2028 ඔලිම්පික් සිහිනය සැබෑ කරගැනීමට හෙල්ල විසි කිරීමේ ලෝක ශූර රුමේෂ් තරංගට CIC Holdings අනුග්‍රාහකත්වය

Rumes & CIC Holdings (LBN)

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ විවිධාංගීකරණය වූ සමාගම් සමූහයක් වන CIC Holdings, ජාතික හෙල්ල විසි කිරීමේ ශූර රුමේෂ් තරංග පතිරගේ සිය නිල පෝෂණ හා සුවතා සහකරු ලෙස කටයුතු කිරීම සඳහා නිල වශයෙන් අත්වැල් බැඳගෙන තිබේ. මෙම සහයෝගීතාවයේ ප්‍රධාන අරමුණ වන්නේ 2028 ඔලිම්පික් ක්‍රීඩා උළෙල ඉලක්ක කරගනිමින්, ශ්‍රී ලංකා ක්‍රීඩා ඉතිහාසයේ පළමු ඔලිම්පික් රන් පදක්කම මව්බිමට දිනා දීම සඳහා වන ඔහුගේ දැඩි කැපවීමට සහ ගමනට පූර්ණ ශක්තියක් සැපයීමයි.

මෙය හුදෙක් ක්‍රීඩා අනුග්‍රාහකත්වයකට පමණක් සීමා නොවූ, සුවිශේෂී හවුල්කාරීත්වයකි- ජාත්‍යන්තර ක්‍රීඩා ක්ෂේත්‍රයේ ඉහළම තලයේ ජයග්‍රහණ අත්කර ගැනීම වෙනුවෙන් රුමේෂ් හට ඉදිරියේදී මුහුණ දීමට සිදුවන දැඩි පුහුණුවීම්, විනය සහ අභියෝගාත්මක කාලසීමාව පුරාවටම ඔහුට ශක්තියක් වීමට CIC පෙරදැරිව සිටී. ඒ අනුව, නිල පෝෂණ හා සුවතා සහකරු ලෙස, 2028 ඔලිම්පික් උළෙලේදී රුමේෂ් හට ශක්තියක් වෙමින් සහ මුළු මහත් ජාතියේම සිහිනය සැබෑ කරවීමට ඔහුගේ පෝෂණය මෙන්ම සමස්ත යහපැවැත්ම වෙනුවෙන් CIC සිය දායකත්වය ලබා දීමට නියමිතය.




2026 තරග වාරය ඉතා සාර්ථකව අරඹමින් රුමේෂ් තරංග ලොව විශිෂ්ටතම හෙල්ල විසි කිරීමේ ක්‍රීඩකයින් අතරට එක්වීමට සමත්ව ඇත. රෝමයේදී මීටර් 92.62ක දුරක වාර්තාගත හෙල්ලය විසි කිරීමක් සනිටුහන් කරමින් නව ශ්‍රී ලංකා ජාතික වාර්තාවක් පිහිටුවීමට සමත් වූ ඔහු, පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ රන් පදක්කම මෙන්ම ශ්‍රී ලංකාවට හිමිවූ පළමු ඩයමන්ඩ් ලීග් ශූරතාවය ද රටට දිනා දුන්නේය. පසුගියදා බුඩාපෙස්ට් නුවරදී පැවති සමාරම්භක ලෝක මලල ක්‍රීඩා Ultimate ශූරතාවලියේදී අවසන් වටයේදී මීටර් 91.09ක දක්ෂතාවයක් දක්වමින් රන් පදක්කම දිනාගත් ඔහු, ලොව අංක 1 හෙල්ල විසි කිරීමේ ක්‍රීඩකයා ලෙස තම ස්ථානය තවදුරටත් තහවුරු කරගත්තේය. මීට අමතරව පසුගියදා ජපානයේ පැවති 2026 ආසියානු ක්‍රීඩා උළෙලේදී මීටර 88.55ක කැපී පෙනෙන දුරක් හෙල්ලය විසි කරමින් රුමේෂ් රන් පදක්කම තමන් සතු කරගත්තේය. මෙය ආසියානු ක්‍රීඩා උළෙලක පිටියේ ඉසව්වකදී ශ්‍රී ලාංකිකයෙකු විසින් දිනා ගත් පළමු රන් පදක්කම ලෙස ඉතිහාසයට එක් විය.

වසර හැටකට අධික කාලයක සිට CIC කෘෂි, සුව සේවා හා සුවතාවය මෙන්ම පුද්ගලික සත්කාර සේවා ඇතුළු ක්ෂේත්‍ර රැසක් ඔස්සේ ශ්‍රී ලාංකික ජන ජීවිත සමඟ සමීපව කටයුතු කර තිබේ. දේශීය ජන ජීවිත නංවාලීම වෙනුවෙන් සමාගම ඉටුකරන මෙම දිගුකාලීන කැපවීම තවදුරටත් ඉදිරියට ගෙනයමින්, සමස්ත ජාතියටම ගෞරවයක් දිනා දීම වෙනුවෙන් කැපවී සිටින ක්‍රීඩකයෙකුගේ ඓතිහාසික ගමනට ශක්තියක් වීමට CIC මෙලෙස එක්ව සිටී.

මේ පිළිබඳව අදහස් දක්වමින් CIC Holdings සමූහයේ ප්‍රධාන විධායක නිලධාරී අරෝෂන් සේරසිංහ මහතා පැවසුවේ “පරම්පරා ගණනාවක සිට ශ්‍රී ලාංකික ජන ජීවිත නංවාලීමටත්, දේශීය ප්‍රජාවන්ගේ දියුණුවට සක්‍රීවය දායක වීමට CIC සැමවිටම කටයුතු කර තිබෙනවා. රුමේෂ් සමඟ අප ඇති කරගත් මෙම හවුල්කාරිත්වය, එම අඛණ්ඩ කැපවීමේ තවත් එක් සුවිශේෂී පියවරක්. 2028 ඔලිම්පික් ඉලක්කය කරා යන ඔහුගේ මෙම ගමන මඟින් මනා විනය, නොසැලෙන උත්සාහය සහ විශිෂ්ට අරමුණක් කරා යාමට අවශ්‍ය ධෛර්යය මැනවින් පෙන්නුම් කරනවා. ලොකයේ ගෞරවනීයම ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට කැපවන ඔහුට පෝෂණය සහ සුවතාව වෙනුවෙන් පූර්ණ දායකත්වය සපයමින් ඔහුට ශක්තියක් වීමට ලැබීම අපට විශාල අභිමානයක්.”

තවද මෙම සහයෝගීතාවය මගින් ශ්‍රී ලාංකීය තරුණ පරපුර දිරිමත් කිරීමට ද අපේක්ෂා කෙරේ. ක්‍රීඩාවකින් විශිෂ්ට ජයග්‍රහණ අත්කර ගැනීම යනු හුදු තරඟ දිනයට පමණක් සීමා වූවක් නොවන අතර, ඊට අඛණ්ඩ පුහුණුව, පෙර සූදානම, පෝෂණය, සෞඛ්‍යාරක්ෂාව මෙන්ම නොසැලෙන ආත්ම විශ්වාසය මත එම සාර්ථකත්වය රඳා පවතින බව මෙම සහයෝගීතාවය මඟින් පෙන්වා දෙයි.

මෙම අනුග්‍රාහකත්වය පිළිබඳව අදහස් දක්වමින් රුමේෂ් තරංග සඳහන් කළේ “ජාත්‍යන්තර තලයේදී ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට ලැබීම මා ඉතා ගෞරවයක් කොට සලකනවා. 2028 ඔලිම්පික් සිහිනය කරා යන ගමනට කායික මෙන්ම මානසික වශයෙන් පූර්ණ කැපවීමක් අවශ්‍යයි. මෙම ගමනේදී CIC මගේ නිල පෝෂණ හා සුවතා සහකරු ලෙස මා සමඟ අත්වැල් බැඳගැනීම මට විශාල ශක්තියක්. මගේ එකම සිහිනය ශ්‍රී ලංකාව වෙනුවෙන් ඓතිහාසික ජයග්‍රහණයක් අත්කර දීමයි. මා කෙරෙහි විශ්වාසය තබමින් එම ජයග්‍රාහී ගමනේ කොටස්කරුවෙකු වීමට ඉදිරිපත් වූ CIC සමාගමට මා කෘතඥ වනවා.” යනුවෙනි.

මෙම සහයෝගීතාවය හරහා 2028 ඔලිම්පික් උළෙල කරා යන රුමේෂ්ගේ ගමන ඉලක්ක කරගනිමින් දිගුකාලීන වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට CIC බලාපොරොත්තු වේ. මෙමඟින්, ජාත්‍යන්තර මට්ටමේ විශිෂ්ටත්වයක් කරා යන රුමේෂ්ගේ මෙම ගමන පිටුපස ඇති දැඩි කැපවීම, නොසැලෙන උත්සාහය සහ පෙර සූදානම පිළිබඳව සමස්ත ලාංකීය ප්‍රජාව වඩාත් සමීපව කරමින්, ඔවුන්ව ද මෙම ඓතිහාසික ගමනේ කොටස්කරුවන් කරගැනීම සමාගමේ අරමුණයි.



ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

five + seventeen =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව