අඛණ්ඩව හයවන වසරටත් සියැට් කැලණි Fitch AA+ ශ්‍රේණිය රඳවා ගනියි

Fitch Rating 2026 (LBN)

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ටයර් නිෂ්පාදකයා වන සියැට් කැලණි හෝල්ඩිංග්ස් (CKH) සමාගමට ෆිච් රේටින්ග්ස් (Fitch Ratings) ආයතනය අඛණ්ඩව හයවන වසරටත් AA+(ika) ජාතික දිගුකාලීන ශ්‍රේණිගත කිරීම,‘ස්ථාවර දැක්ම’ (Stable Outlook) තහවුරු කර ඇත. සමාගමේ අඛණ්ඩ මූල්‍ය ස්ථාවරත්වය සහ ශ්‍රී ලංකාවේ වායු පිරවූ ටයර් නිෂ්පාදන ක්ෂේත්‍රයේ තිරසාර නායකත්වය මෙයින් තවදුරටත් තහවුරු වෙයි.

‘AA+(ika)’ ශ්‍රේණිගත කිරීම ෆිච් ලබා දෙන දෙවන ඉහළම ජාතික ශ්‍රේණිගත කිරීම වන අතර මූල්‍ය අවශ්‍යතා සපුරාලීම සඳහා ඉතා ශක්තිමත් ධාරිතාවයක් පිළිබිඹු කරයි. මිල වෙනස් වීම් සහිත ඉහළ තරඟකාරී වෙළඳපලවලට සමාගමේ නිරාවරණය වීම ද පෙන්වා දෙමින්, ශ්‍රේණිගත කිරීම පිළිබඳව ෆිච් පැවසුවේ දේශීය වායුමය ටයර් නිෂ්පාදන අංශයේ CKH සමාගම ස්ථාපිත කරගෙන ඇති නායකත්වය සහ ඔරොත්තු දෙන මූල්‍ය පැතිකඩ සමාගම සතු ප්‍රධාන ශක්තීන් වන බවයි.




ඉහළ යන යෙදවුම් පිරිවැය සහ ආනයනික ටයර් නිසා තීව්‍ර වන තරඟකාරීත්වය මධ්‍යයේ වුව ද, CKH සිය වෙළඳපල ස්ථානය පවත්වා ගනු ඇතැයි ෆිච් අපේක්ෂා කරන බව නිවේදනය කර ඇත. ඉපැයීම් අඩු වන අවස්ථාවල සහ ඉහළ ආයෝජන අවශ්‍යතා තිබියදීත් සමාගම ප්‍රමාණවත් ණය තත්වයන් පවත්වා ගනු ඇතැයි ද ෆිච් අපේක්ෂා කරයි.

මෙම නවතම ශ්‍රේණිගත කිරීම පිළිබඳව අදහස් දක්වමින් සියැට් කැලණි හෝල්ඩිංග්ස් සභාපති චානක ද සිල්වා මහතා මෙසේ පැවසීය: “ණය ශ්‍රේණිගත කිරීමක් යනු හෙට දවස සඳහා තම අභිලාෂයන් ඉටු කර ගැනීමට මූල්‍යමය වශයෙන් සන්නද්ධව සිටින අතරතුර අද දින නිවැරදි තීරණ ගැනීමට සමාගමකට ඇති හැකියාව පිළිබඳ විශ්වාසයේ මිනුමකි. සියැට් කැලණි මෙම ශ්‍රේණිගත කිරීම අඛණ්ඩව පවත්වා ගැනීම මගින් විනයගරුක භාරකාරත්වය, මෙහෙයුම් අනුවර්තනය කිරීමේ හැකියාව සහ ව්‍යාපාරයේ දිගුකාලීන ශක්තිය මත ආයෝජනය කිරීම කෙරෙහි අප තබන වැදගත්කම තවතවත් ශක්තිමත් කරයි. අපගේ සියලුම පාර්ශවකරුවන් වෙනුවෙන් තිරසාර වටිනාකමක් නිර්මාණය කළහැකි ශක්තිමත්, වඩා තරඟකාරී හා බොහෝ හැකියාවන් සහිත නිෂ්පාදන සමාගමක් ගොඩනැඟීම වෙනුවෙන් අපගේ අවධානය යොමු කර සිටින්නෙමු.”

ෆිච් ආයතනය පැවසුවේ, සියැට් වෙළඳ නාමයේ  ශක්තිය සහ පුළුල් අලෙවි නියෝජිත ජාලයේ සහය ද උපයෝගී කර ගනිමින් CKH විසින් ශ්‍රී ලංකාවේ වායුමය ටයර් නිෂ්පාදන කර්මාන්තයේ ඔවුන් සතු ප්‍රමුඛ ස්ථානය තවදුරටත් පවත්වා ගනු ඇතැයි අපේක්ෂා කරන බව ය. CKH හි අනුවර්තන මිලකරණ උපාය මාර්ග මගින් වෙළඳපල අස්ථාවරත්වය අවම කිරීමට සහ ප්‍රධාන අංශ හරහා වෙළඳපල කොටස ආරක්ෂා කර ගැනීමට උපකාරී වනු ඇති බව ෆිච් පෙන්වා දුන් අතර, සැලසුම්ගත නිෂ්පාදන පහසුකම් වැඩි දියුණු කිරීම් හරහා, විශේෂයෙන් ම රේඩියල් ටයර් අංශයේ, නිෂ්පාදන වල ගුණාත්මකභාවය ඉහළ නංවා ගැනීම තුලින් සමාගමේ තරඟකාරී ස්ථානගත කිරීම ශක්තිමත් කරගැනීම අපේක්ෂා කරන බව එම ආයතනය පවසයි.

සියැට් සන්නාමය ඉතාලියේ ආරම්භ වූවක් වන අතර ඉන්දියාවේ හා ජර්මනියේ පිහිටි පුළුල් පර්යේෂණ හා පරීක්ෂණ පහසුකම් වල පිටුබලය ලබයි. බ්‍රෑන්ඩ් ෆයිනෑන්ස් ආයතනය විසින් ශ්‍රී ලංකාවේ වටිනා ම ටයර් සන්නාමය ලෙස සියැට් නාමය ශ්‍රේණිගත කර ඇති අතර, LMD ආයතනය විසින් 2025 සහ 2026 වසරවල ශ්‍රී ලංකාවේ ‘වඩාත් ම ජනප්‍රිය ටයර් සන්නාමය’ ලෙස ද නම් කර ඇත.



ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව