චයිනීස් ඩ්‍රැගන් කැෆේ නවතම අවන්හල මීගමුවේදී විවෘත කෙරේ

Chinese Dragon Cafe (LBN)

ශ්‍රී ලංකාවේ චීන ආහාර සංස්කෘතිය තුළ දශක අටකට අධික කාලයක් පුරා පාරිභෝගික විශ්වාසය දිනා ගත් ප්‍රමුඛ පෙළේ අවන්හල් ජාලයක් වන චයිනීස් ඩ්‍රැගන් කැෆේ සිය නවතම අවන්හල මීගමුවේදී විවෘත කරමින් දිවයින පුරා සිය ව්‍යාපාර මෙහෙයුම් තව දුරටත් පුළුල් කර තිබේ. මීගමුව, හලාවත පාරේ අංක 48 දරන ස්ථානයේ පිහිටි මෙම නව අවන්හල මාරිස් ස්ටෙලා විද්‍යාලයේ සිට කොච්චිකඩේ දෙසට මීටර් 400ක දුරින් පිහිටා ඇත. මෙය ශ්‍රී ලංකාවේ චයිනීස් ඩ්‍රැගන් කැෆේ 13 වැනි අවන්හල වන අතර ලොව පුරා එහි 14 වැනි අවන්හල වේ. 1942දී චීන ජාතික යුවළක් බම්බලපිටියේ ආරම්භ කළ කුඩා අවන්හලකින් ඇරැඹුණු චයිනීස් ඩ්‍රැගන් කැෆේ අද වන විට ශ්‍රී ලංකාවේ ජනප්‍රියම චීන අවන්හල් ජාලයක් බවට පත් වී තිබේ. බම්බලපිටිය, ගල්කිස්ස, නුගේගොඩ, රාජගිරිය, පැලවත්ත, වත්තල, කඳාන, කඩුවෙල, යාපනය, ගාල්ල, ගොතටුව, මහනුවර සහ ඔරායන් සිටි යන ප්‍රදේශවල සිය අවන්හල් ජාලය ව්‍යාප්ත කර ඇති සමාගම 2021දී එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි නගරයේ සිය ප්‍රථම විදේශීය අවන්හල විවෘත කරමින් ජාත්‍යන්තර වෙළෙඳපොළට පිවිසියේය.




සංචාරක කර්මාන්තය, මුහුදු ආහාර සහ විවිධ සංස්කෘතික පසුබිම්වලින් සමන්විත ජන ප්‍රජාව හේතුවෙන් මීගමුව නගරය චයිනීස් ඩ්‍රැගන් කැෆේ අවන්හල් ජාලයේ ව්‍යාප්තිය සඳහා සුවිශේෂ ස්ථානයක් ලෙස හඳුනා ගෙන තිබේ. නව අවන්හල තුළින් මීගමුවේ ජනතාවට මෙන්ම දෙස් විදෙස් සංචාරකයන්ට චයිනීස් ඩ්‍රැගන් කැෆේහි සුප්‍රකට ආහාර රස විඳීමට අවස්ථාව උදා වේ. හොට් බටර් කට්ල්ෆිෂ් සහ කෙසෙල් කොළයක පිළිගන්වන සීෆුඩ් ෆ්‍රයිඩ් රයිස් ඇතුළු ජනප්‍රිය ආහාර රැසක් චයිනීස් ඩ්‍රැගන් කැෆේහි සුවිශේෂ අනන්‍යතාව ගොඩ නැඟීමට දායක වී තිබේ. විවිධ බත්, නූඩ්ල්ස් සහ චීන ආහාර වර්ග රැසක් පිරිනමන මෙම අවන්හල් ජාලය ගුණාත්මකභාවය, නොවෙනස් රසය සහ සුහද සේවාව තුළින් පරම්පරා ගණනාවක පාරිභෝගික ආදරය හා විශ්වාසය දිනා ඇත. මීගමුවේ නව අවන්හල පවුල්වලට, මිතුරු කණ්ඩායම්වලට සහ සංචාරකයන්ට පහසුවෙන් ආහාර රස විඳිය හැකි ඉඩ කඩ සහිත නවීන භෝජන පරිසරයකින් සමන්විත වේ. පවුලේ විශේෂ අවස්ථා, සැමරුම් සහ ව්‍යාපාරික හමුවීම් සඳහා වෙන් වූ පෞද්ගලික භෝජනාගාරයක්ද එහි ස්ථාපිත කර තිබේ. නොමිලේ ආහාර නිවසටම ගෙන්වා ගැනීමේ පහසුකම, ගෘහස්ථ හා එළිමහන් උත්සව සඳහා ආහාර සැපැයීමේ සේවා, ආයතනික ආහාර සැපැයුම් විසඳුම් සහ www.chinesedragoncafe.com වෙබ් අඩවිය ඔස්සේ මාර්ගගතව ඇණැවුම් කිරීමේ පහසුකමද පාරිභෝගිකයන්ට හිමි වේ.

නව අවන්හල විවෘත කිරීම පිළිබඳ අදහස් දැක්වූ චයිනීස් ඩ්‍රැගන් කැෆේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ළහිරුවන් ලක්මාල් මහතා මෙසේ පැවසීය. “මීගමුව කියන්නේ මුහුදු ආහාර, සංචාරක කර්මාන්තය සහ විවිධත්වයෙන් යුත් පාරිභෝගික ප්‍රජාවක් සමඟ සුවිශේෂ අනන්‍යතාවක් ගොඩ නඟා ගත් ශීඝ්‍රයෙන් දියුණු වන නගරයක්. මේ වෙළෙඳපොළ තුළ විශාල අවස්ථා පවතින බව අප විශ්වාස කරනවා. අපගේ චීන ආහාර රසයට මීගමුවේ පාරිභෝගිකයන්ගෙන් ඉහළ ප්‍රතිචාරයක් ලැබෙනු ඇතැයි අප බලාපොරොත්තු වෙනවා. චයිනීස් ඩ්‍රැගන් කැෆේ අත්දැකීම මීගමුවට රැගෙන ඒමට හැකි වීම පිළිබඳ අප ඉතා සතුටු වෙනවා. මීගමුවේ ජන ජීවිතයේ සමීප කොටස්කරුවකු බවට පත් වීම අපගේ අපේක්ෂාවයි.” දිවයිනේ ප්‍රධාන නගරවල පාරිභෝගිකයන්ට වඩාත් සමීප වෙමින් සිය සුවිශේෂ ආහාර රසය සහ සේවා ප්‍රමිතිය තව දුරටත් ව්‍යාප්ත කිරීමේ දිගු කාලීන සැළැස්මේ තවත් වැදගත් පියවරක් ලෙස මීගමුව අවන්හල විවෘත කිරීම හැඳින්විය හැකිය. වසර 84ක අභිමානවත් ඉතිහාසයක්, පරම්පරා ගණනාවක් හඳුනන රස සහ නවීන භෝජන අත්දැකීම් එකට එක් කරන චයිනීස් ඩ්‍රැගන් කැෆේ ඉදිරියේදී කුරුණෑගල නගරයේදී නව අවන්හලක් විවෘත කිරීමට සැළැසුම් කර තිබේ. ඒ අනුව 1942දී බම්බලපිටියෙන් ඇරැඹුණු සාර්ථක ගමන් මඟ ශ්‍රී ලංකාවේ තවත් නගර රැසකට ව්‍යාප්ත කරමින් සිය පාරිභෝගිකයන්ට වඩාත් සමීප වීමට සමාගම අපේක්ෂා කරයි.



ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

7 + nineteen =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව