
පස්වන වරටත් සංවිධානය කරනු ලබන සිලෝන් මාස්ටර්ස් බැඩ්මින්ටන් සූරතාවලිය, ජූනි මස 25 වන දා සිට 28 වන දා දක්වා කොළඹ ශාන්ත ජෝෂප් විද්‍යාලීය ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය. මෙම තරගාවලිය සඳහා විදේශීය ක්‍රීඩක ක්‍රීඩිකාවන් 500ක් පමණ සහභාගි වීමට නියමිත බව සිලෝන් මාස්ටර්ස් බැඩ්මින්ටන් සංගමයේ සභාපති රොහාන් ද සිල්වා මහතා පවසයි.
පස් වසරක් අඛණ්ඩව මෙම තරගාවලිය පවත්වාගෙන යාමට හැකි වීම මෙන්ම, මෙය ලෝකයේ ප්‍රවීණ ක්‍රීඩකයන්ගේ ආකර්ෂණය දිනාගත් තරගාවලියක් බවට පත්ව තිබීම පිළිබඳව ද සභාපතිවරයා මෙහිදී අදහස් දැක්වීය.
මේ පිළිබඳව අදහස් දැක්වූ සිලෝන් මාස්ටර්ස් බැඩ්මින්ටන් සංගමයේ ලේකම් සුමුදු කුමාරසිංහ මහතා පෙන්වා දුන්නේ, මෙම තරගාවලිය හරහා ශ්‍රී ලංකාවට විශාල විදේශීය ආකර්ෂණයක් ලැබෙන අතර එය සංචාරක කර්මාන්තයේ ප්‍රගමනය කෙරෙහි ද මහත් පිටිවහලක් වන බවයි. මෙවැනි ක්‍රීඩා ඉසව් සඳහා රජයේ ආශිර්වාදය ද ලැබෙන්නේ නම්, එය මීට වඩා සාර්ථක සහ ඵලදායී මට්ටමකට ගෙන යා හැකි බව ද ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේය.
සමහර අවස්ථාවලදී ප්‍රවීණ ක්‍රීඩකයන් විශාල පිරිසකට විදේශ සංචාර සඳහා සුදුසුකම් සපුරා ගැනීමට නොහැකි වීම මෙන්ම, ඒ සඳහා අවශ්‍ය මූල්‍යමය වත්කමක් නොමැති වීම ද බාධාවක් වන බව සිලෝන් මාස්ටර්ස් බැඩ්මින්ටන් සංගමයේ කමිටු සාමාජික නිශාන්ත ජයමාන්න මහතා පෙන්වා දෙයි. එබැවින් මෙවැනි ජාත්‍යන්තර මට්ටමේ තරගාවලියක් මෙරටදී පැවැත්වීම හරහා දේශීය ක්‍රීඩක ක්‍රීඩිකාවන් විශාල පිරිසකට ජාත්‍යන්තර අත්දැකීම් ලැබීමට අවස්ථාව සැලසීම ඉතා වැදගත් බව ඔහු සඳහන් කළේය. මැක්ලරන්ස් (McLarens) සමූහ ව්‍යාපාරයට අයත් ව්‍යාපාර ගණනාවක සහයෝගය මෙන්ම ෆ්‍රයිම් ලෑන්ඩ්ස් (Prime Lands) සහ ලීනිං (Li-Ning) යන ආයතනවල ප්‍රමුඛ අනුග්‍රාහක දායකත්වය මෙම තරගාවලියට හිමි වන බව ද ඔහු පෙන්වා දුන්නේය.
සංගමයේ කමිටු සාමාජික රොහාන් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළේ වයස අවුරුදු 35 ඉහළ සිට 80 ඉක්මවූ ප්‍රවීණ ක්‍රීඩකයන් පවා මෙම ක්‍රීඩාවේ යෙදෙන බවයි. මෙය ශාරීරික නිරෝගීභාවය සුරැකීමට ඉවහල් වන වටිනා ක්‍රියාවක් බව වෛද්‍යවරුන් පවා පිළිගන්නා බව ද ඔහු සඳහන් කළේය.
තරගාවලියේ ප්‍රචාරණ කමිටු ප්‍රධානී ලෙස කටයුතු කරන රොහාන් මහතා වැඩිදුරටත් පවසා සිටියේ, පසුගිය තරගාවලියේදී තේ නිෂ්පාදකයන් මෙන්ම මැණික් හා ස්වර්ණාභරණ ක්ෂේත්‍රයේ අනුග්‍රාහකයන් ද මේ සඳහා එක් වූ බවයි. මෙවරත් මෙරටට පැමිණෙන විදේශිකයන්ගේ ආකර්ෂණය දිනාගත හැකි ව්‍යාපාරික ආයතන රැසකට අනුග්‍රාහකත්වය සඳහා ආරාධනා කර ඇත. මේ පිළිබඳව උනන්දුවක් දක්වන තවත් ව්‍යාපාර හෝ නිෂ්පාදන ආයතන වේ නම්, ඒ පිළිබඳ වැඩිදුර තොරතුරු https://ceylonmasters.lk/ වෙබ් අඩවියේ ඇති දුරකතන අංක ඔස්සේ ලබාගත හැකි බව ද ඔහු පෙන්වා දුන්නේය.
පස්වන වරටත් පැවත්වෙන සිලෝන් මාස්ටර්ස් බැඩ්මින්ටන් තරගාවලියට මෙරටට පැමිණෙන විදේශිකයන් බොහෝ දෙනෙක් සමඟ සිය පවුල් ද පැමිණෙන බවත් එසේම ඔවුන් තරගාවලියෙන් පසුව දින කිහිපයක් ශ්‍රී ලංකාවේ නැවතීමට නියමිත බවත් පෙන්වා දෙන සිලෝන් මාස්ටර්ස් බැඩ්මින්ටන් සංගමය ජෙට්වින්ග් සමාගම හා සම්බන්ධ වී ඔවුන්ට අවශ්‍යය සංචාරක කටයුතුවලට ද වැඩ පිළිවෙලක් සකසා ඇති බව පෙන්වා දුන්නේය.
එසේම මෙම සංගමයේ කමිටු සාමාජිකයෙකු වන නීතිඥ සුගත් පවසා සිටියේ මේ තරගාවලියට සුදුසුකම් ලද තරග විනිසුරුවන් සහ තීරකයන් සූදානම් කර ඇති බවය.එසේම ජාත්‍යන්තර බැඩ්මින්ටන් නීති අකුරටම පිළිපදින බව ද ඔහු පෙන්වා දුන්නේය.බැඩිමින්ටන් නීතියට අනුව තරගාවලිය ඉහළ නිමාවතට රැඟෙන යාමට සියල්ල සූදානම් බව පැවසූ නීතිඥවරයා පෙන්වා දුන්නේ විදේශීක ක්‍රීඩකයන්ට රට තුළදී ඇති විය හැකි යම් යම් නීතිමය සහන වෙනුවෙන් ද මැදිහත්වීමට වැඩ පිළිවෙළක් සකස් කර ඇති බවය.


