇති, සැමට සමානව සැලකීමේ ප්‍රතිපත්තිය මත පදනම්ව ක්‍රියාත්මක වන වැඩසටහනකි. මෙමඟින් වයස අවුරුදු 18 සම්පූර්ණ වී ළමා නිවාසවලින් ඉවත්ව යාමට සිදු වන, දෙමාපිය රැකවරණය අහිමි දරුවන්ට මූල්‍යමය වශයෙන් ස්වාධීන ජීවිත ගොඩනංවා ගැනීම සඳහා සහය වෙමින්, සමාජය තුළ ඔවුන් දෙවැනි වරටත් අතහැර දමනු ලැබීමේ අවදානම අවම කරයි. මේ වන විට දිවයින පුරා ළමා නිවාස 90 කට අධික සංඛ්‍යාවක දරුවන් 3,200 කට වැඩි පිරිසකට මෙම වැඩසටහන මඟින් සෙත සැලසී තිබේ. ප්‍රතිලාභීන්ගේ ජීවිතවල සිදු වූ පරිවර්තනය සවිස්තරව දක්වමින් OrphanCare භාරය මෑතකදී සිය ප්‍රථම බලපෑම් වාර්තාව (Impact Report) එළිදැක්වූ අතර, එය www.orphancare.org වෙබ් අඩවියට ඇතුළත් කර ඇත.

අමානා බැංකුවට වසර 15 ක් සම්පූර්ණ වීම සම්බන්ධයෙන් එහි සභාපති අස්ගි අක්බරලි මහතා මෙසේ අදහස් දැක්වීය:

“අමානා බැංකුව සිය 15 වැනි සංවත්සරය සමරන මේ අවස්ථාවේදී අප තුළ ඇත්තේ ඉමහත් කෘතඥතාවක් මෙන්ම පැහැදිලි අරමුණක් පිළිබඳ ගැඹුරු හැඟීමක්. මෙම සුවිශේෂී සන්ධිස්ථානය, අපගේ ගනුදෙනුකරුවන්, කොටස් හිමියන්, කාර්ය මණ්ඩලය සහ අනෙකුත් සියලුම සියලු පාර්ශ්වකරුවන් අප කෙරෙහි තැබූ විශ්වාසයේ පිළිබිඹුවක් ලෙස හැඳින්වීමට පුළුවන්. විශේෂයෙන්ම ආචාරධාර්මික බැංකුකරණය, මූල්‍ය අන්තර්කරණය (Financial Inclusion) සහ තිරසාර සංවර්ධනය යන අපගේ මූලික ප්‍රතිපත්ති අඛණ්ඩව රැකගනිමින් මෙම වර්ධනය අත්කර ගැනීමට හැකි වීම පිළිබඳව අප ආඩම්බර වනවා. ශ්‍රී ලංකාව ආර්ථික හා ගෝලීය අභියෝගවලට මුහුණ දුන් කාලවලදී පවා අප ශක්තිමත්ව එම අභියෝගවලට මුහුණ දුන්නා. අපගේ ගනුදෙනුකරුවන් සමඟ නොසැලී රැඳී සිටිමින්, රටේ  ප්‍රගතියට අපගේ දායකත්වය නොකඩවා ලබාදීමට අපට හැකි වුණා. ඉදිරියටත් අපගේ ගනුදෙනුකරුවන් වෙනුවෙන් දීර්ඝකාලීන වටිනාකම් නිර්මාණය කිරීම, ප්‍රජාවන් සවිබල ගැන්වීම සහ රටේ ආර්ථික අභිලාෂයන් සාක්ෂාත් කර ගැනීමට සහාය වීම සඳහා අඛණ්ඩව කැපවීමට අප සූදානම්.”

අමානා බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී මොහොමඩ් අස්මීර් මහතා මෙසේ සිය අදහස් පළකළේය:

“අපගේ වසර 15 ක ගමන්මඟ තුළ අප අත්කරගෙන ඇති මෙම සාර්ථකත්වය, විශ්වාසය, අභියෝගවලට ඔරොත්තු දීමේ හැකියාව සහ සැමගේ යහපත වෙනුවෙන් කැපවීම පිළිබිඹු කරන ජීවමාන සාක්ෂියක්.  ගනුදෙනුකරුවන් ලක්ෂ පහකට අධික පිරිසකට සේවා සැපයීම, වත්කම් වටිනාකම රුපියල් බිලියන 200 සීමාව පසුකිරීම සහ දිගින් දිගටම විශිෂ්ට මූල්‍ය කාර්යසාධනයක් වාර්තා කිරීමට සමත් වීම ඇතුළු සෑම සන්ධිස්ථානයක්ම සනිටුහන් කිරීමට අපට හැකි වුණේ අපගේ ගනුදෙනුකරුවන්ගේ නොසැලෙන සහයෝගය, අධ්‍යක්ෂ මණ්ඩලයේ නායකත්වය, ෂරියා අධීක්ෂණ මණ්ඩලයේ මඟපෙන්වීම සහ කාර්ය මණ්ඩලයේ කැපවීම යන සාධක තුළිනුයි. මේ ගමන පුරාවටම අපගේ සාර්ථකත්වයට ලබාදුන් අමිල දායකත්වය වෙනුවෙන් ඔවුන් සැමට, බැංකුවේ කළමනාකාරීත්වය වෙනුවෙන් මාගේ හෘදයාංගම ස්තුතිය පුදකර සිටිනවා. වසර ගණනාවක් පුරා ගොඩනංවාගත් විශ්වාසය ඔස්සේ තවත් බොහෝ දුරක් ගමන් කරමින්, මීටත් වඩා සුවිශේෂී සන්ධිස්ථාන සනිටුහන් කිරීමට අපට හැකි වේවි. ‘සංවර්ධනයට අත්වැලක්, ඉසුරුමත් ජීවිතයක්’  යන අපගේ මෙහෙවරට අනුව, අනාගත පරම්පරාවන් වෙනුවෙන්ද තිරසාර වටිනාකම් නිර්මාණය කරමින්, අමානා බැංකුව මීටත් වඩා ශක්තිමත් බැංකුවක් බවට පත්කිරීම අපගේ අරමුණයි.”

අමානා බෑන්ක් පීඑල්සී යනු ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍රලාභී, කොළඹ කොටස් හුවමාරුවේ ලියාපදිංචි සමාගමක් වන අතර, එහි ප්‍රධාන කොටස් හිමිකරු වන IsDB සමූහය යනු ජෙඩා නගරය පදනම් කරගත්, ‘AAA’ ශ්‍රේණිය හිමි, රටවල් 57 ක සාමාජිකත්වයන් සහිත ජාත්‍යන්තර බහුපාර්ශ්වීය සංවර්ධන මූල්‍ය ආයතනයකි.

පොලී රහිත බැංකුකරණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛ පෙළේ බැංකුවක් ලෙස සිය ස්ථාවරය සනාථ කරමින් අමානා බැංකුව ආසියානු බැංකුකරුවන්ගේ ආයතනය වෙතින් ලොව ප්‍රබලතම ඉස්ලාමීය බැංකු 50 අතරින් එකක් ලෙස අඛණ්ඩව පිළිගැනීමට ලක් වී ඇත. අමානා බැංකුව සතුව වෙනත් උප සමාගම්, හවුල්කාර සමාගම් හෝ අනුබද්ධ සමාගම් නොමැති අතර, එය OrphanCare භාරයේ ආරම්භක අනුග්‍රාහකයා ලෙස කටයුතු කරයි.



ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව