CBSL හි LANKAQR සමඟින් HNB ගම්පහ දිස්ත‍්‍රික්කය පුරා ඩිජිටල් ගෙවීම් ව්‍යාප්ත කරයි

SOLO-HNB-QR

 

ශ්‍රී ලංකාව මුදල් රහිත ආර්ථිකයක් කරා පරිවර්තනය කිරීමේ සිය අඛණ්ඩ කැපවීම තවදුරටත් පිළිබිඹු කරමින් ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම පුද්ගලික අංශයේ වාණිජ බැංකුව වන හැටන් නැෂනල් බැංකුව ශ‍්‍රී ලංකා මහ බැංකුවේ ‘රට පුරාම LANKAQR’ වැඩසටහනට සහය දැක්වීමේ තවත් වැඩසටහනක් පසුගියදා ගම්පහ දිස්ත‍්‍රික්කය ඉලක්ක කරගනිමින් පැවැත්විණි. එහිදී HNB එම ප‍්‍රදේශයේ වෙළෙඳ භවතුන්ට සිය ඩිජිටල් ගෙවීම් යෙදවුම වන SOLO වෙත එක් කර ගන්නා අතරතුර එහි ඇති ප‍්‍රතිලාභ පිළිබඳව ද දැනුවත් කළේය.

HNB සහ අනෙකුත් මූල්‍ය ආයතන හා විදුලි සංදේශ හවුල්කරුවන් ද එක් වූ මෙම වැඩසටහන ගම්පහ නගර සභා පිටියේදී දවස පුරා පැවැත්විණි. මෙහිදී බැංකුව LANKAQR සම්බන්ධිත ගෙවීම්වල ඇති ප‍්‍රතිලාභ හා ප‍්‍රයෝජනය පිළිබඳව කුඩා ව්‍යාපාර ඇතුළු වෙළෙඳභවතුන් දැනුවත් කළේය. මෙම උත්සවය අතරතුර බැංකුව එහි ඩිජිටල් මුදල් පසුම්බිය HNB SOLO වෙත වෙළෙඳභවතුන් ගණනාවක් එක් කරගැනීමට හැකි වීම කැපී පෙනිනි.

මෙම අවස්ථාවට ප‍්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ඩිජිටල් තාක්ෂණ හා ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය සහ තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා සමඟින් සංචාරක අමාත්‍ය ප‍්‍රසන්න රණතුංග, ශ‍්‍රී ලංකා මහ බැංකුවේ සහකාර අධිපති ධර්මසිරි කුමාරතුංග යන මහත්වරුන් ඇතුළුව ප‍්‍රමුඛ පෙළේ වාණිජ බැංකුවල ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ද සහභාගි විය.

මේ පිළිබඳව අදහස් දක්වන් HNB ඩිජිටල් ව්‍යාපාර ප‍්‍රධානී, චම්මික වීරසිංහ මහතා පැවසුවේ ”වසංගතයේ මුල් අවස්ථාවලදී අපගේ බොහෝ ගනුදෙනුකරුවන්, වෙළෙඳභවතුන් හා සාමාන්‍ය ජනතාව වෙළඳපොලේ ඇති වඩාත්ම ප‍්‍රායෝගික ගෙවීමේ විසඳුමක් වන අපගේ මුදල් රහිත සහ සම්බන්ධතා රහිත ගෙවීම් යෙදවුම වන SOLO අඛණ්ඩව භාවිතා කරන ආකාරය අප දුටුවා. ‘රට පුරාම LANKAQR’ වැඩසටහන දියත් කිරීමත් සමඟ මෙම උනන්දුව කැපී පෙනෙන ලෙස වර්ධනය වෙලා තියෙනවා වගේම මෙහි ඇති දිගුකාලීන ප‍්‍රතිලාභ පිළිබඳවත් ඔවුන් දැනුවත්.’’ යනුවෙනි.

පාරිභෝගිකයින්ගේ ප‍්‍රියතම ගනුදෙනු කිරීමේ ක‍්‍රමය ලෙස QR පදනම් කරගත් ගෙවීම් සඳහා වර්ධනය වන පාරිභෝගිකයින් සහ වෙළෙඳභවතුන්ගේ පදනම සමඟින් බිම් මට්ටමේ ආර්ථික ක‍්‍රියාකාරකම් විශාල ලෙස ඉහළ නැංවීමේ හැකියාව ඇති නිසා මෙම වැඩසටහන රට පුරා ව්‍යාප්ත කිරීම ඉතා වැදගත් යැයි අප විශ්වාස කරනවා.” යනුවෙන් ඔහු වැඩිදුරටත් පැවසුවේය.

2020 අගභාගයේදී දියත් කරන ලද ‘රට පුරාම LANKAQR’ වැඩසටහන යනු ශ‍්‍රී ලංකා මහ බැංකුව, බලපත‍්‍රලාභී මූල්‍ය ආයතන සහ ලංකා ක්ලියර් පුද්ගලික සමාගම සමග එක්ව හඳුන්වා දුන් ක්ෂණික ප‍්‍රතිචාර (QR) කේත ප‍්‍රමිතියකි. මෙමගින් වෙළෙඳමහතුන්ට විවිධ වේදිකා සඳහා QR කේත කිහිපයක් භාවිත කිරීම මග හරවා ගත හැකි අතර පාරිභෝගිකයින්ට සහ වෙළෙඳ ප‍්‍රජාවට ප‍්‍රතිලාභ සලසමින් වේගවත්, ආරක්ෂිත සහ දැරිය හැකි ඩිජිටල් ගෙවීම් සඳහා පහසුකම් සපයයි.

HNB ශ‍්‍රී ලංකාවේ ඩිජිටල් ගෙවීම්වල මීළඟ අදියර සඳහා ද පුරෝගාමීව කටයුතු කරන අතර ප‍්‍රමුඛ පෙළේ සුපිරි වෙළඳසැල් ජාලයක් වන Keells සහ Singer ප‍්‍රදර්ශනාගාර ජාලය සමඟ එක්ව Dynamic QR තාක්ෂණය හඳුන්වා දෙයි. නව තාක්ෂණය සෑම ගනුදෙනුවක් සඳහාම අනන්‍ය කේතයක් නිර්මාණය කරන අතර LANKAQR සමඟ සම්බන්ධ කර ඇති යෙදවුමක් භාවිතා කරන පාරිභෝගිකයින්ට වෙළෙන්දන්ගේ Point of Sale (PoS) යන්ත‍්‍රයේ තිරයේ දිස්වන Dynamic QR ස්කෑන් කිරීමෙන් ගනුදෙනුවක් සම්පූර්ණ කිරීමට ඉඩ සලසයි. එහිදී පාරිභෝගික පහසුව වැඩිදියුණු කිරීමට සහ දෝෂ මඟහරවා ගැනීමට ගෙවීම් වටිනාකම අතින් ඇතුල් කිරීම අවශ්‍ය වේ.

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව